මගේ තැන ඉඳන් හිතල බලන්න” – අදෝනාවක් නොව ආරාධනයක්

තමාගේ ලියවිල්ල ලියැවෙන්නේ කවුරුන් උදෙසාද යන්න යෞවන ප‍්‍රබන්ධ කලාවේ අත්‍යවශ්‍ය අංගයකි. ඒ පොදු පාඨකයා ඉලක්ක කරගත් නිර්මාණයන්හි ‘පොදු’ හෝ සාමාන්‍යකරණය වෙනුවට ළමා වියත් වැඩිහිටි වියත් අතර දෝලනය වන්නා වූ ත්, ඒ තලයන් ද්විත්වයෙහිම ලක්ෂණ උරා ගත්තාවූත් මධ්‍යස්ථභාවයක් සංදර්භ ගත විය යුතු බැවිනි. ලාංකේය යෞවන සාහිත්‍ය තුළ කාලයක් තිස්සේම මුස් බැසගෙන පවත්නා දුර්මත ගණනාවකි. එය නම් යෞවන සාහිත්‍ය ළමා සාහිත්‍යයේම යම් දිගුවක් ලෙස පුනර් නිෂ්පාදනයක්වීමයි.

ඒ නිසාම නරක ළමයින් පාඩමක් උගෙන අවසානයේ හොඳ ළමයින්වීම හෝ කුඩා දරුවන්ට උහුලනු නොහැකි මට්ටමේ වගකීම් හා නිර්භීතකම් ආරෝපණය කරමින් ‘වීරයින්’ බවට පත්කිරීමය. මෙම අන්ත ද්විත්වයට යට නොවී යෞවන සාහිත්‍යයක් ලෙස හැඳිනිය හැකි කෘති ඇත්නම් ඒ ඉතාමත් ස්වල්පයකි. මේ නිසාම එකී අඩුව යම් තාක් දුරට හෝ මගහැරී යන්නේ මෙකී දුපතෙන් එපිට විදෙස් සාහිත්‍ය මෙරට පාඨකයාට හඳුන්වාදීමෙන් පමණි. එවන් එක් උත්සාහයක් ලෙස ඈන් ලූර් බොන්ඩොක්ස් ගේ කෘතියක්, සුභාෂිණී චතුරිකා විසින් “මගේ තැන ඉඳන් හිතල බලන්න” යනුවෙන් මෑතකදී ප‍්‍රකාශයට පත්වීම හැදින්විය හැකිය.

අපරදිග යෞවන සාහිත්‍යයේ පමණක් නොව පෙරදිග සාහිත්‍යයේද, යෞවනයන් ස`දහාම නිර්මාණ බිහිවීමට පෙර වැඩිහිටියන් ස`දහා ලියැවුණු සමහර කෘතින් ළමයින් අතර ජනප‍්‍රිය වූ බව මාග‍්‍රට් මීඞ් අවධාරණය කරයි. ‘‘ළමයින් සඳහාම නොලියවුණද, Monkey නමැති කෘතිය අවුරුදු 6-10 අවධියේ චීන ළමයින් අතර බෙහෙවින් ජනප‍්‍රිය වූ බැව් ඇය පෙන්වාදෙයි. එහෙත් නව යෞවනයෙකුගේ හා වැඩිහිටියෙකුගේ භූමිකාව හෝ චරිතය එකිනෙකා අතර හුවමාරු වුවහොත් තත්ත්වය කෙබදුවිය හැකිද? එය නපුරු හීනයක් වුවද, නව යෞවනියක හා ඇගේ මව අතර වන දිනක භූමිකා හුවමාරුවක අපූර්වත්වය, “මගේ තැන ඉඳන් හිතල බලන්න” තුළ මැනවින් සාකච්ඡුාට ලක් කෙරෙයි.

ප‍්‍රාන්ස් කෆ්කා ගේ The Metamorphosis හෙවත් රූපාන්තරණය කෙටි නවකතාවේ ‘ ග‍්‍රිගෝර් සම්සා එක් උදෑසනක අවදිවන දැවැන්ත කුරුමිණියෙකු බවට පත්ව සිටියි. මෙම යොවුන් නවකතාවේද එන ප‍්‍රධාන චරිතය වන ඇඩෙල් නමැති නව යෞවනිය, අම්මා සමග ඇති කරගත් රණ්ඩුවකින් යුතු රාත‍්‍රීයක් ගෙවා පසුදින අවදිවන විට ඇයගේ අම්මා බවටත්, ඇයගේ අම්මා දඟකාර ඇඩෙල් බවටත් පත්වෙයි. ‘‘මම දොර පැත්තට හැරෙද්දි තමයි විශ්වාස කරන්නම බැරි ඇත්තක් මගේ ඔළුවට කඩා වැටුණේ. මගේ කාමරයේ දොරට සවි කරලා ලොකු කණ්ණාඩියක් තියෙනවා. මම හැමදාම එතැන නැවතිලා, කොණ්ඩෙ හෙම හරියට හදාගෙන, ඒක ඉස්සරහ කැරකිලා, හැඩවෙලා බලනවා, බැස්තියන් ගර්මෙලොන් මට කැමති වෙයිද කියලා. ඒත් ඒ ඒ එදා මම දැක්ක දේට නම් මම පොඞ්ඩක් වත් කැමති වුණේ නෑ. එතන හිටියේ අවුරුදු දොළහක ගැහැනු ළමයෙක් වෙනුවට අවුරුදු හතළිහක ගැහැනු කෙනෙක්, මගේම අම්මා. (පිටුව. අංක 6)

“නවකතා නිර්මාණය හා අවබෝධය” නමැති කාතියේ මහාචාර්ය ඒ.වී සුරවීර විසින් සාරාංශකරණය හා සංවාද පිළිබ`ද තැබූ සටහනක මෙසේ දැක්වෙයි.‘‘සාරාංශද, භාව පූර්ණව ඉදිරිපත් කිරීමක් වේ. ලේඛකයා විසින් ඉදිරිපත් කරනු ලබන සාරාංශ පවා හුදු වාර්තා ස්වරූපය ඉක්මවා සිටිය යුතු බවක් මෙයින් පැහැදිලි වන්නේය. නවකතා-කෙටිකතා සාහිත්‍යයේ භාව පූර්ණ ආඛ්‍යාන හෙවත් ‘වචන රූප’ මිස නිසරු වාර්තා කොතැනකවත් ඇතුළු නොවෙයි. පොදුවේ නවකතාව පාදක කරගනිමින් ලියැවුණු සටහන් වුවද, සුරවීරගේ එම අදහස වඩාත් තීරණාත්මක වන්නේ යෞවන සාහිත්‍යයටය. මන්දයත් පළ පුරුදු පාඨකයන් මෙන් ආයාසකාරී කියවීමකට නව යෞවනයන් කිසි සේත්ම රුචි නොවන නිසාය. පරිවර්තන සාහිත්‍යයේදී මේ පිලිබන්දව වඩාත් අවධානයට ලක්විය යුත්තේ හුදෙක් සෘජු පදානුගත පරිවර්තනයකදී මුල් කෘතියටත්, පරිවර්තිත කෘතියටත් එක සේ අසාධාරණයක් විය හැකි බැවිනි. අවසාන වශයෙන් වඩාත් අසාධාරණයට ලක්වන්නේ පාඨකයාම වන බැවිනි. එහෙත් සුභාෂිණීගේ මෙම පරිවර්තනය සෘජුවම ප‍්‍රංශ භාෂාවෙන් සිංහලට නැගී ඇති බැවින් අතරමැදි ඉංග‍්‍රීසි භාෂාවෙන් විය හැකි යම් යම් සීමා කම්, සංදර්භීය ගැටළු වැළකී තිබේ. අනෙක් අතට සරල, සුගම නාට්‍යානුසාරී බස් වහර යෞවන සාහිත්‍යයේ සංදර්භය මැනවින් වටහා ගැනීමෙන් යොදාගෙන ඇති බැව් කිව හැක්කේ ඉතාමක් ළගන්නාසුලූ බස් වහර මෙහි කැපී පෙනෙන බැවිනි.

“නෝනා ඔයා කොහොමද මේ බාග ටිකට් එකකින් යන්නේ?
ඒක කිව්ව එක තේරුම් ගන්න බැරිව මම එයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.
“ආ.. ඔව්. මං අවුරුදු දොළහට අඩුයිනෙ”
ටිකට් පරීක්ෂක තැන නළල රැළි කෙරුවා.
“මම කැමති නෑ නෝනා ඔයා මාව විහිළුවට ගන්නවට.” මම හිතුවෙ මේ පාර සමාව දීලා යන්න දෙනව කියලා. ඒත් ඒකට ඉඩක් නෑ වගේ.
මම තොල විකාගත්තා. ඇත්තටම මේකට තවම හුරු වෙන්න බැරිවුණු හැටි. මම දුම්රිය පොළේ ස්වයංක‍්‍රීය ටිකට් කවුන්ටරයෙන් ටිකට් එකක් මිලදී ගනිද්දී, වයස ගැන හිතුවෙ නෑනේ. ඇඩෙල්, මොහොතකට සිය මව බවට පත්වීමට යාමෙන් සිදුවන අලකලංචි නිමක් නැත. ඇයගේ මවටද මුහුණ දෙන්නට සිද්ධ වන්නේ සුළුපටු හිරිහැරයන්ට නොවේ.
“අර වදකාර ජර්මන් විභාගෙ. පැයක් හිටගෙන ඉන්නත් වුණා. කැන්ටිමේ කටේ තියන්න බැරි තරම් අප්පිරියා කෑම. පුහුණු වෙමින් හිටිය සිංදුවේ කොටසක් අමතක වුණු හින්දා සංගීත ගුරුවරීට විහිළුවක් වුණා. ඉතිහාස ගුරුවරයා හැම තිස්සෙම හිටියේ යකා නැඟලා .පංතියෙන් එළියෙ ළමයි හැම තිස්සෙම පොරකනවා. ‘හත් ඉලව්වයි’ කියල කියැවුණු හැම වෙලාවෙම ඔයාගෙ යාළුවෝ මට හිනාවුණා. මට තරහයි දුකයි දෙකම.” (පිටුව-42)

‘පුංචි උන්ට නම් මොකද? දෙන දෙයක් කාලා ඇඳලා පාඩුවෙ ඉගෙන ගන්න එක නොවැ තියෙන්නෙ’ මේ ඇතැම් වැඩිහිටි මව්පියන්ගේ ජාතික ගීයයි. එහෙත් සැබෑ තත්ත්වය එසේ නොවේ. ඔවුනොවුන්ට පැවරෙන වගකීම්, කළ යුතු වැඩ ආදිය පිළිබ`ද නිසි තක්සේරුවක් කළ හැක්කේ මොහොතකට හෝ ඔවුන්ගේ වයසට යාමෙනි. සාපේක්ෂව ඔවුන් ආස්ථනය තුළ මොහොතක් හෝ රැදී සිටීමෙනි. ආකෘතිමය වශයෙන් ගත්තද, අන්තර්ගතමය වශයෙන් ගත්තද, කෙනෙකුට අනෙකා අභිබවා යාමට ප‍්‍රථමව මොහොතක් හෝ නැවතී අනෙකා තේරුම්ගත හැකි නම් බොහෝ ගැටළු, අර්බුධයක් දක්වා දුරදිග නොගොස් විස`දාගත හැකිවෙනු ඇත. එවැනි විවෘත මනසකට උත්තේජනයක් සපයන “මගේ තැන ඉඳන් හිතල බලන්න” කෘතිය, නව යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද එක සේ කියවා රස වි`දිය හැකි කෘතියකි.

ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *