මාතර වෙහෙරහේනේ නාහිමි දඹරන් පිළිමයක් සොරකම් කිරීමේ වරදට අත්අඩංගුවට ගැනීමට සොයයි

ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක මාතර වෙහෙරහේන පුර්වාරාම රජමහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කරන්නැයි වලපනේ දිසා විනිසුරු විසින් පොලිස් පතිවරයාට නියෝග කර ඇත .2018.12.11 හෝ ඊට ආසන්න දිනකදී මතුරට පොලිස් වසමේ වැල්ලගිරිය ශ්‍රී සුදෙස් රජමහා විහාරයේ ආරක්ෂිත කුටියක තැන්පත් කර තිබූ පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ඉපැරැණි දඹරන් බුදුපිළිමය කොල්ලකෑමට සැලසුම් කිරීම හා එම කොල්ලය සිදුකිරීම මෙම නියෝගය නිකුත් කිරීමට හේතු වී තිබේ .

උසින් අඩි එකහමාරක් හා බර කිලෝ හතලිහකට වැඩි වධ්‍රාසනා සහිත මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට අයත් මෙම දඹරන් බුදු පිළිමය මෙරටින් සොයාගත් දුර්ලභ ගණයේ බුදු පිලිමයකි. වැල්ලගිරිය රජමහා විහාරයේ වැඩවාසය කරන වැල්ලගිරියේ ඥානසිරි හිමියන්ට මේ බුදුපිළිම ය හමුවී ඇත්තේ උන් වහන්සේට වයස අවුරුදු( 14) දීය. දැන් උන්වහන්සේගේ වයස අවුරුදු (91)විහාරස්ථාන භූමියේ කිසියම් ඉදිකිරීමක් සදහා පොලොව කැනීමේදී මේ අමිල පුරාවස්තු ව උන් වහන්සේට හමුවී තිබේ . දායක සභාවේ සහායද ඇතිව දැඩි ආරක්ෂාවක් සහිතව විහාරස්ථානයේ විශේෂ කුටියක තැන්පත් කර උන්වහන්සේ මේ පිළිමය ආරක්ෂා කළේය .අවස්ථා කිහිපයකදී පිළිමය සොරකම් කිරීමට කණ්ඩායම් පැමිණ තිබුනත් ඒවා ව්‍යාර්ථ වී ගියේය.

2018.12.11 හෝ ඊට ආසන්න දිනකදී විහාරස්ථානයට වැඩම කළ දක්ෂිණ විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක මාතර වෙහෙරහේන පුර්වාරාමාධිපති කෑගල්ලේ රතනසාර මෙරටට පැමිණෙන ජපන් දූත පිරිසකට මේ බුදු පිළිමය පෙන්වීමට කොළඹට රැගෙනයාමට කටයුතු කරමු යැයි වැල්ලගිරියේ ඥානසිරි හිමියන්ට යෝජනා කර තිබේ. පිළිමය ජපන් දූත පිරිසට පෙන්වීමෙන් පසු විශාල ආධාර මුදලක් විහාරස්ථානයේ නඩත්තු කටයුතු සදහා ලබාදීමට ඔවුන් කැමැත්ත පළකර ඇති බවද ඥානසිරි හිමියන්ට පවසා ඇත .ජපන් දූත පිරිසට පිළිමය පෙන්වීමෙන් පසු නැවත බුදු පිළිමය විහාරස්ථානයට ආරක්ෂිතව වැඩම කිරීමට කටයුතු කරන බවද කෑගල්ලේ රතනසාර වැල්ලගිරියේ ඥානසිරි හිමිට පොරොන්දු වී තිබේ.

සංඝනායක භික්ෂුව ගේ යෝජනාවට කැමැත්ත පළකල වැල්ලගිරියේ ඥානසිරි හිමියන් විහාරස්ථානයේ ආරක්ෂිත කුටියේ ඉබියතුරු හතක් ඉවත්කර බුදු පිළිමය එලියට ගැනීමට ක්‍රියා කලේය. යතුරු තිබී ඇත්තේ ඉබි හතරක පමණි. සෙසු ඉබි තුනක යතුරු සොයාගැනීම ට අපහසු වී තිබේ .මේ නිසා එම ඉබියතුරු ඉවත්කිරීම ට යකඩ දම්වැල කැපීම සදහා වෑල්ඩින් බාස් කෙනෙකු විහාරස්ථානයට ගෙන්වා ඒවාද ඉවත් කෙරුණි.පසුව සුදු රෙදිකඩක ඔතා පිළිමය කොළඹට රැගෙන ඒමට කෑගල්ලේ රතනසාර හිමි සමග වැල්ලගිරියේ ඥානසිරි හිමිද පැමිණියේය. මහරගම ප්‍රදේශයේ කිසියම් විහාරස්ථානයකට අයත් නිවසක තැන්පත් කර නැවත වෙනත් ස්ථානයකට රැගෙනයාමේදී ඩිෆෙන්ඩරයකින් පැමිනි පුද්ගලයන් සිව්දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩායමක් පිළිමය අත් අඩංගුවට ගැනීමට කටයුතු කළේය .

කෑගල්ලේ රතනසාර වැල්ලගිරියේ ඥානසිරි හිමි සහ තවත් පුද්ගලයකු වාහනයට නංවාගත් පොලිස් නිළධාරීන් යැයි හදුන්වාදුන් කණ්ඩායම වාහනය නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ දී නවත්වා වාහනයට නංවාගත් වැල්ලගිරියේ ඥානසිරි ඇතුලු පිරිස වාහනයෙන් බස්සවා පලාගියේය.පොලිස් නිළධාරීන් නොව කොල්ල කණ්ඩායමකට තමන් අසුවී ඇති බව දනගත් වැල්ලගිරියේ ඥානසිරි හිමියන් වහාම මේ අවනඩුව නාරාහේන්පිට පොලීසියට පැමිණිලි කළේය .පොලීසිය කොල්ල කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට සමත් වූ අතර අධිකරණ ක්‍රියාවලියෙන් පසුව වරද පිලිගත් කොල්ල කණ්ඩායමේ පුද්ගලයන් සිව්දෙනා වසර හතරකට බන්ධනාගාර ගත කෙරුණි. ඊට අදාල නඩුව අලුත්කඩේ උසාවි සංකිර්ණයේ තුන්වැනි අධිකරණ යේ විභාග වේ. මීට අමතරව තවත් නඩුවක් වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරේ. ඒ අනුව වැල්ලගිරියේ ඥානසිරි හිමියන් ,කෑගල්ලේ රතනසාර හිමිගේ රියදුරු කදුරුලියද්දේ ජයතිස්ස , වෑල්ඩින් බාස් කෙනෙකු වන යටවරගේ නිශාන්ත සහ කරුණාතිලක යන අයවලුන් වසරක පමණ කාලයක් තිස්සේ සිටින්නේ බන්ධනාගාරගතවය.

මේ මහා කොල්ලය සැලසුම් කළ එහි මහ මොලකරු වෙහෙරහේන පුර්වාරාම විහාරාධිපති කෑගල්ලේ රතනසාර පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමට ක්‍රියාකලේ නැත . කොල්ලයේ සියලු ජවනිකා සැලසුම් කළ කෑගල්ලේ රතනසාර දේශපාලන නායකයින් ගේ සහ උසස් පොලිස් නිළධාරීන් ගේ රැකවරණය ලබමින් උසාවිය මග හරිමින් සිටී .මතුරට පොලීසිය ද අත් අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනාට පමණක් චෝදනා පත්‍ර යක් ඉදිරිපත් කර නඩු කටයුතු අවසන් කිරීමට උත්සාහ ගනිමින් සිටී. මේ ජුගුප්සාජනක සිදුවීමෙන් පෙනීයන්නේ පොලීසිය ද කෑගල්ලේ රතනසාර අත් අඩංගුවට ගැනීමෙන් වැලකී සිටින බවයි. ඉකුත් අගෝස්තු 22 දින නඩුව විභාගය ට ගත් අවස්ථාවේදී මතුරට පොලිස් ස්ථානාධිපති අධිකරණයට දැනුම් දී තිබුණේ කෑගල්ලේ රතනසාර හිමියන් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි. සැකකාර හිමිනම විදේශගත ව ඇද්දැයි තහවුරු කරගැනීම සදහා ආගමන විගමන පාලකවරයාගෙන් අසා ඇති ප්‍රශ්න යටතේ වාර්තාවක් ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා සිටින්නේ ද  2019.08.22 දිනය. මතුරට පොලීසිය අධිකරණයට එසේ දැනුම් දුන්නද මාතර කිඹුලා විසින් කරන ලද සොයා බැලීමේදී වාර්තා වූයේ මේ බුදුන් කොල්ලකෑ කහකඩයා වෙහෙරහේන පුර්වාරාම විහාරස්ථානයේ කටයුතු කළමනාකරණය කරමින් මෙරට සැගව සිටින බවයි. පොලීසිය මේ ගණයා අත් අඩංගුවට නොගන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගේ ඇති නෑදෑ කමක් නිසා බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඉකුත් අගෝස්තු 22 දින වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය නඩු අංක B/832/18 නඩුව ප්‍රකාරව නිකුත් කළ නියෝගය සහ ඊට හේතු දිසා විනිසුරු වලපනේ විසින් මෙසේ පෙන්වා දී ඇත “.මෙම නඩුව අධිකරණය ට කරුණු වාර්තා කර ඇත්තේ 2018.12.11 දිනය.මෙම නඩුවේ සැකකාර කෑගල්ලේ රතනසාර හිමි අත් අඩංගුවට ගෙන මෙතෙක් අධිකරණය ට ඉදිරිපත් කර නැත .අභියාචනාධිකරණ නඩු අංක CA/BA/(03)19 හි අභියාචනාධිකරණ නීතිපතිවරයා වෙත දන්වා ඇත්තේ මෙම නඩුවේ නීති කාර්‍යයට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට සහ එහි සැකකරුවන් ට එරෙහි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසට 2019.06.18 ලිපිය ප්‍රකාර මතුරට පොලිස් ස්ථානාධිපති ට උපදෙස් දී ඇත .සහකාර පොලිස් අධිකාරී වලපනේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නුවරඑළිය දක්වා මෙම අධිකරණ ය නොතීසි නිකුත් කළ ද කෑගල්ලේ රතනසාර හිමි අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කර නැත .

නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර ඇත්තේ කැගල්ලේ රතනසාර හිමි යන සැකකරු අත් අඩංගුවට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සැහීමකට පත්විය නොහැකි බවයි. මෙම සැකකරු වහාම අත් අඩංගුවට ගැනීමට 2019.07.11 පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ( අපරාධ ) වෙතද උපදෙස් දී ඇත. කෙසේ නමුත් පොලීසිය සැකකරු විදේශ ගත වී ඇද්දැයි වාර්තා කිරීමට ආගමන විගමන පාලක වෙත නියෝගයක් හෝ ඉල්ලා සිටින්නේ අද (අගොස්තු 22 )දිනය. ඒ අනුව මතුරට පොලිස් ස්ථානය සැකකාර කෑගල්ලේ රතනසාර හිමි අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ආකාරය අතිශය අසතුටු දායක බව නිරීක්ෂණ කරමි. ඒ නිසා මෙම නඩුවේ සැකකාර කෑගල්ලේ රතනසාර වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කිරීමට පොලිස්පතිට නියෝග කරමි. පිටපත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ,නියෝජ්‍ය පොලිස් පති ,ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවරඑළිය ,නියෝගයේ පිටපත් නීතිපති වෙත නිකුත් කරමි.”

දඹරන් බුදු පිළිම කොල්ලයේ මහ මොලකරු නිදැල්ලේ සිටියදී. වයස අවුරුදු 14 දී පමණ පටන් පිළිමය ආරක්ෂා කළ වැල්ලගිරිය රජමහා විහාරස්ථානයේ වැල්ලගිරියේ ඥානසිරි හිමි තවමත් බන්ධනාගාරයේය. උන් වහන්සේ ගේ දැන් වයස අවුරුදු 91 කි.ඉබියතුරු කඩාදීමට රුපියල් 2500 කුලියට පංසලට පැමිණි වෑල්ඩින් බාස් මෙන්ම කෑගල්ලේ රතනසාර එහේ මෙහේ ගෙනගිය රියදුරු මහතා ද ,ඥානසිරි හිමියන්ට උවටැන් කළ පුද්ගලයකු ද තවමත් බන්ධනාගාරයේය . අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ නිරුවත් භාවය හා ජුගුප්සාජනක ස්වරූපය පෙන්වමින් කෑගල්ලේ රතනසාර එලියේය. පොලීසිය උත්සාහ කරන්නේ මේ හොර කහකඩයා අධිකරණයට ඉදිරිපත් නොකර සෙසු සැකකරුවන්ට චෝදනා පත්‍ර කියවා දී නඩු කටයුතු අවසන් කිරීමට ය. එසේ උවහොත් මෙරට අධිකරණ පද්ධතිය තුලින් යුක්තිය හෝ සාධාරණ පැතීම විහිලුවක් වනු ඇත .

matarakimbula.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *