පොතකින් දැනුන කවියක් 10. – අශෝක කුලතුංග ලියයි

කෘතිය : අත් පසුරු.
කතෘ : පෙමිලා මධුශානි ඉලේසිංහ.
ප්‍රකාශනය : ගොඩගේ.

තවත් හිරු මඬලක්.

( පුවතක් – පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් හැකිතාක් හිරු එළියෙන් ආවරණය වී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.)
නුඹත් හිතුවක්කාර විදියට
රතු කටුව පැන සැරෙන් බැලුවට
දැන දැනම නොකළෙමිය වරදක්
මහ පොළව පල් නුබේ නාමෙට..
පසාකර නුබෙ අහස් භවනද
මැඳුරු සුවිසල් කුලුනු තනමින
ඉර හඳත් මෙහි ගෙනෙන්නට
අවැසි වූයේ මෙමට නොව
ඔවුනටය..
බැල මෙහෙ කළා පමණි උන් ළඟ
සෙවණට උන්නෙ නුඹ පමණි මට..
මමත් නුඹ මෙන්
ලොවකට
දිය යුතුය ආලෝකය
සහල් මිටක්
පොතක් පතක්
බෙහෙත් ටිකක්
දවටා සෙනෙහසක ගොඩක්
නොගෙන ගියොත්
එහි යන විට
මිය යා හැක
තුරු හිස අග
ළපටි මල් කැකුළු එක්ක ම..
ඉතින් ඇඟලා නොගෙන කොහොමද
නුබේ ඔය ගිනි සළුව..
පිච්චිලා මට හොඳට පුරුදුයි
වහින දවසට වැඩ නැතුව..

2017 වර්ෂයේ ගොඩගේ ජාතික කාව්‍ය අත්පිටපත් තරඟයේ ප්‍රශස්ත කාව්‍ය අත්පිටපතක් ලෙස තේරී පත් ව මුද්‍රිත වූ “අත් පසුරු” පැදි ගත පෙමිලා මධුශානි ඉලේසිංහ කිවිඳියගේ කුළුදුල් ම පද්‍ය සංග්‍රහය වේ. කාව්‍ය නිර්මාණ පනස් හයකින් සංගෘහිත මෙය විවිධ සමාජ අනුභූතීන් තේමා කොට විරචිත ය. කාව්‍ය කෘතිය පුරාවටම අනාගත කවි මඟෙහි සාධනීය ලක්ෂණ උපස්තම්භනය කිරීමට කිවිඳිය සමර්ථ වෙයි. බහුතරයක් නිර්මාණවල ඇය භාවිත කරන රූපකාලංකාර හා කාව්‍යෝක්ති සපිරි මනෝරම්‍ය පද බන්ධනය සුහුඹුල් කිවිඳියගේ ප්‍රතිභාව මනාවට සංනිදර්ශනය කරයි.

පියෙකුගේ හදවතෙහි නැගෙන දාරක ස්නේහය අරමුණු කරගනිමින් “තවත් හිරු මඬලක්” පද්‍ය නිර්මාණය නිර්මිත ය. තම දරුවන් හා බිරිය රැකීම වෙනුවෙන් ජීවන අරගලයක යෙදෙන පියෙකු මෙහි ලා කිවිඳිය තම වස්තු විෂය කරගනී.
තත් නිර්මාණය ආරම්භයේදී ම පාඨකයා හමුවේ පුවතක් දිග හැරෙයි. එයින් නිර්මාණය වඩාත් හොඳින් පාඨකයාට විඳීමට අවකාශය ලැබෙයි. කථකයා හිරුට ආමන්ත්‍රණය කරයි. ‘රතු’ පැහැය යනු එක් පසකින් රාගයත් තවත් පසෙකින් අනතුරුදායක බවත් ආලෝලනය කරන සංකේතයකි. මේ නිර්මාණයට අනුව හිරුගේ චණ්ඩ රශ්මිය අනතුරුදායක බව ස්පනිෂිත වේ. හිරුගේ දැඩි උණුසුමට හේතුව තමා නොවන බව කථකයා පවසන්නේ මහ පොළව දිවුරමිනි. කිවිඳියගේ සරල පද සංඝටනය ප්‍රශස්තය.

“පසාකර නුබේ අහස් භවනද
මැඳුරු සුවිසල් කුලුනු තනමින
ඉර හඳත් මෙහි ගෙනෙන්නට
අවැසි වූයේ මෙමට නොව
ඔවුනටය..
කථකයා ගොඩනැඟිලි ඉදිකරන්නෙකි. සමාජ අර්ථ ක්‍රමයේ ඉහළින් ම වැජfUන්නන්ගේ රුචිකත්වය මත තුංග ගොඬනැගිලි තැනෙයි. ඔවුන් සියළු දෑ මුදලට ලබා ගැනීමට යත්න දරන බව “ඉර හඳත් මෙහි ගෙනෙන්නට” යන පද්‍ය පාදයෙන් මනාවට දෙස් දෙයි. කථකයා වරදකරුවෙකු නොවන බව කිවිඳිය ජනනය කරන්නේ පාඨක හදවතෙහි සංවේගය වඩාත් තීව්‍ර කරමිනි.
කථකයා කොතරම් ආර්ථික ධරිද්‍රතාවයෙන් පෙළෙන කුලීකරුවෙකු වුවත් ඔහුටත් කුටුම්බයක් තිබෙයි. එහි සියලු දරදිය ඔහු ඉසිලිය යුතුය. “සහල් මිටක්”, “පොතක් පතක්”, “බෙහෙත් ටිකක්” යන ඖචිත්‍ය යෙදුම් භාවිතයෙන් එය මැනවින් සංලක්ෂිත වේ. පාඨක මනසෙහි චිත්ත රූප නිරූපණය කරන ධ්වනිතාර්ථවත් සරල භාෂා භාවිතය කිවිඳිය සතු නිර්මාණකරණයේ ස්ඵුට බාවය යි.
පිය දරුවන්ගේ තත් අවශ්‍යතා ඉටු නොකළහොත් සිදුවන්නේ විපතකි. පෙමිලා කිවිඳිය එය පෙළ ගස්වන්නේ මෙලෙසිනි.
“මිය යා හැක
තුරු හිස අග
ළපටි මල් කැකුළු එක්ක ම..”
“ළපටි මල් කැකුළු” යනු කථකයාගේ කුඩා දරුවෝ වෙත්. මිහි මඬලට හිරු ආලෝකයක් සේම මේ දුගී නිවහනේ සියලු සාමාජිකයන්ට කථකයා ආලෝකයකි. කිවිඳියගේ උපමා නිරූපණය සාර්ථක ය.

“ඉතින් ඇඟලා නොගෙන කොහොමද
නුබේ ඔය ගිනි සළුව..
පිච්චිලා මට හොඳට පුරුදුයි
වහින දවසට වැඩ නැතුව..”

රජය මඟින් කොතරම් නිවේදන නිකුත්කළ ද කථකයා රැකියාවට යා යුතුය. ගින්දර ඉතා උණුසුම් ය; අනතුරුදායක ය. ගිනි සළුවක් නම් එහි ඇති භයානකත්වය අති මහත් ය. එහෙත් කථකයා තම කුටුම්බිය වෙනුවෙන් ඒ සියලු පිරිපත් ඉවසයි. කථකයාගේ රැකියාවේ ස්වභාවය අනුව ඔහුට වර්ෂාව ද අයහපත් ය. කිවිඳියගේ අවස්ථානෝචිත යෙදුම් තුළින් පාඨක හදෙහි කරුණා රසය වඩාත් තීව්‍ර වේ.

කාලීන අනුභූතියකට උචිත තත් පද්‍ය පංතිය නිර්මාණය කිරීමේදී කිවිඳිය භාවිත කළ නිදහස් ආකෘතියත්, උපමා, සංකේත හා කාව්‍යෝක්ති පිරි ධ්වනිතාර්ථවත් සරල බස් වහරත්, පාඨක හදවතෙහි කරුණා රසය ජනනය කරන චිත්ත රූප නිරූපණයත් සැළකීමේදී “අත් පසුරු” කාව්‍ය කෘතියේ නිර්මිත විශිෂ්ට නිර්මාණයක් ලෙස මෙය විශද කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *