ඇත් ඝාතකයන් බේරන සිස්ටම් !

හබරණ, හිරිවඩුන්න, තුන්බිකුලම් රක්ෂිතයේ මිය ගොස් සිටියදී අලි-ඇතුන් හත් දෙනකුගේ සිරුරු සොයා ගැනිණි. එයින් එක් ඇතෙකු පිරිමි සතෙකි. තවත් ඇතින්නියන් තිදෙනකු ගර්භණී ය. එනම් දහ දෙනෙකු මිය ගොස් තිබේ. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරේ මාධ්‍ය මගින් පවා මේ සිද්ධියට එතරම් ප්‍රචාරයක් ලැබුණේ නැත.

මීට අදාළ විමර්ශන පවත්වන වනජීවී අංශ පවසන්නේ ඇතුන්ගේ සිරුරේ විෂක් අන්තර්ගත වී ඇති බවට සැක කරන බවයි. එම නිසා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවා ඇත. එයින් වාර්තාවක් එනතුරු අවසන් විනිශ්චයක් දිය නොහැකි බව ඔවුහු සඳහන් කරති. මීට පෙර ද මේ ආකාරයේ සිදුවීම් වලදී මේ ක්‍රමවේදය සිදු විය. රස පරීක්ෂක වාර්තා වලින් පසු නිගමනයක් ප්‍රකාශයට පත් කෙරුණා පමණි. ඉන් එහාට දෙයක් සිදු වූයේ නැත. වස දුන්නේ කවුද, වස දීමට හේතුව කුමක්ද, වස දුන්නේ
කෙසේද යන ප්‍රශ්න සදාකාලිකව මිහිදන් කෙරේ.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මේ සිදුවීම ම්ලේච්ඡ ආකාරයෙන් යොදාගැනීම පිළිකුල් කරුණකි. සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය කියන්නේ මෙය ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වයෙන් මිථ්‍යා විශ්වාසයක් වෙනුවෙන් සිදු කළ බවකි. ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වයෙන් එහි අනෙක් පැත්ත කියයි. මෙසේ දෙපැත්තට බෝල පාස් කර ගැනීමත්, ඒවා සමාජ මාධ්‍ය වල වැඩි-වැඩියෙන් ප්‍රචාරය වීමත් හරහා ඇත්ත යට යමින් තිබේ. ඇතැම් විට එය ඇත්ත යට ගැසීමේ උපක්‍රමයක් ද විය හැකිය.

මේ ස්ථානයේ එක් වර දස දෙනෙකු මිය යෑම නිසා වැඩි කතාබහක් ඇති වුවද, මේ ආකාරයෙන් එක්කෙනා-දෙන්නා සිය ගණනක් මිය යන්නේය. ඒවා සංඛ්‍යාත්මකව අඩු නිසා සමාජයේ කතාබහට ලක්වන්නේ අඩුවෙනි. ඇතැම් විට ඒවාට වටිනාකමක් ඇත්තේම නැත. වනජීවී අපරාධ වැළැක්වීම සඳහා ශක්තිමත් නීතිමය ප්‍රතිපාදන සහිත වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතක් අප සතු ය. එහෙත් ගැටළුව වන්නේ එයින් සිදු කෙරෙන්නේ රක්ෂිතයකින් දණ්ඩක් කපා ගන්නා අහිංසකයෙකු අත්අඩංගුවට ගැනීමත්, දඩ මස් ඇල්ලීමත් පමණක් වීම ය. මෙවැනි සූක්ෂ්ම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මර්දනය කිරීමේ ශක්තියක් දෙපාර්තමේන්තුව සතු ව නැත. අලි ජාවාරම් වල ඉහළින්ම සිටින්නේ වනජීවියේ ඉහළම නිලධාරීන් වන නිසා ඔවුන් ඒ ශක්තිය හදන්නේ ද නැත.

විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් 2012 – 2016 කාලසීමාව තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවට අනුව 2015 ජනවාරියේ සිට 2017 ඔක්තෝම්බරය දක්වා සිදුවූ අලි-ඇතුන් ඝාතන 384 කින්, සියයට 89 ක් සම්බන්ධයෙන් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නැත. පසුගිය සමයේ ජාවාරම්කරුවන් විසින් පැහැර ගත් අලි පැටවුන් ගණනාවක් වනාන්තර තුළදීම සොයා ගැනිණි. එහෙත් ඊට සම්බන්ධ එක් සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු වූයේ නැත. පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ බලප්‍රදේශය තුළ සිදු කළ පර්යේෂණයකට අනුව අධිකරණයේ විභාග වූ නඩු විසි හතරකින්, චූදිතයන්, වැරදිකරුවන් කිරීමට හැකි වී තිබෙන්නේ නඩු අටකදී පමණ ය. එනම් සූක්ෂ්ම හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට ඇත්තේ අල්ප දැනුමකි. ලෝකයේ වනජීවී අපරාධ මැඩලීම සඳහා ඉහළම තාක්ෂණය භාවිත කරයි. එහෙත් අපේ නිලධාරීන්ට තවමත් ඇත්තේ පරණ තුවක්කු කිහිපයක් පමණි. එහි අදහස ඔවුන් තුවක්කු වලින් සන්නද්ධ කළ යුතුය යන්න නොවේ. ඔවුන් විමර්ශකයන් බවට පත් කළ යුතුය.

බොහෝ විට ඇතෙකු ඝාතනය කිරීමක් වැනි වනජීවී අපරාධයකදී ඇසින් දුටු සාක්ෂි සපයාගැනීම හෝ සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට ලැබෙන අවස්ථා ඉතා ම අඩු ය. එවැනි අවස්ථාවක පරිවේශනීය සාක්ෂි මගින් නඩුව විසඳීමට උත්සාහ දැරිය යුතුය. ඒ හැකියාව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන වලට ය. එහෙත් ඔවුන්ගේ විමර්ශන මූලිකව කේන්ද්‍රගත වී ඇත්තේ මනුෂ්‍ය අපරාධ සම්බන්ධයෙනි. එම නිසා මේවාට මැදිහත් වන්නට ඔවුන්ට කාලයක් නැත. සම්පත් නැත.

අවශ්‍ය වන්නේ ඒකාබද්ධ විමර්ශන ය. වනජීවී නිලධාරීන් නවීන තාක්ෂණය සහ බුද්ධි තොරතුරු මත සිද්ධියක් පසුපස හඹායන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පුහුණු කළ යුතුය. එහෙත් ඒ වෙනුවට සිදු වන්නේ දවසේ කාලය ගත කිරීම සඳහා පිටු පිරවීමේ වැඩසටහන් සම්පාදනය කිරීමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ද දක්ෂ වැටළීම් නිලධාරීන් සිටී. එහෙත් වැඩක් නොගන්නා නිසා ඔවුන් ද පිටු පිරවීම සඳහා පුටු රත් කරමින් සිටී.

ඉතින්, වනජීවී අපරාධ සීග්‍රයෙන් ඉහළ යෑමත්, අපරාධකරුවන් ගැලවී සිටීමත් පුදුමයක් නොවේ.

ශාලික විමලසේන
(ලංකා ඉරිදා සංග්‍රහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *