පොතකින් දැනුන කවියක් -11

කෘතිය : 138 (එකසිය තිස් අට )
කතෘ : මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය
ප්‍රකාශනය : සූරිය

බාලගිරි දොස වැස්ස නුඹටත් හුරුවෙලා.

අසනි වැස්සත් ඇතිය උණුසුම නිවෙන්නට
ගිණියමින් ඉරි තැලුණු කඨෝර බිමකට
ඇවිත් යන දේදුන්න නුඹ එන්නේ කුමකට
වැහි සිතක් නම් නැතිය බොරුකාර අහසට

ගුගුරමින් කළු වලාකුලු අහසෙ රැස්වෙලා
අඹරලා ගස්කොලන් චණ්ඩ මාරුත හමා
වහින්නටම ඇවිදින් ඕං වැස්සත් ගියා
බාලගිරි දොස වැස්ස නුඹටත් හුරුවෙලා

වැහි දෙයියො කැන්වසිං යන හැඩයි දිස්වෙන්නෙ
හෙට වැස්ස පෙන්වමින් අද ඡන්දෙ ඉල්ලන්නෙ
ඉතිං අපි උන්දැට තමයි හැමදා දුන්නෙ
වැස්ස දෙනකල් තමයි අපි තාම ලතැවෙන්නෙ

නෙලුම් මල් නෙලුම් කොළ පරව ගිය නටු අතර
නෙලුම් අල උඩ බලාහිදී එනතුරු වැස්ස
බලාහිඳ බොහෝකල් වයසකම නෙලුම් අල
මැරීගිය බව ඇත්ත නොලැබ වැස්සේ සිහිල

ගේය පද සාහිත්‍යයේ නව අරුත් දල්වන තුරුණු පද රචකයෙකු වන මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය නිර්මාණකරුවාගේ ප්‍රථම කාව්‍ය සරණිය 138 (එකසිය තිස් අට ) යි. 2017 වර්ෂයේ ප්‍රකාශිත තත් කෘතිය කාව්‍ය නිර්මාණ 39 න් සංගෘහිත ය. එකිනෙකට වෙනස් වූ විවිධ අත්දැකීම් කවියා තම නිර්මාණ සඳහා භාවිත කරයි. තමා නිතිපතා රැකියාව පිණිස ගමන් ගන්නා කඩවත – කොටුව මාර්ගයේ ධාවනය වන 138 බස් රථය මදුශාන්තගේ කවිමල් පොකුරු විකසිත කළ නිල් වාපිය යි.

ශ්‍රී ලාංකීය රාජ්‍ය පාලන තන්ත්‍රය අරමුණු කරගනිමින් “බාලගිරි දොස වැස්ස නුඹටත් හුරුවෙලා” පද්‍ය පංතිය විරචිත ය. ඒ සඳහා කවියා වස්තු කරගන්නේ ස්වභාවික පරිසරයේ උපන් සංසිද්දියකි. වැසි වැටෙන තුරා බලා සිටින මහ පොළව, වැව් , පොකුණු ආදී පරිසර වස්තූන් ආලෝලනය කරමින් කරන පද බන්ධනය තුළ බැලූ බැල්මට දෙස් දෙන්නේ සොබා මවගේ ඛේදවාචකයකි. වාච්යාර්ථයට එහා ගිය ප්‍රබල ව්‍යන්ගාර්ථයක් උපයුක්ත කිරීම මදුශාන්තගේ නිර්මාණකරණයේ නිපුණතාව යි.

“අසනි වැස්සත් ඇතිය උණුසුම නිවෙන්නට
ගිණියමින් ඉරි තැලුණු කඨෝර බිමකට”

‘අසනී වැස්සත්’ යනු පොරි පොකුරු මෙන් ඇද හැළෙන වැහි පොකුරු යි. ගිනියමින් ඉරිතලා ගිය කාෂ්ටක පොළවකට එය ද මහත් අස්වැසිල්ලකි. කවියා රූපණය කරන සිතුවම පැහැදිළිය. එහෙත් මාගේ කියවීමට අනුව ඊට එහා ගිය ගැඹුරු අදහසක් කවියා මෙයින් සංස්පර්ශය කරයි. ‘වැස්ස’ යන්නෙන් කවියා සංකේත කරන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යි. ‘කඨෝර බිම’ නම් මෙරට පීඩිත පංතිය යි. සියල්ලෙන් දුෂණය වූ රටකට එවෙනි නිදහස් නිවහල් පාලක පංතියක් බිහිවීමට යත්න දැරීමත් අසනී වැස්සකට සමාන ය.

“ඇවිත් යන දේදුන්න නුඹ එන්නේ කුමකට
වැහි සිතක් නම් නැතිය බොරුකාර අහසට”

දේදුන්නක පෙර නිමිතතක් ඇති වුවත් වැස්සක් පෙනෙන ඉමකවත් නැතිනම් ඉන් ප්‍රතිඵලයක් තිබේද? ස්වභාවික සිතුවම තුළ කවියා විශද කරන ප්‍රබල දේශපාලන ගැටලුව ම එයයි. දේදුනු වන් දේශපාලන පක්ෂ මතුවෙමින්, ‘වැහි’ නම් නිදහස් නිවහල් පාලනයක් ලබා දෙන්නේ යැයි කියමින්, රවටන්නේ නම් ‘අහස’ වන් රටකට අත්වන ඉරණම කවරේද?
ඉංග්‍රීසි පාලන ක්‍රමයෙන් නිදහස් වූ දා සිට වත්මන දක්වා ම කෙතරම් දේශපාලන පක්ෂ මෙරට බලයට පත් වූවත් ශ්‍රී ලංකාද්වීපය සංවර්ධනය කිරීමට නොහැකි විය. ඒ හැම අවස්ථාවක ම වූයේ එක් රජයක් පරදා තවත් රජයක් අභිෂේක ලැබීම පමණකි. ඉන් පසු ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයට පිටුපා තම බලය ප්‍රචලිත කළා මිස රටක මහජනතාවගේ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළේය. “බාලගිරි දොස වැස්ස නුඹටත් හුරුවෙලා” යන කාව්‍යොක්ති පද්‍ය පාදයෙන් එය මැනවින් උපස්තම්භනය වේ.

“වැහි දෙයියො කැන්වසිං යන හැඩයි දිස්වෙන්නෙ
හෙට වැස්ස පෙන්වමින් අද ඡන්දෙ ඉල්ලන්නෙ
ඉතිං අපි උන්දැට තමයි හැමදා දුන්නෙ
වැස්ස දෙනකල් තමයි අපි තාම ලතැවෙන්නෙ”

‘වැස්ස’ නම් නිදහස් නිවහල් රටක් බිහිකිරීමේ බලාපොරොත්තුවෙන් මහජනයා ඡන්දය ලබා දුන්නද ඒ හැම අවස්ථාවකම වූයේ පාලක පංතියක් බිහිවීමක් මිස මහජනයාගේ ස්ථිරසාර අභිවෘද්ධිය දියුණුවීමක් නොවෙයි. ජනතාව ලතැවෙන්නේ ද මේ නිසාම ය. එවන් ජනතාවකට අත්වන අවාසනාවන්ත ඛේදවාචකය කවියා පද බදින්නේ මෙලෙසිනි.

“නෙලුම් මල් නෙලුම් කොළ පරව ගිය නටු අතර
නෙලුම් අල උඩ බලාහිදී එනතුරු වැස්ස”

ඉඩෝරය නිසා වැව්, පොකුණු සිදී ගොස් ඇති බව කවියා චිත්‍රණය කරයි. සැබෑ ලෙසම නෙළුම් පිපෙන්නේ කළල් පිරි දිය විල් මත ඒ දියේ නොගෑවෙමිනි. එසේ නම් කවියා ‘නෙලුම්’ ලෙස සංකේත කරන්නේ නැවුම් බලාපොරොත්තුවකි. එහෙත් ඒවා පිපෙන්නට බලාගෙන සිටින්නේ ‘පරව ගිය නටු අතර’ නම් වූ විනාශවන සමාජයක ය. ඔවුනගේ එකම පැතුම ‘වැස්ස’ බඳු නිදහස් සංවර්ධිත පාලනයකි. එහෙත් ඔවුනට පෙර ජීවත් ව සිටි පරපුර ද බලා සිටියේ මෙයම ය. ඒ පරපුරේ සිට වත්මන දක්වාම අප උගෙනගන්නේ ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙනි. ඔවුන් මිය යනතුරා එවැනි නිදහස් නිවහල් රාජ්‍යයක් බිහි නොවූ බව කවියා ගම්‍ය කරන්නේ මෙලෙසිනි.

“බලාහිඳ බොහෝකල් වයසකම නෙලුම් අල
මැරීගිය බව ඇත්ත නොලැබ වැස්සේ සිහිල”

වැස්සක පෙර මං බලන පරිසර පද්ධතියක් රූපණය කරමින් ප්‍රබල දේශපාලනික ඛේදවාචකයක් නිර්මාණය කිරීමේ දී කවියා භාවිත කළ සංකේතත්, චිත්ත රූපිත සරල බස් වහරත්, සිවුපද ආකෘතියත්, ව්‍යන්ගාර්ථවත් පද සංඝටනයත් සැළකීමේ දී මෙය මදුශාන්ත කවියාගේ තත් පද්‍ය සංග්‍රහයේ එන සාර්ථක නිර්මාණයක් ලෙස විශද කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *