රොද බදින සාහිත්‍යයේ විනිවිදින යථාර්ථය – තුසිත පතිරණ

වසරක් පාසා සැප්තැම්බර් මාසය එළඹෙනුයේ සාහිත්‍ය නවෝදයක් කරපින්නාගෙනය. එකී කර පින්නාගැනීම කවරෙකු උදෙසා වන්නේද යන්න නැවත වටයකින් හිතීමට අනේක විධ ප්‍රපංචයන් විටින් විට සමාජයේ නිර්මාණය වෙමින් පවතී. වර්තමානයේ දැකිය හැකි සුළබම කරුණක්වන්නේ සාහිත්‍යය මත බර තබා ඇත්තේ පොත් ප්‍රකාශනයන් හා ඒවා මිළදී ගැනීමේ වෙළඳ පොළ සැනකෙළි අසිරියකින් එළිපත්තට පැමිණීමය.
මදක් පසුපසට අඩියක් තබා සාහිත්‍යය සම්බන්ධ කරුණු විමර්ශනය කර බැලූ විට අපට දැකිය හැකි එහි මූලයන් පොත් පත් පමණක්ද ? නැත. සාහිත්‍යය නිර්මාණයට විවිධාකාර අංශ ලඝුවන අතර නාට්‍ය,සිනමාව, චිත්‍ර, මූර්ති, නැටුම්, ගීත, ගද්‍ය, පද්‍ය මෙකී නන් වැදෑරුම් දෑ මේ මතින් පෝෂණය වේ.

එසේ නම් සාහිත්‍ය මාසය තුළ අප වර්තමානයේ ලඝු වන්නේ පුස්තක මත වන අදහස් ගබඩා කොට තැබීමකට පමණක්ද ? ඒකී පුස්තකයන්ට සම්මාන හෝ වෙනත් ප්‍රදානයන් කිරීම සදහා පමණක්ද ? කෙසේ වුවත් එය එසේ වී ඇත. රඹුටන් සමයේදී රඹුන්ට සදහා වෙනම මිළක් නියම වන අතර එහි ලොකු රඹුටන් මස් රඹුටන්, මල්වානේ රඹුටන්, මැලේසියානු රඹුටන් වැනි විවිධාකාර රඹුටන් වර්ග වැඩි අඩු මිළ ගණන් යටතේ අලෙවිය සදහා තබා ඇති සැටි දැකිය හැකියි. සාහිත්‍ය මාසයේදීද මෙලෙසම විවිධතාවයෙන් යුතු සාහිත්‍ය කෘති නිර්මාණය වේ. සමාජ තලය මත ලේඛකයා තබා ඇති ජනප්‍රියතාවයන්, දක්ෂතාවයන් හා සැබෑ ලේඛක පෞරුෂත්වයන් මත වන ග්‍රන්ථ එළි දැක්වීම් විවිධ සැනකෙළි හා රංචුගැසීම් අභිමුවෙහි එළි දැක්වීම් සිදුවන මාසයකි,සාහිත්‍ය මාසය.

කෙසේ වුවත් මෙහි වන සත්‍යයක් ඇත. එනම් කියවීම උදෙසා තැනෙන කවර හෝ අලෙවියක්, ප්‍රදර්ශනයක්, එකතුවක් , සමාජ ප්‍රගමනය උදෙසා මිස එහි වන අවැඩක් උදෙසා නොවන බවත්ය. රැල්ලට පොත් ගැනීම වුවත් එකී රැල්ල සේවය කරනුයේ දැනුම වැඩීම උදෙසා වන බැවින් රැල්ල වුවත් එහි යටි පෙළ සියුම් දැනුමක සන්ත්‍රෂ්ටියක ආලෝකයක් විහිදුවන්නේය.
සාහිත්‍ය මාසය සාහිත්‍ය මාසයක් වීම උදෙසා උක්ත අංශ වෙතද අදාළ පාර්ශවීකත්වයන් මැදිහත් වන්නේ නම් සාහිත්‍ය මාසයෙහි මනස්කාන්ත භාවය හැම හිත් සතන් තුළම කවරාකාර හෝ උද්දීපනයක් ඇති කරනු නොඅනුමානය.
එය පොතකට සීමා වීම විසින් පොතක් ගත හැකි නොහැකි බහුතරයක් කියවීමට ආසා ඇති දරුවන්ගේ හීල්ලීම් හා දෙමාපියන් වෙත කරනු ලබන කන්නලව්වන්ගෙන් සාහිත්‍ය මාසය පිරී යන්නේ නම්.. ඇති එකා කියවා නැති එකා පොත් නොමැතිව කදුළු පිරවීම් සිදුවන්නේ නම් කියවීමද අනෙක් සමාජ වෙනස්කම් මෙන්ම පීඩකත්වයක් නිර්මාණය කරගෙනය.

එසේ නොමැති තත්වයන් නිර්මාණය කිරීම උදෙසා වන මැදිහත්වීම් මේ සමය තුළ දැකිය හැකි අතර ඒවා ද තැනක දෙතැනක සිදුවීමකි. එසේ නොමැති තත්වයක් තුළ තමන් විසින් තෝරාගත් මහා පොත් කන්දක් ඡායාරූප ගත කොට ඒවා ප්‍රදර්ශනය කිරීම කවරාකාර තෘප්තිමත් ද යන්න මමද ඔබද විටෙක විමසිය යුත්තේ එය අනෙකාට කරනු ලබන මානසික බලපෑමේ ප්‍රමාණයට අනුවය.

මෙහි යෝජිත තවත් කරුණුක් ඇත. තමන් විසින් ගෙන යන පොත් ප්‍රමාණය කියවා තවත් බොහෝ පිරිස්වෙත ප්‍රදානය කිරීමට යුහුසුළු වීමය. එවැනි තැනක ඇති මානසිකත්වයන් .. ඉතා සුබවාදී මෙන්ම මානවවාදි වන අතර එවැන්නක් සටහනක් ලෙස හෝ ඡායරූපයක් ලෙස බෙදාගැනීම .. මිනිස්කම් ප්‍රදර්ශනය කිරීමක් වන්නේය..

ඉතිං සාහිත්‍ය මාසය තුළ පොත් අස්සෙන් වන මිනිස්කම් මහා ගොඩක් ඇත. ඒවා එකිනෙකාට දැනෙන හා එකිනෙකාගේ ගුණයන් මත වන හැඩගැන්වීම් වන අතර පෙරකී ලෙස සියලු අංශයන්ගේ මැදිහත්වීමෙන් සාහිත්‍යෙය් සියලු අංශ නියෝජනය වන මාසයක් වන්නේ නම් සාහිත්‍ය මාසය ලංකාව මත ගොඩ නැගෙන සමාජ ප්‍රගමනය.. දැනුම පෝෂිත වූ මිනිස් යායක් නිමවීමට ඉවහල් වනු නොඅනුමානය.

– තුසිත පතිරණ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *