හූනන්ගේ නම් ගැන වදවෙන්න එපා, – සජිත් පුෂ්පකුමාර

ජීවී විශේෂයකට යොදන නම අන්තර්ජාතික නාමකරණයට ඇතුලත් වෙනවා. මේ නිසා යම් පුද්ගලයෙකුගේ නමක් කිසියම් ජීවී විශේෂයකට ඇතුලත් කිරීම ඒ පුද්ගලයාට කරනු ලබන ගෞරවයක් මිස අපහාසයක් නෙවෙයි.

හූනෙක්ව දැක්කාම පෙරේතයා දැක්ක වගේ යටි ගිරියෙන් කෑ ගහන අය,

ඊක්කේ….අන්න හූනෙක් අනේ..!! කියනවා මිසක්,

“අන්න ගෝටයිම්බර හූනා”

“අන්න නන්දිමිත්‍ර හූනා පරාලෙ ඉන්නවා”

කියලා නොකියන බව ඔබ දන්නවා.

ජීවී විශේෂයක් හොයාගන්න එක ගෙදර මෙට්ටෙ උඩට වෙලා ෆේස්බුක් එකේ දැකල පොරටෝක් දෙනවාට වඩා කැපවීමෙන් කරන්න ඕන වැඩක්. ඒකට අදාල ජීවියා ඉන්න පරිසර පද්ධතියට යන්න ඕන වගේම ඒ පරිසර පද්ධතිය තුල ජීවියාගේ ව්‍යාප්තිය, ඌගේ ජීව විද්‍යාත්මක ලක්ෂන අධ්‍යනය කිරීම පමණක් නෙවෙයි මේ ජීවියාව කලින් වාර්තා වෙලා තිබෙනවාද යන්නත් සොයාබැලිය යුත්තක්.

ශ්‍රී ලංකාව වගේ ජෛව විවිධත්වය අතින් පොහොසත් රටක උනත් ලංකාවටම ආවේණික විශේෂයක් සොයා ගැනීම ලංකාව පැත්තෙනුත් ආඩම්බර වෙන්න අවශ්‍ය කරුණක්.

දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ මේ හූනෝ හොයාගත්තු එකටත් වඩා උන්ට දාල තියෙන නම් ටිකනේ.. ඕක අර මං කලින් කීවා වගේ එච්චර ගැටළුවක් කරගන්නවත්, ජාතික වීරයින්ට කරන අපහාසයක්වත් නෙවෙයි. අනෙක් කරුණනම් මේ නම් යොදන එක අදාල පරීක්ෂකයන් කරන එකක් මිස රජයෙන් කරනු ලබන්නක් නෙවෙයි.

තමා හොයාගත්තු ජීවියාට තමන්ගේ නම යෙදීම හෝ තමා සහ තමන්ගේ රටේ ජනතාව ගරු කරන යම් පුද්ගලයෙකුගේ නමක් ‍යෙදීම සිදුවෙනවා. මේ විදියට ජීවී විශේෂ වලට පුද්ගලයන්ගේ නම් යෙදීම ශ්‍රී ලංකාව තුල පමණක් නොවෙයි අනෙක් රටවලත් සිදුවෙනවා.

ශ්‍රී ලංකාව තුල සොයාගත් ආවේණික ජීවී විශේෂ කිහිපයක පොදු නම් සහ විද්‍යාත්මක නම් පහතින් දක්වා තිබෙනවා.

විද්‍යාත්මක නාමකරණයේදී අදාල ජීවියාගේ ගන නාමය මුලිනුත් විශේෂ නාමය ඊට පසුවත් දක්වනවා. මේ විදියට විශේෂ නාමය ජීවියාව සොයාගත් පුද්ගලයන් විසින් ජීවියාට යොදන නාමයෙන් නම් කිරීම සිදුවෙනවා.

කොලාර්ට්ගේ කුරු ගෙම්බා – Adenomous kelaartii

අතුකෝරාලගේ ගෙම්බා – Duttaphrynus atukoralei

කොටගමගේ ගෙම්බා – Duttaphrynus kotagamai

කීර්තිසිංහගේ මැඬියා – Zakerana kirtisinghei

කරුණාරත්නගේ මුව පටු මැඩියා – Microhyla karunaratnei

පතිරන සාලයා – Danio pathirana

බන්ධුල පෝතයා – Puntius bandula

මේ විදියට ඉහත සඳහන් ආකාරයට නම් යොදලා තියෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ගැන පරීක්ෂන කල විද්වතුන්ට කරනු ලබන ගෞරවයක් ලෙස. අන්තර්ජාතික නාමකරණය ඇතුලට යම් පුද්ගලයෙකුගේ නමක් ඇතුලත් වෙනවානම් ඔහුගේ නම විද්‍යාත්මක නාමකරණය ඇතුලේ අමරණීයත්වයට පත්වෙනවා.

හූනන් ගැන පරීක්ෂන කල අයටත් තමන්ගේ නම් යොදා තමන්ගේ නම් අමරණීය කරගන්න ඇතිතරම් අවකාශ තිබියදී ඔවුන් ඒ අවස්ථාව කැප කරන්නේ මේ රට වෙනුවෙන් සේවයක් කරපු ජාතික වීරයන්ගේ නම් විද්‍යාත්මක නාමකරණය ඇතුලේ අමරණීයත්වයට පත් කරන්න.

නමුත් ජාතික වීරයින් තියා මේ පරීක්ෂක කන්ඩායම තරම්වත් දෙයක් රට වෙනුවෙන් නොකරපු හැමදාම අම්මගෙන් පිංබත් ගිල ගිල මූණු පොතේ කාඩ්බෝඩ් වීරයො වෙන්න දඟලන අය විතරක් නෙවෙයි, අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, ඇමතිවරු පවා මේ ගැන විවේචනය කරනවා දැක්කා.

මට මතක විදියට විද්‍යාත්මක නාමකරණය ගැන පාසල් විශය නිර්දේෂයට ඇතුලත් වෙන්නේ සාමාන්‍යපෙල විභාගයට. ඉතිං සමහරවිට මේක විවේචනය කරන අය සාමාන්‍යපෙල විභාගය ලියද්දි ඒ පාඩමින් කට්ටි පැන්නා වෙන්නත් පුලුවන්..!!

කොහොමවුනත් මේ කරපු වැඩේ ගැන පරීක්ෂකයන්ට ගෞරවය හිමිවිය යුතුමයි. මොකද විද්‍යාත්මක නාමකරණය නිර්මාණය කරේ ඒ සමහර වීරවරයන්ව මරා දැම්ම ඉංග්‍රීසි ජාතිකයන් විසින්. ඉතිං ඔවුන්ගේ නාමකරණය ඇතුලේ අපේ වීරයින් අමරණීය වෙන එක ඇත්තෙන්ම සතුටු වෙන්න ඕන කාරනයක්.

මේ පරීක්ෂනයට මූලිකත්වය ගත්තු පරිසරවේදී “සමීර සුරංජන් කරුණාරත්න” මහතාවත් ගෞරවයෙන් සිහිපත් කරනගමන් මේ අලුතින් හොයාගත්තු හූනු විශේෂ වල නම් මේ විදියට දක්වන්නම්.

Cnemaspis nandimithrai

Cnemaspis gotaimbarai

Cnemaspis kohukumburai

Cnemaspis hitihami

Cnemaspis butewai

Cnemaspis kivulegedarai

සිනෙමාප්සිස් නන්දිමිත්‍රායි

සිනෙමාප්සිස් ගෝඨයිබරයි

සිනෙමාප්සිස් කොහුකුඹුරායි

සිනෙමාප්සිස් හිටිහාමි

සිනෙමාප්සිස් බූටෑවායි

සිනෙමාප්සිස් කිවුලේගෙදරායි

ශ්‍රී ලංකාවේ ජන සමාජය සහ සංස්කෘතිය තුල හූනාට ඇති පිලිගැනීමේ ආකාරය අනුව මේ නම් යෙදිම ගැන මෙහෙම විවේචන ආවත්, මේ ක්‍රියාවලිය තුල ඇති සැබෑ අරමුණ හඳුනානොගෙන හෝ නොසලකාහැර ඒ ගැන විවේචනය කිරීමනම් ලැජ්ජා සහගතයි.

මෙතනදී මාධ්‍ය විසින් මෙය වාර්තා කර තිබෙන ආකාරයත් නින්දිතයි. විද්‍යාත්මක නාමකරණය තුල ජාතික වීරයින් අමරණීයත්වයට පත්වීමට වඩා ඔවුන් ඉස්මතු කර තිබුනේ ජාතික වීරයන්ව හූනන් ගානට දැමීම කියන කාරණය.

සමහරු කියා තිබුනා මේ වීරයින්ගේ නම් සතෙකුට දාන්න අවශ්‍යනම් කේෂර සිංහයෙක්ට දැමිය යුතුයි කියා. නමුත් ලංකාව තුල වර්තමානයේ ස්වභාවික පරිසර පද්ධතිය තුල සිංහයන් වාසය නොකරන බවවත් ඔවුන් දන්නවාද යන්න ගැටළු සහගතයි..!!

(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *