හෙන ගැසූ භූමියක එසවීමට නියමිත නාසිවාදී ධජය – සුනේත්‍රා ඇතුගල්පුර

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂත්වය නිල වශයෙන් ප්‍රකාශ පත් කිරීමත් සමග ශ්‍රීලාංකික දේශපාලන කරළිය ටිකින් ටික උණුසුම් වන්නට පටන් ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ මුහුණ දී සිටින අර්බුදය උග්‍ර අතට හරවමින් තමා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශයට පත්කොට ඇත. එය එජාපයේ නිල තෝරාගැනීමද නොවේ.
ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂත්වය අලංකාර සම්මේලනයක් කැඳවා රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටුව නිල වශයෙන් රටට හෙළි කළ තත්ත්වයක් තුළ , කුඩා බස් නැවතුම්පොළක් විවෘත කිරීමේ උත්සවයකදී “තමා ඉදිරි ජනාධිපති ලෙස තරග කරන බව” සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කිරීම විශ්මය දනවන්නක් විය. ජනාධිපතිවරණ අපේක්ෂත්වය ගැනීම සඳහා පක්ෂය තුළ අරගල කොට තමන් වෙත බහුතරය කණ්ඩායමක් දිනා ගැනීමේ අභිප්‍රාය අමතක කොට, බලහත්කාරයෙන් අපේක්ෂත්වය ලබාගැනීමටත්, එය ප්‍රකාශ කිරිමටත්, දක්වන උනන්දුව සජිත්ගේ දේශපාලන ඥානය හා වගකීම් විරහිත බව මොනවට පෙන්නුම් කරන්නකි.

මේ අතර අපේක්ෂාවේ අපේක්ෂත්වය ලෙසින් ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කොට ඇත. එය ජාතික ජන බලවේගය සංවිධානය කළ රැස්වීමේදී ප්‍රකාශයට පත් කෙරිණි. මේ අනුව දැනට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ ගෝඨාභයට එරෙහි පොදු අපේක්ෂකයෙකු පිළිබඳව ඇති විශ්වාසය අවම බවය.

කවුරුන් පිළිගත්තත් නැතත් මෙරට ජන්ද දේශපාලනයෙ තීරණාත්මක සාධකයක් වන්නේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ය. ඒ අනුව ඉදිරියේදී ගෝඨාත්, අනූරත්, සජිත් හෝ එජාපය නම් කරන වෙනත් අපේක්ෂකයෙකු දෙමළ හා මුස්ලිම් නායකයින් ගේ සහය ඉල්ලා සාකච්ඡා වට පවත්වනු ඇත.
දෙමළ ජාතික සන්ධානය මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂට සිය සහාය පළ කරනු ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය. මුස්ලිම් නායකයින් ද එලෙසම කටයුතු කරනු ඇතැයි සිතිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ කඳවුරෙහි ජාතිකවාදී නඩය පසුගිය කාලයේ මූස්ලිම් විරෝධී ක්‍රියාවන්හි ප්‍රසිද්ධියේම නිරත වූ බැවිනි.Image result for gotabaya sajith anura

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට තරඟ කිරීම බහුතර සිංහල ජාතිකවාදීන් ගේ සිහිනය සැබෑ වීමකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව තවදුරටත් පසුගාමී ලෙස එම සිංහල ජාතිවාදී කොටසට නායකත්වය දෙමින් රැඳී සිටියේ මේ මොහොත ළඟා වනතුරුය. ගෝඨා නැතත් තම වලව්වේ කෙනෙකු ඒ සඳහා ඔහු සූදානම් කරමින් සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මතුවූ තත්ත්වයද ගෝඨාභය කරළියට පැමිණීමට බලපෑ තවත් ප්‍රධාන සාධකයක් වූවාට සැකයක් නැත. එහිදී යහපාලන රජය ජනතා විශ්වාසය නැත්තටම නැතිකර ගත්තේ එහි වාසිය මහින්ද-ගෝඨා කඳවුරට ලබාදෙමිනි.

යහපාලන ආණ්ඩුවේ පසුගිය කාලයේ සිදු වූ බල පෙරළියද ගෝඨාභය අපේක්ෂකත්වයට දැඩි බලපෑමක් එල්ල කෙරුණු බවට නොරහසකි.

යහපාලනය රටට කිසිවක් නොකළ බවත්, ආර්ථික සංවර්ධනය අඩාල කොට රට අනාරක්ෂිත කළ බවත් ගෝඨා ප්‍රමුඛ විපක්ෂය චෝදනා කරයි. එහෙත් මේ බොහෝ ගැටලුවලට නිර්මාපක ය අද සිටින්නේ මහින්ද පිලේ ය. ඔහු ජනාධිපතිවරණයේ දී ගනු ලබන තීරණය තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. එහෙත් එජාප ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සිරිසේන ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනගැනීමට හැකිවනු ඇත. එතෙක් ඔහු නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි සිතිය හැකිය. ඒ රටේ අනාගතයට වඩා රනිල් ප්‍රමුඛ කණ්ඩායමෙ අනාගතය ගැන ඔහු ඕනාවටත් වඩා හිතන බැවිනි.
ශ්‍රී ලාංකික දේශපාලනය තුළ අවංක පක්ෂ හා නායකයින් සොයාගැනීම කිසිසේත් නොහැකිය. සියල්ලන්ටම සැඟවුණු අරමුණු ඇති අතර අඩු වැඩි වශයෙන් සිය හෙන්චයියන් සතුටු කිරීම රට සංවර්ධනය කිරීමට වඩා ප්‍රමුඛතාව කොට ඔවුහු සලකති.

අනුර දිසානායකගේ අනුප්‍රාප්තිය එජාප, ගෝඨාභය බලවේග කෙරෙහි කලකිරී සිටින්නන්ට එක්තරා ආකාරයකට අස්වැසිල්ලකි. එහෙත් ඔහුට ඡන්ද ලබා ගැනීම ප්‍රායෝගික ප්‍රායෝගිකව අපහසු ය. අවසානයේ තරඟය ඇත්තේ ගෝඨාභය හා යූඇන්පී ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කරන අපේක්ශකයා අතරය. සජිත් වැනි පුද්ගලයෙකුට ගෝඨාභය රාජපක්ෂ සමග තරග කොට ජය ගැනීමට ඇති ඉඩ කඩ ඉතා අල්පය. ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රට තුළ ගොඩනගාගෙන ඇති පෞර්ෂයට සම කළ හැකි ප්‍රතිවිරුද්ධ නායකයෙකු පිළිබඳව යූඇන්පියට පවා තවමත් සිතා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

යහපාලන ආණ්ඩුව මගින් රට තුළ ස්ථාපනය කළ යහපත් ප්‍රජාතන්තවාදී ගුණාංගයන් අද බොහෝ පිරිස් වලට අමතකව ගොස් ඇත. දූෂණයෙන් හා භීෂණයෙන් පිරුණු රාජපක්ෂ පාලනය අවසන් කොට වසර පහක් තුල යහපාලන ආණ්ඩුව රටට හිමි කළ ජයග්‍රහණ සුළුපටු නොවේ. නමුත් පොරොන්දු වූ ආකාරයට දූෂිතයින්ට එරෙහිව ක්‍රියා නොකිරීම හා ඔවුන් ආරක්ෂා කිරීමේ විපාකයට එජාපය ප්‍රමුඛ යහපාලනය අද මුහුණ දී සිටී.”සිරබත් කෑ යුතු එකා ජනාධිපතිවරණයේ අපේක්ෂක දක්වා පැමිණ ඇතැයි”යහපාලනයට ඡන්දය දුන් ජනතාව සිතන්නේ ඒ නිසාය.

බලය නොමැති වුවත් රට ජාතිවාදී ගොදුරක් බවට පත් කිරීම සඳහා රාජපක්ෂ කඳවුරේ පිරිස් පසුගිය කාලයේ දී ක්‍රියා කළ ආකාරය අපි හොඳින් දුටුවෙමු. ඒ පිටුපස ඊට නායකත්වය දුන් පිරිස් කවුරුන්දැයි යන්නද වටහා ගැනීම අපහසු නොවේ. දැන් ගෝඨා ජනාධිපති වීමට උත්සහ කරන්නේ අලුතින් යමක් කිරීමට වඩා හිට්ලර් පන්නයේ ජාතිවාදී රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාය. කණගාටුවට කරුණ වන්නේ යහපාලනය ඇති කිරීම සඳහා වෙහෙස වී ක්‍රියා කළ දැන් කලකිරී සිටින පිරිස් ගෝඨාභය රාජපක්ෂ රටේ එකම විකල්පය ලෙස පිළිගැනීමේ තත්ත්වයක් නිර්මාණය වීම ය. මෙය ඇත්තෙන්ම බරපතළ තත්ත්වයකි.
දැන් අප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ” කවුරු ඉදිරි ජනාධිපතිවරයා වන්නේද යන්න නොවේ”. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීම වැළැක්වීමේ අභියෝගයට අපි අද මුහුණ දී සිටිමු. මෙය පක්ෂ, පාටවලට එහා ගිය අභියෝගයක් ලෙස අපට සිතෙන්නේ යම් හෙයකින් ගෝඨාභය බලයට පත්වුවහොත් රට අන්තවාදය කරා ගමන් කිරීම වැලැක්විය නොහැකි වන නිසාය.

සුනේත්‍රා ඇතුගල්පුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *