බන්ධන – 05 – ( හතරැස් කොටු )- නාමලී පෙරේරා ලියයි

දෙවුන්දරා සං නොරිකො ට ස්තුති වන්ත වෙන්න හේතු දෙකක් තියනව .ඒ ජීවිතය කියලා දුන්නට , ඊට පස්සේ ඒ ජීවිතයෙන් පලා යන මග මරණය කියල දුන්නට. එදිරිවීර සරච්චන්ද්‍ර කලාකරුවා මළගිය ඇත්තෝ තුළින් අපිට කියලා දුන්නෙ ආදරණීය ජීවිත ගැන.

පුංචි කාලේ කිරියි පැණියි ගෙනත් දෙන්න කියලා අපි හදට කියනව. ටිකක් ලොකු වෙද්දි ඒ හදෙන් අපි ආදරය හොයනව. ඉර එක්ක ගෙවන ජීවිත වල බැඳීම, වගකීම වැඩි වෙද්දී අපි හද යටදි මේ හැමදේම නිදහස් කරලා මානසික සුවයක් ලබනව. මේ ඉර හඳ යට අපි වෙනස් වෙනස් විදිහට සැනසීම හොයනව. මැරෙන්නේ කොහොමද, කවදද දන්නැති වුණාට ඉපදෙද්දී නර්ස් නෝනා බිත්තියේ ගහල තියෙන ඔරලෝසුවෙන් ලියාගත්තු වෙලාව උඩ අපි ජීවිතේ සැනසීම තීරණය කරන්න හතරැස් කොටුවකට බාරදෙනව.

අපි ආදරේ කරන්න පටන් ගත්තේ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේදි . අවුරුදු හතරක් ආදරය කලාට පස්සෙ අපි තීරණය කළා අපි දෙන්නගේ ජීවිතය පටන් ගන්න. එයා මුලින්ම අපේ ගෙදර ආවෙ මගේ උපන්දිනයක් දවසක. ඒ ඇවිත් ගියාට පස්සේ අම්මගෙන් බේරෙන්න බැරි වුණා එයාගෙ හදහන ගෙනත් දෙන්න කියල.

හඳහන් කොපිය ගෙනත් දීපු දවසට පස්සෙ දවසෙම අම්ම පුංචිලාගේ ගෙදර ගියේ පුංචි කාලේ ඉදන් අපේ හදහන් බැලුවෙ එයා නිසා. ඔය දේවල් ගැන ලොකු විශ්වාසයක් මගේ හිතේ නොතිබ්බත් අම්ම එනකල් මං බලන් හිටියේ පුදුම ඉවසීමකින්. හඳ පායන කල් බලන් ඉඳපු මට කලු වෙච්ච වළාකුළු අස්සෙන් හද පෙනුනේ ම නෑ . අම්ම ගෙදරට ඇවිත් පුටුවෙ වාඩි වෙලා හැරපු දිග හුස්මෙ බර තාමත් මගෙ පපුවට දැනෙනව. වචන දාහකින් කියන්න බැරි දෙයක් මං ඒ හුස්මෙන් එදා කියෙව්ව.

අම්මා මුනිවත බින්දෙ රෑ කෑමෙන් පස්සෙ. ” ඔය දෙන්නගෙ හදහන් ගැළපෙන්නෙ නෑ . ඒ දරුවාට කාල සර්ප යෝගයක් තියෙනව. ඔයාගේ කුජ හතේ. පාප කේන්ද්‍ර හදහනකට හොඳට හදහන් ගැලපෙන්නෙ නැතුව කසාද කරන්න හොද නෑ. “

මං එදා දවසෙ හැසිරුණේ පිස්සෙක් වගේ. රෑ එළිවෙනකම්ම නිදා ගත්තෙ නෑ. එයා කෝල් කලත් කතා කලේ නෑ . අනිත් දවසේ උදේම ඔෆිස් එකෙන් නිවාඩු දාල එයාවත් ඇදගෙන හදහන් දෙකත් අරගෙන අපිත් ගියා හදහන් බලන තැනකට. මුලින්ම ගියපු තැනින් අම්ම කියපු දේවල්ම ඊට වඩා සැර අඩු කරල කිව්ව . ඊළඟට ගිය තැනින් එයාගෙ අපල ගෙවෙන්න ග්‍රහ පූජාවක් කරන්න කිව්ව. ඒ වෙලාවෙ ඒකත් හිතට සැනසීමක්.

ඊළඟ සෙනසුරාදා ඉඳන් දවස් හතක් මං පේ වෙලා ග්‍රහ පූජාව කළා. ඒත් අම්ම හැමවෙලාවෙම හිටියේ මේ කසාදෙ කරන්න එපා කියන මතයෙ. මං දන්න දන්න තර්ක කළත් අම්ම වෙනස් වුනේ නෑ. වෙලාවකට මම අම්මා එක්ක රණ්ඩු වුණා. එහෙම වෙලාවට මගෙ හිත හදන්න තාත්තගෙ වටකුරු අකුරු වලින් ලියපු කවි මගේ මේසේ උඩ හැමදාම තිබුණ .

කවදාවත් ඇහැට දැකලා නැති කැරකෙන ග්‍රහලෝක වලට ඉරණම භාරදීල මාස හත අටක් අපි හදවතින් රිද්දගෙන ලෝකෙට පේන්න හිණාවුනා. දවසින් දවස අම්මගෙ නින්ද අඩු වෙද්දි එයා අසනීප වුණා. මල්ලි වචනයක්වත් නොකියා මාව මුහුණට හම්බවෙන වෙලාවට මූණ හංගගෙන මගහැරියා. තාත්තා මේසෙ උඩ තියපු කවි ඊට පස්සේ මං දැක්කෙම නැහැ. දවසක් අම්මට පපුවේ කැක්කුමක් හැදිල හොස්පිටල් අරන් ගියා. දවස් හතරකට පස්සෙ අම්ම ගෙදර ආවත් මාත් එක්ක වෙනද වගේ හොදින් කතා කලේ නෑ .

” අම්ම කෙනෙක් දරුවෙක් බඩේ තියාගෙන ඉන්නෙ මාස නවයක් උනාට මුළු ජීවිත කාලෙම හිතේ තියන් ඉන්නව පුතේ….. “ කියල තාත්ත කිව්වම මට මං ගැනම ඇතිවුනේ කලකිරීමක්.

අපි මුණගැහෙන දවස් ඉස්සර වගේ ආදරණීය වුනේ නෑ . එයාගෙ ආදරෙන් පිරිච්ච ඇස් වෙනුවට මං දැක්කෙ කලකිරුණු ඇස් දෙකක්.
” අපි මේක නතර කරමු…” ඒ වචන මගෙ පපුව අස්සෙ තාමත් ඇදුම් කනව. පපුව අස්සෙ ඉදන් ආපු හුස්ම ගුලියක් උගුරෙ හිරවෙනවත් එක්ක එයා මගෙ අත අතහැරල නැගිට්ට.

එදා මුහුද විලාප තිය තියා හඩපු සද්දෙ මතක් වෙද්දි මං අදටත් මුහුදු වෙරළට යන්න කැමති නෑ . ඒ අතීතයට දැන් අවුරුදු හතරක්. මං තාමත් ඉදල හිටල එයාගෙ ෆේස්බුක් එකවුන්ට් එකේ ඒ ඇස් හොයනව. ඒ ඇස් දෙකම තියන පුංචි කොලු පැටියෙක් පෝන් එකේ ස්ක්‍රීන් එකෙන් මට හිනා වෙනව දැක්කම හිත පිරෙනව.

තුන්සිය හැට පහේ ගුණාකාර වලින් ජීවිතය ගෙවා දමන මිනිස්සු හතරැස් කොටුවක් ඇතුළෙ ජීවිතේ තීරණය කරන්නෙ අසරණ කමටද…. මෝඩ කමටද…. කියල මට තාමත් තේරෙන්නෙ නෑ .

අසනග වැහි වලට
රළුවන පොළොව කිම
දිලිසෙන කදුලකට
උණුසුම සදනු බිම
තනිවුණු සයුර මැද
දකිනුද කෙලෙස ඉම
ද්‍රවයක් කොහෙද තව
රතු ලේ වලට සම……

– නාමලී පෙරේරා-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *