බන්ධන – 06 – එකම අහස යට – නාමලී පෙරේරා

නිශ්ශංක විජේමාන්නගෙ අක්ෂර චිත්‍රය තමයි ‘ හද පළුව තනි තරුව ‘ කියන්නෙ . හිත පිරෙන තරම් හැගීමක් දැනෙන්න ලියන්න පුළුවන්නම් ඒ අතර නිශ්ශංක ඉන්නෙ මගෙ හදවතේ පළවෙනි තැන.

සංයෝග වූ දේ වියෝග කරන්නේත්
වියෝග වූ දේ සංයෝග කරන්නේත්
පාලකයෙක් වන ලේඛකයා දුෂ්ඨ කමටද..?

නිශ්ශංක එහෙම ඇහුවට ඒකට උත්තරයක් නෑ . හරියට අයේෂාගෙ කටහඩේ පාට රිදී කියනව වගේ. අනිල් කියන්නෙ ජාතියක් නැති මිනිහෙක් . ඒත් ආදරණීය හදවතක් තියන….

හැම රටකම හැම කාලෙදිම අඩු වැඩි වශයෙන් ජාති වාදී ප්‍රශ්න තියනව . අපිත් ඒ ගැන ගොඩක් කතාකරන්න ගත්තෙ අප්‍රේල් 21 සිද්ධ වුණ සිද්ධියත් එක්ක. සිද්ධ නොවෙන්න තිබිච්ච දේවල්, වළක්වා ගන්න තිබිච්ච දේවල් සිද්ධ වුණාට පස්සෙ ආයෙ ආයෙම කියවල වැඩක් නෑ . සිද්ධ වුණේ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ජීවිතේ දාල ගිය අපේ උන්ගැන තියෙන්නෙ පුදුමාකාර වේදනාවක් .

සිද්ධිය වෙලා සතියකට විතර පස්සෙ ආරංචි උනා අපිත් එක්ක යූත් එකේ හිටපු කොල්ලෙක්ගෙ තාත්තා කටුවාපිටිය පල්ලියෙදි එදා නැතිවෙලා කියල . මං දැනගත්තු ගමන්ම නදීශ්ට කෝල් කලා .

” අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වලින් උන් මොන සතුටක්ද හෙව්වෙ . හීනයක් වගේ. සමහර තැන් වල අම්ම තාත්තා ඉන්නව දරුවො නෑ . දරුවො ඉන්නව අම්ම තාත්ත දෙන්නම නැතිවෙච්ච. මුළු ජීවිත කාලෙම අබ්බගාත උන මිනිස්සු කී දෙනෙක් ඉන්නවද… කාලකණ්ණි … “

එයා කතා කලේ පුදුම වෛරයකින් . ඒ වෛරය අසාධාරණ නෑ. කිසිම කෙනෙක්ට ජීවිතයට ලංසු තියන්න පුළුවන් උනත් මරණයට ලංසු තියන්න බෑ. ජීවිත වලට වන්දි ගෙවනව කියල ලේසියෙන් අමතක කරල දාන්න පුළුවන්නද හැම ඒ මරණයක්ම…..

සිද්ධියෙන් පස්සෙ හැමෝම මුස්ලිම් අය එක්ක හිටියෙ වෛරයකින්. ගොඩක් අය මුස්ලිම් කඩ වර්ජනය කළා. ගමේ මුස්ලිම් පවුලක් හිටිය. දවසක් රෑ ඒ ගෙදරට කවුද ගල් ගහල. මේ සිද්ධිය නිසා වැඩිපුරම අසරණ වුණේ සාමාන්‍ය මිනිස්සු .

හොස්ටල් එකේ මගෙ රූම් එකේ හිටිය මුස්ලිම් කෙල්ලෙක් . ඒත් කවදාකවත් අපිට ඒකි මුස්ලිම් ,අපි සිංහල කියල වෙනසක් දැනිල නෑ . ආගමවත් ජාතියවත් නෙමෙයි වටින්නෙ මනුස්සකම කියල මං ඉගෙන ගත්තෙ නුෆ්කගෙන්. ඔය දවස්වල මං නුෆ්කට කෝල් කළා.
” අපි කොච්චර හොදට හිටියද බං. මේ කාලකණ්ණි කරපු වැඩේ හින්ද මටනම් මේ රටත් එපාවුණා. ඔෆිස් එකේ අය අපි දිහා බලන්නෙත් ඒ විදිහට. … “
ඒ හිතේ තිබුණෙ කලකිරීමක් .

මං ඒ ලෙවල් කරල ගෙදර ඉන්න කාලෙ ගේ ඉස්සරහ කඩේට රත්නපුරේ දෙමළ පවුලක් ආව කුලියට පදිංචියට . ඒ ගෙදර හිටිය රවී කියල කොල්ලෙක් . මගෙ වයසෙමයි. මං වගේම පොත් පිස්සෙක්. ඒ නිසා අපිට නිතරම හම්බවෙලා කතා කරන්න දේවල් තිබුණ . ඕක අපේ අම්මල දැක්කෙ වැරදියට. අන්තිමට උනේ රවීලට එතනින් යන්නවුණ එක. එයා යන දවසෙ මට කිව්වෙ

” අපි ඉන්නෙ පුංචි රටක. අපි කොහේදිහරි මුණගැහෙයි. එදාට අපි නිදහසේ කතා කරමු… ” කියල . ඒත් එදායින් පස්සෙ මට අද වෙනකල් එයාව හම්බුනේ නෑ .

ආදරේ හැමෝටම දැනෙන්නෙ එකම විදිහට. රත්නශ්‍රී කලාකරුව තමන්ගෙ යාළුවෙක්ට වෙච්ච් අත්දැකීමක් එයාගෙ සිංදුවකින් හරි ලස්සනට කියල තියනව .

ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඩන චන්දිරන්
පහන් පැළට ගිනි ඇවිලී අන්න නගින දුම්
ශාන්තිනී අපි දෙවියන් නැති තැනකට යං

ඇත්තටම ජාතිය, ආගම කියල වෙන්කරගත්තු තැන්වල දෙවියන් නෑ. හැමෝම හිතනවනම් අපි එකම ජාතියක් කියල . ඒත් එහෙම හිතන්න අපිට කවුරුත් උගන්නන්නෙ නෑ . ඉතිහාසය උගන්වද්දි බෞද්ධ කොඩිය නිර්මාණය කළේ ඕල්කට් තුමා කිව්වට ජාතික කොඩිය නිර්මාණය කලේ කවුද කියල උගන්නල නෑ . හැම තැනකදිම අපිට උගන්වන්නෙ බෙදීම්. ඉතිං අපි ලොකු වෙද්දි ජාතිය, ආගම රකින්න ඕනෙ කියල කෑ ගහනව. ‘ ඒකීය රටක් ‘ කියල වචන ඉස්සරහට දාගෙන මඩිය තරකරගන්න රට පාවල දෙන මිනිස්සු ගැන දන්නවනම් ජාතික කොඩිය නිර්මාණය කරපු එස්. පී. චාල්ස් වගේ උත්තමයෝ තමන් ගැනම දුක්වෙනව.

ඒ ඒකීය රට ඇතුලෙ තමයි මේ ලගදි ෆාතිමගෙ ගේ ඩෝසර් කරන්නෙ. ෆාතිමා ජාතියෙන් මුස්ලිම් උනාට ආගමෙන් බෞද්ධ . තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් නැති රටක ඉපදිච්ච වරදට ෆාතිමාවයි, ඒ දරුවන්වයි පාරට ඇදල දාල අනවසර ඉදිකිරීමක් කියල ගේ කඩන්නෙ ග්‍රාමසේවකගෙ කීමට.

ඕව ලියද්දි සහරාන් දැන් ස්වර්ගෙට වෙලා මොනව කරනව ඇතිද කියල හිතෙනව. ස්වර්ගෙට අරන් යන්න ඕන මිනිස්සු තාමත් ජීවත් වෙද්දි ජීවත් වෙන්න ඕන මිනිස්සුන්ට මරණය අත් කරපු අන්තවාදී තිරිසන්නු….

මිනිස්සු ආගම වෙනුවෙන් ජීවිතය පූජා කරන්න සූදානම් වුණාට, ආගම රකින්න සූදානම් නෑ. කොයි ආගමෙත් අන්තවාදීන් ඉන්නව. මේ රටට ඕනෙ දැන් ජාතික සමගිය . මුස්ලිම් කඩ වර්ජනය කලා කියල, ඒ කඩවලට යන සිංහල උන්ට කුණු බිත්තර ගැහුව කියල ජාතික සමගිය ඇති වෙන්නෙ නෑ . ජාතිවාදය ඉස්සරහට දාගෙන තමන්ගෙ අභිවෘද්ධිය හිතන පාලකයන්ට මේ රට ඕනෙ නෑ .ඒත් අපිට මේ රට ඕනෙ. මොකද අපිට යන්න වෙන රටක් නෑ . මට, නදීශ්ට ,නුෆ්කට ,රවීට,ෆාතිමාට, ශාන්තිනීට…. හෙටත් හුස්ම ගන්න වෙන්නෙ මේ මහපොළොව සිපගෙන එන ඔක්සිජන්ම තමයි…..

මම නම් …… මි ද
අපි නම්…….. මු ද
මම නම්……. මු වුණොත්
ඇයි අවුල් ද…..?????

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *