පොතකින් දැනුන කවියක් : 12 – අශෝක කුලතුංග ලියයි

කෘතිය : රිදුණු තැන, එතැන
කතෘ : මනෝරි කෞෂි දිසානායක
ප්‍රකාශනය : කර්තෘ

වැහි ළිහිණිය.
නිමිත්ත :- පළමු විවාහයෙන් දික්කසාද වූ මහලු සැමියෙකුට බිරිදක වු රූමත් ලාබාල තරුණියක්.

පැහැසර මදාරා මල් පෙති සිඹින කල
මැවුණිද හිමියනේ අමයුරු දෙතොල් හල
මිය ඇඳි තිඹිරිගෙයි තිසරුන් යුගල වල
සිල් බිඳ ගන්න බැරි නිවිලද පහන් සිළ

සස්වාමික උණත් අස්වාමික හින්දා
වැහි ළිහිණියක් පතිනිය වී ඉකි බින්දා
කාටත් සුරඟනක් හිත් තාලෙට බන්දා
ගොරහැඬි හිමිට සියුමැලි වැඩිවද මන්දා

දළ මල පිපී පරවෙන’ යුරු රෑ තිස්සේ
හැංගුණු කඳුළු තාමත් මල් පෙති අස්සේ
උණුහුම නිවන්නද මේ තරමට වැස්සේ
අයදින පැතුම තාමත් හිත යට ගැස්සේ

නොතැළුණ මලෙක රොන් උරන්න බිය උණි නම්
පරිණත සිතට මල් පෙතිවල සුව වැඩි නම්
පෙර උන් ඇයව යළි මතකෙට ආවේ නම්
දුරකට යන්න මා පෙති හුරතල් වැඩි නම්

මුහුණු පොත හරහා නිරන්තරයෙන් කාව්‍ය පබැඳුම් අතරින් ජනාදරයට පාත්‍ර වූ මනෝරි කෞෂි දිසානායක තුරුණු කිවිඳිය තම කුළුදුල් කාව්‍ය සරණිය ලෙස “රිදුණු තැන, එතැන” පාඨක සතු කරන්නේ 2017 වර්ෂයේ ය. කාව්‍ය නිර්මාණ හතළිස් අටක් සංගෘහිත මෙහි බහුතරයක් නිර්මාණයන් සඳැස් ආකෘතියෙන් නිමවා තිබීමෙන් ම සඳැස් නිර්මාණ කෙරෙහි ඈ දක්වන බින්න රුචිකත්වය මනාවට විශද වේ.

මාතර යුගයේ සිටි ශුංගාරාත්මක කවි කිවිඳියන් අතර ගජමන් නෝනාට ද ප්‍රමුඛස්ථානයක් හිමි වේ. කෘතියෙහි පෙරවදන සරසන ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතා ගජමන් නෝනාගේ තුරුණු අවදිය හෙවත් කොරනේලියා අවදිය කෞෂි කිවිඳිය තුළින් මතුකරන්නේ සඳැසට ඇය දක්වන කෞශල්‍යය නිසාවෙනි. ඒ බව සපථ කරමින් කිවිඳිය කෘතියේ ආරම්භක පද්‍ය නිර්මාණයෙන් ම පාඨකයා තමා වෙත ආසක්ත කරගන්නේ ත් පාඨක මනස ශුංගාරයෙන් මත් කරන්නේ ත් මනා බුහුටියකිනි.

තුරුණු ස්ත්‍රීයකගේ ගතික සිතෙහි අනුරාගී හැඟුම් අරමුණු කරගනිමින් “වැහි ළිහිණිය” නම් පැදි පෙළ සංරචිත ය. මහලු සැමියකු විවාහ කරගන්නා ලාබාල තරුණියක් වස්තු කරගනිමින් කිවිඳිය කවියට මුල පුරන්නේ මෙලෙසිනි.

“පැහැසර මදාරා මල් පෙති සිඹින කල
මැවුණිද හිමියනේ අමයුරු දෙතොල් හල
මිය ඇඳි තිඹිරිගෙයි තිසරුන් යුගල වල
සිල් බිඳ ගන්න බැරි නිවිලද පහන් සිළ”

කථකාව ඉතා ලාබාල තරුණ තැනැත්තියකි. ඇය නිර්මල ය; පිවිතුරු ය. ඇයගේ දෙතොල් ඉතා සිනිඳු ය. කිවිඳිය ඒවා මදාර මල් පෙතිවලට උපමා කරයි. එවැනි දෙතොල් සිපගැනුම මේ මහලු සැමියාට අමෘතයක් වැන්න. නමුදු මේ අමෘතය පානය කිරීමට තරම් වාසනාවක් මේ හිමි සඳුට නොමැතිවීම ඛේදයකි. ඒ හේතුවෙන් ම කථකාවගේ පියයුරු උපන් ගෙයිම මිය ගොසිනි. ඒවා විකසිත කරන්නට මේ මහලු සැමියාට නොහැකි ය. ඔහුගේ පුරුෂ ශක්තිය හීන වී ඇති බව කිවිඳිය සංකේත කරන්නේ ‘නිවිලද පහන් සිළ” යන පද්‍ය ත්‍රිත්වයෙනි. ඇයගේ මනෝරම්‍ය පද බන්ධනය පාඨකයා මනසින් අනුරාගී ව අවුලවයි. එතරම් ම කෞෂිගේ බස් වහර තුළ මැවෙන චිත්ත රූප මනෝරාගික ය.

මහලු සැමියා පළමු විවාහයෙන් දික්කසාද වූ අයෙකි. එහෙත් කථකාව නොඉදුල් යුවතියකි. ඇය සතුට අපේක්ෂා කළ ද එය අහිමිවීමේ සොවින් වැළපෙයි. වැහි ළිහිණින් පියාසර කරන්නේ වර්ෂාවේ පෙරනිමිති සිහිකිරීමට ය. ඇයගේ වැළපුම ද එතරම් ම ශෝකී බව රූපණයවන්නේ ‘වැහි ළිහිණියක් පතිනිය වී ඉකි බින්දා’ යන පද්‍ය පාදයෙනි. තරුණ කත සුරඟනකට උපමා කිරීමෙන් ම ඇගේ රූපශ්‍රීයෙහි අලංකාරය මැනවින් ආලෝලනය වේ. මහලු සැමියාගේ ශරීරයේ රළු බව ‘ගොරහැඬි’ යන ඖචිත්‍ය පදයෙන් නිරූපනය කරන්නේ පාඨක හදවතෙහි සංවේගයක් ද උපස්තම්භනය කරමිනි. කිවිඳියගේ පද සංඝටනය ප්‍රශස්ත ය.

“දළ මල පිපී පරවෙන’ යුරු රෑ තිස්සේ”

ස්ත්‍රියකගේ ශරීරයෙහි පවත්නා අති මනෝරම්‍ය පෙදෙස කිවිඳිය දළ මලින් සංකේත කරයි. දළෙහි පැහැය සුදු ය. සුදු පැහැයෙන් පවිත්‍රතාව ගම්‍ය වේ. එසේ නම් මේ පතිනිය තවමත් නොඉදුල් කන්‍යාවියකි. එහෙත් ඇගේ ශුංගාරාත්මක හැගීම් රාත්‍රී කාලයේදී වඩාත් උත්සන්න වේ. එතරම් ම කථකාවගේ කාමාශාවන් තීව්‍ර ය. ඒ නිසාම ස්ත්‍රී ශරීරයේ සිදුවන හෝමෝන ක්‍රියාවලියක විපර්යාසයකින් ඇයගේ පිබිදුණු යෞවනත්වය දළ මලේ සිනිදු පෙති අතර උණුසුමින් ම ඇය තනිව සඟවා ගනී. ‘හැංගුණු කඳුළු තාමත් මල් පෙති අස්සේ’ යන පද්‍ය පාදයෙන් එය වඩාත් සංස්පර්ශය වේ. මෙලෙස කාමාසක්ත කතගේ ගිනියම් වූ උණුසුම නිවාලන්නට මෙන් ස්වභාවික පරිසරය වැසි ගෙනාවත් ඉන් ඒ දොළ නො සංසිදේ. වැසි වැටීමෙන් තව තවත් ඇය උණුසුම් වනවා නො අනුමාන ය. කිවිඳියගේ රසාලිප්ත පද බන්ධනයෙන් පාඨක මනස ද ශුංගාරයෙන් ඇවිලෙන්නේ රූපණය තුළින් ඇය මවන මනස් සිතුවමට යි. කාව්‍ය නිර්මාණය කෙරෙහි කිවිඳිය සතු ප්‍රතිභාව මෙයින් මනාවට විද්‍යාමාන වේ.

සියලු බලාපොරොත්තු බිඳ වැටුණු කථකාව අවසානයේ තම දිවිය පිළිබද නිගමනයකට එළබෙන්නේ මෙලෙසිනි.

“නොතැළුණ මලෙක රොන් උරන්න බිය උණි නම්
පරිණත සිතට මල් පෙතිවල සුව වැඩි නම්
පෙර උන් ඇයව යළි මතකෙට ආවේ නම්
දුරකට යන්න මා පෙති හුරතල් වැඩි නම්”

තරුණ බිරිය මහලු සැමියාට තම දෝෂාරෝපණය එල්ල කරන්නේ සැමියාගේ සිත නොරිදා ආදරණීය ලෙසිනි. එය ගැහැනු මායමක් දෝ මගේ සිතට නැගෙයි. මිය ගිය ඉපැරණි බිරිද සිහිවන්නේ නම් තමා ව අතැර යන ලෙස ඇය ආයාචනා කරන්නේ එක් පැත්තකින් ඇයට තම අපේක්ෂාවන් මේ දීගය තුළ ඉටු නොවෙනා බැවිනුත් දෙදෙනාගේ ම අනාගතයට එය සුබ ලකුණක් වන බැවිනුත් ය. පාඨක මනස ශුංගාර රසයෙන් අවුළුවා අවසානයේ කරුණා රසය ජනනය කරන්නේ කිවිඳිය සතු කාව්‍යකරණයේ පරිනත බාවය නිසාය.

වාච්යාර්ථ පද සංඝටන තුළ ව්‍යංගව ශුංගාරය ධ්වනිත කළ ද මාගේ කියවීමට අනුව කිවිඳිය මින් ගැඹුරු සමාජ ඛේදවාචකයක් සියුම් ව උපයුක්ත කරයි. මහලු පුද්ගලයකු සමඟ රූමත් ලාබාල තරුණියක් විවාහ වන්නේ නම් ඒ මහල්ලා ධනයෙන් බලයෙන් ආඩ්‍ය වීම බහුලව දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. මේ නිසා ම විවාහක මහල්ලෙක් සමඟ ලාබාල රූමත් තරුණියක් සිතට එකඟව සිය කැමැත්තෙන් විවාහ දිවියට ඇතුල්වේ ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. තරුණියට එසේ සිදුවූයේ ඇය කාත් කවුරුත් නැති අනාත අයෙකු වූ නිසාද?  නැතිනම් ආර්ථික ධරිද්‍රතාව මධ්‍යයේ තම කුටුම්බියේ යහපත උදෙසා තම අනාගතය බිලි දුන්නාද? එසේත් නැතිනම් මහල්ලාගේ වියෝව බලාපොරොත්තුවෙන් කූට අපේක්ෂාවක් සිතේ සඟවාගෙන එය අසාර්ථක වූ නිසාවත් ද? යන්න මසැසින් ගවේෂණය කළ යුතුය. කිවිඳිය පාඨකයාගේ කියවීමේ රුචිය මත ඕනෑම මාර්ගයකට ගමන් කිරීමට ඉන් ඉඩ සළසා තිබීම විශිෂ්ට ය. මාගේ කියවීම මත ශුංගාරය මතින් කිවිඳිය මේ වරනගන්නේ පුරුෂාධිපත්‍යයට හා ධනවාදී අර්ථ ක්‍රමයට ගොඳුරුවන සමාජයේ ම තවත් ස්ත්‍රී කොටසක් ම බව කිව මනාය.

නිර්මාණය ආරම්භයේ සිට ම නිරීක්ෂණය කිරීමේදී මාගේ රසවිදීමේ පරිචය මත සාවද්‍ය අවස්ථාවන් ද්වයක් සම්මුඛ වේ. කවි පංතිය ආරම්භයේ රචිත නිමිත්ත කවියේ පදයෙන් පදය ලිහමින් රස වැල් සොයන අයෙකුට අනවශ්‍ය ලියවිල්ලකි. එවන් පාඨකයෙකුට තමා ලිහා ගන්නා රසයේ මිහිරියාව විඳීමේ හැකියාව කවිය ආරම්භයේදී ම ක්ෂය වේ. ඉතා රසාලිප්ත පද බන්ධනයන් ගෙත්තම් කරමින් මූලාරම්භයේ සිට ම පැමිණෙන කිවිඳිය අවසාන කවි කණ්ඩයේ දෙවන පද්‍ය පාදයේ ‘පරිණත’ යන පදය භාවිතයෙන් නිර්මාණය පුරා පැවති කාව්‍යෝක්ති බව නිමේශයකට බිඳ වැටේ. ඒ සඳහා තවත් අපූරු සංකේතයක් බන්ධනය කළේ නම් මෙහි මිහිරියාව වඩාත් තීව්‍ර වේ.

උපමා, රූපක හා නැවුම් සංකේත භාවිතයත්, පාඨකයා මනසින් මෙන් ම හදවතින් ශුංගාරයෙන් අනූන කිරීමත්, සඳැස් ආකෘතියට චිත්ත රූපණය කරන කාව්‍යාත්මක පද බන්ධනයත්, සාමාජීය අර්ථ පරතරයේ ස්වභාවයත් හා කරුණා රසය ජනනය කිරීමත් සැළකූවිට මනෝරි කෞෂි දිසානායක කිවිඳියගේ “රිදුණු තැන, එතැන” කාව්‍ය සංග්‍රහයේ එන “වැහි ළිහිණිය” පද්‍ය නිර්මාණය ඉතා සාර්ථක නිර්මාණයක් බව සංනිදර්ශනය කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *