කාලෝ ෆොන්සේකා දිවියෙන් සමුගනී.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) අභ්‍රාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 86 වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ඒ මහතා ගත්කතුවරයෙකු ගේය පද රචකයෙකු මෙන්ම ප්‍රකට විද්වතෙක්ද විය.

පහත දැක්වෙන්නේ කාලෝ ෆොන්සේකා මහතා පසුගියදා අනිද්ද පුවත් පත වෙත ලබාදී තිබූ සාකච්ඡාවකි.

මිනිසත් බව ලබා උපන් සියලු බුද්ධිමත් මිනිසුන් සිය ජීවිතයේ එක් අවධියක දී හෝ ප්‍රශ්න තුනකට මුහුණ දෙනවා. පළමු ප්‍රශ්නය, අප කවුරුන් ද, යන්නයි. දෙවැන්න, අප මේ ලෝකයට සම්ප්‍රාප්ත වුණේ කොහේ සිට ද, යන්නයි. තුන්වැන්න කවදා හෝ අප මේ ලෝකයෙන් සමුගෙන මරණෙන් පසු ව යන්නේ කොයිබට ද, යන්නයි. මේ ප්‍රශ්න තුනට උත්තර සැපයීමේ බුද්ධිමය ව්‍යායාම ලෙසයි, ආගම, දර්ශනය සහ විද්‍යාව මා සලකන්නේ.

ජ්‍යේෂ්ඨ පුරවැසියකු ලෙස ආගම නමැති සංසිද්ධිය පිළිබඳ ව ඔබ දරන ආකල්පය කුමක් ද?

පළමුවෙන් ම කිව යුත්තේ තරුණයකු ලෙස සිටි කාලයේ ආගම පිළිබඳ ව දැරූ අදහසට බෙහෙවින් ම වෙනස් අදහසක් ආගම සම්බන්ධයෙන් අද මා දරන බවයි.
මා ආගම ගැන සිතන්නේ දර්ශනයට හා නවීන විද්‍යාවට සාපේක්ෂ ලෙසයි. ආගම, දර්ශනය හා විද්‍යාව මා සලකන්නේ මනුෂ්‍ය බුද්ධියේ වැදගත් විමර්ශන ක්‍රම ලෙසයි.

මිනිසත් බව ලබා උපන් සියලු බුද්ධිමත් මිනිසුන් සිය ජීවිතයේ එක් අවධියක දී හෝ ප්‍රශ්න තුනකට මුහුණ දෙනවා. පළමු ප්‍රශ්නය, අප කවුරුන් ද, යන්නයි. දෙවැන්න, අප මේ ලෝකයට සම්ප්‍රාප්ත වුණේ කොහේ සිට ද, යන්නයි. තුන්වැන්න කවදා හෝ අප මේ ලෝකයෙන් සමුගෙන මරණෙන් පසු ව යන්නේ කොයිබට ද, යන්නයි. මේ ප්‍රශ්න තුනට උත්තර සැපයීමේ බුද්ධිමය ව්‍යායාම ලෙසයි, ආගම, දර්ශනය සහ විද්‍යාව මා සලකන්නේ.

ආගම පදනම් වන්නේ ප්‍රධාන කොට ම භක්තිය හා විශ්වාසය මතයි. දර්ශනය බුද්ධිය උපයෝගී කොට ගනී. විද්‍යාව බුද්ධියට අමතර ව බුද්ධියෙන් එළඹෙන නිගමන හරිද, වැරදි ද කියා නිගමනය කිරීමට අත්හදාබැලීම් උපයෝගී කොටගනී. දළ වශයෙන් කියතොත් ආගමේ පදනම හුදු විශ්වාසයයි. දර්ශනයේ පදනම හුදු බුද්ධියයි. විද්‍යාවේ පදනම බුද්ධියට අමතර වශයෙන් යොදාගැනෙන ප්‍රායෝගික අත්හදාබැලීම් හෙවත් අත්‍යවශ්‍ය ආනුභූතික විමර්ශනයයි.

ආගම නමැති හුදු සංසිද්ධිය පිළිබඳ ඔබේ ආකල්පය කුමක් ද?

පෙර සියලු ආගම් එක ගොන්නක ලා සැලකීමට පුරුදු ව සිටි මා දැන් දේව නිර්මාණවාදී ආගම් සහ දේව නිර්මාණවාදී නොවන ආගම් වශයෙන් ප්‍රධාන ධාරා දෙකක් යටතේ ආගම් පිළිබඳ සලකා බැලීමට පෙළඹී සිටිනවා.

අප ජීවත් වන ලෝකයේ ප්‍රධාන දේව නිර්මාණවාදී ආගම් අතර යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම යන ආගම් ප්‍රමුඛයි. දේව නිර්මාණවාදී නොවන ආගම් අතර බුද්ධාගමට හිමි වන්නේ අද්විතීය ස්ථානයක්. දේව නිර්මාණවාදී ආගම් පදනම් වන්නේ දේව නිර්මාණ ලෙසින් සැලකෙන කිසි දු ආකාරයකින් වෙනස් කළ නොහැකි යැයි සලකමින් විශ්වාස කරනු ලබන දේව වාක්‍ය මතයි. ඒවා බයිබලය, කුරාණය වැනි ග්‍රන්ථවල අන්තර්ගත වී තිබෙනවා. එසේ දේව නිර්මාණවාදී නොවන ආගම්, ආගමකට වඩා සමීප වන්නේ දර්ශනයකටයි. ලෝකයේ ලෙයින් පෙඟුණ ඉතිහාසයට බොහෝ සෙයින් ම වගකිව යුත්තේ මේ දේව නිර්මාණවාදී ආගම් ම වන බව පෙනී යනවා.

එවැනි ආගම් පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක් ද?

ඒ පිළිබඳ ඉතා ම විනිවිද යන අර්ථකථනයක් ඉදිරිපත් කර තිබෙන්නේ කාල් මාක්ස් නමැති දාර්ශනිකයා විසිනුයි. තම වටපිටාවේ වූ එවැනි දේව නිර්මාණවාදී ආගමික පසුබිමක සිට ඉදිරිපත් කර ඇති, ආගම පිළිබඳ ඔහුගේ නිර්වචන රාශිය අතරින් මගේ මතකය දිව යන්නේ සංකල්ප කිහිපයක් වෙතටයි. ආගම පිළිබඳ එක් විවේචනයක ඔහු පවසන්නේ ආගම වූකලී ලෝ තතු පිළිබඳ සාමාන්‍යකරණයක් බවයි. තව ද එය ආගම්වලින් උගන්වන දේ පිළිබඳ විශ්වකෝෂීය සාරසංග්‍රහයක් බවයි. එසේ ම එය ලෝකයේ ජීවන රිද්මය පිළිබඳ ජනප්‍රිය විවරණයක් බවයි.
ඊට අමතර ව ඔහු ආගම විස්තර කළේ, ‘පීඩිතයාගේ සුසුම, කුරිරු ලෝකයේ මුදු හදවත, අචේතනික දෛවයේ කරුණාබර ආත්මය, මහජනතාවගේ අබිං’ ආදි වශයෙන්. දේව නිර්මාණවාදී ආගම් විනිවිද යන මෙවන් කදිම විග්‍රහයක් මීට කලින් මට හමු වී නැහැ.

දේව නිර්මාණවාදී නොවන ආගම් පිළිබඳ ඔබගේ ආකල්පය කුමක් ද?

තරුණ කාලයේ දී මා සියලු ආගම් සැලකුවේ මාක්ස්ගේ විග්‍රහයට නතු වන ඒවා ලෙසයි. එබැවින් ආගම් මිනිසාගේ ජීවිතයට එතරම් අදාළ නොවන සංසිද්ධියක් ලෙසයි, මා සැලකුවේ.
එහෙත් පසු කාලයේ දී විද්‍යාව ගැඹුරින් හැදෑරීමේ දී පෙනී ගියේ, ආගම් ඇදහීමට වෙන ම ම යාන්ත්‍රණයක් මිනිස් මොළයේ අනාදිමත් කාලයක සිට අන්තර්ගත වී තිබෙන බවයි. දැනට ලැබී තිබෙන අලුත් ම දත්ත අනුව ආගම් පිළිබඳ ඇදහිලි යටත් පිරිසෙයින් අවුරුදු තිස් දහසකට පමණ එපිටට දිව යනවා. සංගීතය පිළිබඳ ව ද කිව යුත්තේ ද එවැනි ම දෙයක්. ඒ නිසා මිනිස් මොළයේ සුවිශේෂ කොටස් ආගමික ඇදහිලි සහ සංගීතයට අවුරුදු තිස් දාහකට අධික කාලයක සිට කැප වී සිටින බව නිගමනය කළ යුතුයි. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන බවත් කිව යුතුයි. එවැනි පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වන ලක්ෂණ කිසියම් ජීව විද්‍යාත්මක වටිනාකමකින් සමන්විත විය යුතුයි.

මෙහි දී මතු වන වැදගත් ප්‍රශ්නය නම්, ආගම නමැති සංසිද්ධියෙන් යම්කිසි ගෝත්‍රයකට හිමි වූ ප්‍රයෝජන හෙවත් ජීවවිද්‍යාත්මක වාසිය කුමක් ද, යන්නයි. සමාජ ජීවවිද්‍යාඥයන් මෙයට දෙන පිළිතුර ගෝත්‍රයක හෙවත් රංචුවක සාමාජිකයන් තමන්ගේ ආගම් භක්තිය නිසා ඒකාබද්ධ කරනු ලැබෙන බවයි. ඉතිහාසයේ ප්‍රගමනය ඇති වී තිබෙන්නේ, ගෝත්‍ර අතර සිදු වූ සටන්වලින් බව ඉතා පැහැදිලි වී තිබෙනවා. මේ සටන්වල දී ආගමක් විසින් ඉතා දැඩි ව ඒකාබද්ධතාව ලැබූ ගෝත්‍රයට සටන්වල දී ජයග්‍රහණය ලැබීමට තිබෙන සම්භාවිතාව වැඩි බව අමතුවෙන් කිව යුතු දෙයක් නොවේ. සටන්වලට අමතර ව යහපත් කටයුතුවලට ද ආගමික බලපෑම බහුල ව ලැබී තිබෙන බව පෙනෙනවා.

නූතන ලෝකයේ දී ආගම්වලින් සිදු වන කාර්යභාරය කුමක් ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මගේ මතකයට නැඟෙන්නේ යුවාල් හරාරී නමැති ලෝක ඉතිහාසය පිළිබඳ යුදෙව් ජාතික මහාචාර්යවරයාගේ විවරණයක්. ‘21 වෙනි සියවසට පාඩම් 21’ නමැති මෑතක දී පළ වූ ඔහුගේ කෘතියෙන් ඔහු පවසන්නේ, ලෝකයේ වාසය කරන අපට, විසඳා ගත යුතු ප්‍රශ්න වර්ග තුනක් තිබෙන බවයි.

හුදු තාක්ෂණික ප්‍රශ්න –  උදාහරණ: අද ලෝකයේ සිදු වෙමින් පවතින පරිසර විනාශය. ඒ ප්‍රශ්නයට පිළිතුරු ආගමෙන් හෝ දර්ශනයෙන් ලබාගත නොහැකි ය. ලබාගත හැකි වන්නේ විද්‍යාවෙන් පමණි.

ජල ප්‍රශ්න   උදාහරණ: ලෝකය මුහුණ දී සිටින ජල හිඟය, ජනගහන වර්ධනය වැනි ගෝලීය ගැටලු පිළිබඳ සමස්ත ලෝකය අනුගමනය කළ යුතු ප්‍රතිපත්ත ආදිය. මේ ගැටලුවලට පිළිතුරු සෙවීම සඳහා ආගම් වෙතට නැඹුරු වෙනවාට වඩා අප යොමු විය යුත්තේ විද්‍යාව දෙසට බවයි, සම්මත මතය.
අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්න: උදාහරණ: අප කවුරුන් ද, කොහි සිට පැමිණියේ ද ආදි අපගේ අනන්‍යාව පිළිබඳ ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලබාගත හැකි වන්නේ ආගමික ප්‍රවේශයකින් බව කිව යුතුයි. උදාහරණයක් වශයෙන් අප සිංහල බෞද්ධයන් යැයි කීමෙන් අපට සුවිශේෂ අනන්‍යතාවක් හිමි වන බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයකි. එහෙත් ඒ අනන්‍යතාව පදනම් කරගෙන සෙසු ආගම්වලට අයත් පුද්ගලයන්ට සමාන ලෙස සැලකීමේ සම්ප්‍රදාය අපට උරුම වී තිබෙන්නේ අශෝක අධිරාජයාගේ සම්ප්‍රදායට හිමිකම් කියන නිසයි.

අපේ රටේ බෞද්ධාගමට සුවිශේෂ ස්ථානයක් හිමි විය යුතු බව මින් පෙර ඔබ ප්‍රසිද්ධියේ කියා තිබෙනවා. මේ පිළිබඳ ව ඔබේ වත්මන් ස්ථාවරය කුමක් ද?

ඔව්. එදා මා සෝමරත්න දිසානායක සූරීන්ගේ, ඉංග්‍රීසි චිත්‍රපටයක සිංහල අනුවාදයක් ලෙසින් ඉදිරිපත් කළ ‘සරිගම’ චිත්‍රපටය නරඹා චිත්‍රපට ශාලාවෙන් පිටතට ආවේ එක්තරා උද්දාමයකින් යුතු වයි. ඒ චිත්‍රපටය නිර්මාණය කිරීමට දායක වූ සෝමරත්න දිසානායක, ප්‍රධාන නිළි මාලනී ෆොන්සේකා කලාකාරිය, මහා ආචාර්ය රෝහණ වීරසිංහ අසහාය සංගීතඥයා යන තිදෙනා ම උපතින් සහ කල්ක්‍රියාවෙන් බෞද්ධයන්. එහෙත් ඒ තිදෙනා කතෝලික සම්ප්‍රදායේ එන කථාවක් අතිශය නිර්ව්‍යාජ ලෙස නිරූපණය කිරීමට සමත් වී තිබෙන අන්දම ගැන කතෝලික සම්භවයක් සහිත මා විස්මයට පත් වුණා.

ඒ මොහොතේ දී කිසියම් නිවේදකයකු මට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මා කීවේ, ‘මේ චිත්‍රපට නිර්මාණය විශ්වකර්ම වැඩක් !, ප්‍රාතිහාර්යයක් !, ආශ්චර්යයක්’ වන බවයි. මා දන්නා තරමින් මෙහි ප්‍රධාන චරිත තුන, එනම් ඉහත කී තිදෙනා උපතින් බෞද්ධයන් වන නමුත් මේ කථාවෙන් කතෝලිකයන්ගේ අධ්‍යාත්මයේ හරය, ඉතා මැනවින් නිරූපණය කර ඇති බව මා පැවසුවා. එවැනි හාස්කමක් කිරීමට හැකි වන්නේ බෞද්ධයන්ට පමණක් ම බවත් මම එහි දී කීවා. ඒ නිසා මේ රට ඉදිරියට යෑමට නම් මේ රටේ රාජ්‍ය ආගමක් තිබිය යුතු බවත් ඒ ආගම, බෞද්ධාගම විය යුතු බවත් එදා කීවා මට මතකයි.

මේ අනුව අපේ රටේ බෞද්ධාගමට හිමි සුවිශේෂ තැන ලබා දීමෙන් අන්‍යාගමිකයන්ට යම් මදිපුංචිකමක් වෙනවායි, කියා ඔබට හිතෙන්නේ නැති ද?

කිසිසේත් ම නැහැ. බෞද්ධ සමාජයේ ඉතිහාසය දෙස බැලූ විට ආගමික සහජීවනය විශේෂයෙන් ම කැපී පෙනෙන ලක්ෂණයක්. ඒ ප්‍රධාන බෞද්ධාගමික පරිසරය තුළ අන්‍යාගමිකයන්ට මනා වූ නිදහසක්, ස්වාධීනතාවක් ලැබෙනුයේ වෙනත් ප්‍රධාන ආගම් පවතින රටවල අන්‍යාගම්වලට ලැබෙන නිදහසට සාපේක්ෂ ව කැපීපෙනෙන සාධනීය ලක්ෂණ පෙන්නුම් කරමින්.
සිංහල බෞද්ධයන් නමැති යෝධ වෘක්ෂයේ සෙවණ යට අන්‍යාගමිකයන් නමැති පැළෑටිවලට දලු ලා ලියලා වැඩෙන්නට මනා වූ අවකාශයක් ලැබී තිබෙන බව…, ඇත්තෙන් ම කිවහොත් ඕනවටත් වඩා නිදහසක් ලැබී තිබෙන බව…, වර්තමානය දෙස බලන විට සීමාව ඉක්මවා ගිය නිදහසක් ලැබී තිබෙන බව පැවසීම කිසි සේත් ම අතිශයෝක්තියක් නොවෙයි.

එදා මෙදා තුර විදේශ ආක්‍රමණ වැනි බලවේග හමුවේ නොපසුබට ව මේ යහ ජීවනයේ මුදුන් මල්කඩ වෙමින් ජාතියේ මුර දේවතාවන් ලෙසින් ක්‍රියා කර ඇත්තේ, ජාතියට මග පෙන්වා ඇත්තේ ගෞරවනීය මහා සංඝරත්නය ම බව මේ අවස්ථාවේ දී කෘතවේදී ව පැවසිය යුතුයි. ■

Leave a Reply

Your email address will not be published. Required fields are marked *