ආදරණීය සෝඩි – අංක දෙක

FRIDAY, AUGUST 17, 2018

ඉතින් මේ සටහන කියවලා උපැස් යුවල ගලවන ඇසිල්ලෙ…සංසාරයම බලන් ඉන්නට හිතෙන ඒ හිනාව ඔයාගෙ දෙතොල් සිප ගනීවි සෝඩි .

ආදරණීය සෝඩි

..මොන මොනවදෝ නොතේරෙන දේවල් මාව නිහඬ කරවනවා සෝඩි ..නොලියා ඉන්නම හිතුනත් මම ආයෙම ඔයාට ලියන්න ගන්නවා….

පොළොන්නරුවට මහා නියඟයක් එබිලා…දරන්න බැරි සුළඟක් හමා යනවා..වියළියි..අර මම නිතරම කියන ඔයාගෙ සුවඳ පොඳ නම් මේ සුළඟේ ගෑවිලාවත් නෑ .බැලූ බැලූ අත දුඹුරු පාටයි..එකම එක ගිනි කූරකින් යායක් අවුලුවන්න හැකි තරම් වියළියි. අම්මගේ මහන්සිය නිසාම ..මේ නිවහන වටා නම් සිසිලයි සෝඩි ..හැන්දෑවෙ හතර වෙනකොට පාට පාට සියොතුන් ඇවිත්…අම්මගේ පුංචි බේසම් වල නාන්න පටන් ගන්නවා..තරඟෙට වගේ..බලන් ඉන්න අපූරුයි.

මනුස්ස ප්‍රාණියෙක් විශ්වාස නොකලත් මේ සතුන් සීපාවන් නම් විශ්වාස කල හැකියි නේද සෝඩි ,එනවා කියල නොකියා ගියත් හැමදාම හැන්දෑවෙ හතර වෙනකොට කුරුල්ලන් එනවා..අපේ ජීවිත කාලයේ එන්නම් කියලා ගිහින් නෑවිදින් ඉන්න අය කොතරම්ද.සමහර වෙලාවට…

මිනිස්සුන්ට තමන්ගේ පොරොන්දු..බැඳීම් අමතක වෙනවා සෝඩි .තමන්ට වගේම අනෙකාට තියෙන්නෙත් රිද්මයානුකූලව ගැහෙන හර්දය වස්තුවක් කියලා අමතක කරනවා..තමන්ට වගේම දුක වේදනාව අනෙකාටත් දැනෙනවා කියල අමතක කරනවා..ඒක බොහොම නරකයි සෝඩි .

පාරට බැස්සම දෙනෝදහක් දෙනා මුණ ගැහෙනවා..අඳුනන, නාඳුනන අය..හැමෝගෙම මූණෙ හිනාවක් ඉපදුනත් ඒක එන්නෙ සන්තානයෙන්මද කියල අපි දන්නෙ නෑ..මම එක දෙයක් නම් හොඳින්ම දන්නවා…අපි කාටත්..තනියම අඬන්න තැනක් තියෙන්න ඕන සෝඩි ..උරහිසක් ලැබෙන්නෙ නැත්නම්..අඬ අදුරක් හරි. සමහරු එක පාරටම අපේ සිතිවිලි නවත්තනවා.අපේ මනස තමන්ගෙ පාලනයට ගන්න පුළුවන්කම තියෙන්නෙ සීමිත පිරිසකට.ඒ හැකියාව ලබන්නා කාරුණික වෙනතුරු මනසේ හිමිකරුවා ආරක්ෂිතයි.

අපි ආත්මගාණක් තිස්සෙ හමුවෙනවා සෝඩි සහෝදරයෝ වගේ,පෙම්වතුන් වගේ. යාළුවො වගේ. දෙමව්පියෝ දූ දරුවො වගේ…කවුරු වගේද කියන එකට වඩා හමුවෙනවා කියන වචනය සතුටක් නේද ?

”කොයි වෙලේ යන්න වෙයිද නොදන්න මේ ජීවිතේ…..” ඔය විදියට කතා කරන අය ගොඩක් අපි වටේ ඉන්නවා සෝඩි . ඒත් අපි කොච්චර කල් ජීවත් වෙනවද කියන එක නෙවෙයි වැදගත් අපිට ලැබුන කාලෙ අපි කොච්චරක් ජීවත් වෙනවද කියන එක නේද වටින්නෙ මගෙ හොඳ සෝඩි

ඉතින් ඔයා සුවෙන්ද ආදරණීය සෝඩි …නිදන්න දැන්…..උණුසුම් ගුදිරියක් මා වෙනුවෙන් බලා ඉන්නවා…විශ්වාසයෙන් බලා ඉන්න පුළුවන් කමක් මා ලඟ තාමත් තියෙනවා උනත්…බොහෝම ඉක්මනට කඩන් වැටෙන්න බලන මේ හදවත එක්ක නම් මම තරහයි සෝඩි

ඉතින් මේ සටහන කියවලා උපැස් යුවල ගලවන ඇසිල්ලෙ…සංසාරයම බලන් ඉන්නට හිතෙන ඒ හිනාව ඔයාගෙ දෙතොල් සිප ගනීවි

සදාකල්හිම ආදර,

තාරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *