කාලෝ ඔබ අවැසිකලම නික්ම ගොස්ය.. එහෙත් ඔබ යායුතුය.. – තුසිත පතිරණ

නවීන යැයි පාරම්බාන විසි එක්වන සියවසේ මහා විප්ලවකාරී යුගයක, මිත්‍යාව පිමිගසමින් ටෙලිවිෂනයද එතැනින් ඔබ්බට සෙලියුලරයටද පිවිසී ඵලාපල දෙසන, සති අන්ත පත්තර කඩමාලු පිටුගණන් නැවත ඉපදීම්ද, භූත ආත්මයන්ද ? හොල්මන්ද ගෙන්වා යස රඟට ඔලුගෙඩි වෙනස්කරමින් පවතින කාලයක, කාලෝ ඔබ නික්ම ගොස් ඇත.
ගිනි පෑගීම මාර හාස්කමකින් සිදුවන්නක් බව එතෙක් මෙතෙක් මිනිස් මනස විපරීත කොට තිබූ තැන ඔබ ඒ කිසිවකින් නොව එය සාමාන්‍ය කළ හැකි දෙයක් බව ඔප්පු කොට පෙන්වාදුන්නේය. පෙර ආත්මයන් ගෙන්වා කතා බස් කරන බවත් ඔවුන් නැවත පැමිණ විපරීත තත්වයන් ඇති කරන බවත් පෙන්වා දුන් මිත්‍යාව බැහැර කරමින් මිහි මත මිනිස් ශක්තිය විනා අන්කවර හෝ ශක්ති ප්‍රභවයක් නැති බව සාක්ෂි සහිතව පෙන්වා දුන් හේතුඵලවාදියා ඔබම විය.

අධ්‍යාපනය අයිතියක් බවත් එය මූල්‍ය වටිනාකම් මත නොව හැකියාව දක්ෂතාවය මත පදනම් වූ අලෙවි නොකළ යුතු භාණ්ඩයක් බවට පොත්පත්වල ලියා හැංගී අදහස් දැක්වීම වෙනුවට එළියට පැමිණ මහළු බවටද අභියෝග කරමින් විදියේ සටන් වැදි අරමුණක් සහිත විප්ලවවාදියා ඔබම විය.

භෞතිකවාදී පදනම කෙලෙසා නොගෙන එහිම රැදී සිටිමින් සතුට, දුක වින්දනමාත්‍රයන් පමණක් බව හෙළිපෙහෙලිකිරීමට සමත් කලාව යථර්තවාදය උදෙසා මිස මිත්‍යාව හෝ හුදු මනෝවිකාරයක් නොවන බව පසක් කරමින් ගීතයද , කතාවද, කවියද එකී අරමුණු සාත්සාත් කරනු වස් අතිශය නිර්මාණශීලී කලා නිර්මාණ කළ දුර්ලභගණයේ කලාකරුවානන්ද ඔබම විය.

වෛද්‍ය විද්‍යාව තම ශිල්පීය ඥානය සහිතව දිශානති පුබුදුවාලමින් වෘත්තීය ගරුත්වය සහිතව රෝගියාගේ රෝගයට පමණක් සීමා නොවී රෝගීයිගේ පමණක් නොව වෛද්‍යවරයාගේද අයිතීන් වෙනුවෙන් තනතුරු තානාන්තර පසෙක දමා වෘත්තීය වටිනාකම හා වෘත්තියේ අයිතීන් උදෙසා පන ඇති තෙක් සටන් වැදුනු ඒ වෙනුවෙන් ශක්තිය කැප කළ වහස් බස් දොඩා පාලකයන්ගේ ගුම්බෑයම්හි ලැගීම වෙනුවට වෛද්‍ය වෘත්තිය මානව අයිතිවාසිකමක් බවත් එය පාලකයාගේ උකුලේ නැලවිය යුතු දෙයක් නොවන බවත් පෙන්වා දුන් වෙදදුරාණන්ද ඔබම විය.

ප්‍රාණය නිරුද්ධ සිරුරු, ගතකළ කාලයේ දරණා ලද තනතුරු තානාන්තර අරඹයා.. නානාවිධ පුද්ගලයන්ගේ ගුණකතා, මංගල සිරි වඩනා පෙළහර සැරසිලි, මල්වඩම් මතින් චිතකයන් මත තබා මල් වෙඩි ගසා අරුමෝසම් අවමගුල් මඩු පවත්වනවා වෙනුවට තම සිරුරද අධ්‍යාපනය ලබන්නෙකුගේ අධ්‍යයනයක් උදෙසා කැප කිරීමට යොමුකොට නික්මයාමෙන් ඔබ සරල මිනිසෙකු සතු උත්තුංග කැපකිරීමක ආඩම්බරය පෙන්වාදුන් මරණකරුවානන්ද වේ..

ඉතිං … කාලෝ ඔබ අවැසිකලම නික්ම ගොස්ය.. ! එහෙත් ඔබ යායුතුය..!!

සත්‍යවාදී උත්තුංග මිනිසාණෙනි … ! ඔබට අපගේ ආචාරය… !!

-තුසිත පතිරණ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *