හැම කවි පොතක්ම මාකට් නෑ. මාකට් වෙච්ච කවි පොත් ගුණාත්මක නෑ – වින්යා ජයසේකර

මිනිස්සුන්ගේ හිතුවිලි කවි වෙන්නේ කොහොමද ?

කෙනෙකුගෙ සිතිවිල්ලක් කවියක් වෙන්නෙ ඉබේටම. ආයාසයෙන් කවි ලිය වෙන්නෙ නෑ. තමන්ගේ හෝ අනුන්ගේ වේවා කවියෙක් එන හැඟීම කොහේ හෝ කුරුටු ගානවා. ඇතැම් විට එය ක්ෂනිකවම කවියක් වෙනවා. නැත්නම් කාලයක් ගත වෙලා ඔප මට්ටම් වෙලා කවියක් බිහිවෙනවා.

 සාමාන්‍ය මනුස්සයා හිතන පරාසය සහ කවියා හිතන පරාසය අතර වෙන උපදින තැන සම්බන්ධයෙන් කුමන අදහසක් ද කිව හැකිකේ ..?

කවියෙක් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඒත් හැමෝටම කවි ලියන්න බෑ. සමහර කවි කියවද්දි කෙනෙකුට දැනෙනවා “මේ හැඟීම් කොහොම කවියෙකුට වචන වෙනවද” කියලා. අන්න ඒ පරිකල්පන හැකියාව අතරින් කවියෙක් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙන් පියවර ගණනාවක් ඉදිරියෙන් ඉන්නවා. ඒ අතරට කලාව හා සාහිත්‍යය සමීප ඇසුරත් සතතාභ්‍යාසයත් ඍජුවම බලපානවා. දෙයක් දෙස සාමන්‍ය මිනිසා බලන ආකාරයෙන් නොබැලීම කලාකරුවාගේ හෝ කවියාගේ විශේෂත්වයක් ඒ නිසාමයි ඔහුට කලාකරුවා හෝ කවියා ලෙස නම් යෙදෙන්නේ .. මෙයට විශේෂයෙන්ම ප්‍රතිබා ශක්තිය බලපානවා. ප්‍රතිබාව විසින් තමයි මම අර කලින් කිව් පුද්ගලයින් නිර්මාණය වෙන්නේ .. ප්‍රතිබාව පැහැදිලි කරන තැනක සදහන් වෙනවා විශේෂ වස්තු නිර්මාණාංක්ෂමා ප්‍රඥා ප්‍රතිබා ලෙස .. ඒ කියන්නේ සාමාන්‍ය වස්තු දෙස සාමන්‍ය විදියට නොව විශේෂ ලෙස බලා එමගින් නව නිර්මාණයක් නවමු දෙයක් ගොඩ නැගීම කියන එක මෙය ගොඩ නැගී ඇති පුද්ගලයා කලාකරුවා හෝ කවියා ලෙස නම් කරනවා .

අපි දන්නා දෙයක් තමයි කාලයෙක් කාලයට විවිධ සමාජ තල ගොඩ නැගෙනවා වගේම කවියේදීත් විවිධතාවයන් කාලයෙන් කාලයට ගොඩ නැගෙනවා.. ඔබ කවර ආභාෂයක් ලැබූ කිවිදියක්ද ?

මම නූතන කවියේ ආභාසය ලබපු කෙනෙක්. කවියේ ඒ නිදහසට මම කැමතියි. ඒත් සාර්ථක නිර්මාණකරුවෙකුට නූතන කවියේ නතර වෙලා ඉන්න බැහැ .අනිවාර්යයෙන්ම දේශිය මෙන්ම විදේශීය කවියේ ඇසුර ලබන්නම වෙනවා. ඒ වගේම අභ්‍යාස කිරීමේදී පැරණි කවි සම්ප්‍රදායන් මෙන්ම ඒ ඒ යුගවල ලියවුනු කවි සම්බන්ධයෙන් පරිචයක් ඇත්නම් ඇත්තටම වර්තමානයේ කවර ආභාෂයකට ගොනුව හිටියත් ඒ නිර්මාණය සාර්ථක කර ගන්න ඒ කියන අභ්‍යාසයන් වැදගත් වෙනවා.. මේ නිසා කවියෙකු කවර ආභාෂයකට නතුව සිටියත් ඔහුයේ අධ්‍යයන හා අභ්‍යාසය සියලු සම්ප්‍රදායන් අධ්‍යනයක වීම අනිවාර්යයක් ලෙස මම දකිනවා.

සරලව කිවහොත් ඇත්තටම කියන්න කවිය මිනිස්සු විදිනවාද ? නැතිනම් විදවීමක අතුරු ඵලයක් ලෙස කවිය ගෝචර කර ගන්නවාද ?

කවියට පාඨක පිරිස අල්පයි. ඒ අල්පය අතරිනුත් තමන්ගෙ අත්විඳීම් කවියකින් දැක්කොත් අන්න එතැන නැවතිලා ඒ කවිය විඳිනවා. නැත්නම් අනුන්ගේ විඳවීමක් තමන්ගෙ කරගෙන විඳිනවා. මට හිතෙන්නෙ මේ දෙකම මෙතැනදි වෙනවා. මේ නිසාම අපිට කවිය විදීමක ඇඩීමක ඵලයක් ලෙස අරගෙන එය බැහැර කිරීමට බෑ.. කවර හෝ නිර්මාණයකට පසුබිම් වන කතාවක් තියෙනවා. එය දුක් සහගතද සොම්නස් සහගතද යන්න මත නොවේ විදීම තීරණය වෙන්නේ .. එය මත වන දෘෂ්ටිය කවරාකාරද යන්න මතයි.. මෙතනදී වඩා වැදගත් වන දෙයක් කිව යුතුයි. කවියෙකු තමන්ට ගෝචර දෑ සම්බන්ධයෙන් නිර්මාණයක් කිරීමේදී එය සමව දැනෙන පිරිසක් සිටිනවා වගේම ඒ මත නිර්මාණ ගුණයන් හා ව්‍යාංගයන් වැනි දෑ හොවා එය රසවිදීමේ විවිධතාවයන් ගොඩ නැගෙන පිරිසකුත් ඉන්නවා. මේ නිසා කවියෙකුට තමන් දුටු කතාව පාඨකයාට හෝ රසවිදින්නාට තමන්ගේ වූ කතාවක කොටසක් ලෙස දැකිය හැකියි. මෙය කවිය සතු විශේෂ ලක්ෂණයක්

ඔබට පසුගියදා සම්මානයක් හිමි වුනා ඔබගේ නිර්මාණයක් සම්බන්ධයෙන් මේ පිළිබදව පැවසුවොත්..?

ඉරිදා “ලංකා” පුවත්පතේ ” කවි මිණි මුතු” කවි පිටුව සංස්කාරක බුද්දදාස ගලප්පත්ති මහතා ඇතුළු කතෘ මණ්ඩලය සංවිධානද කළ අදීන මාධ්‍යවේදියෙකු වන “දයාසේන ගුණසිංහ” ගුණානුස්මරණ පඳ්‍ය කාව්‍ය සම්මාන තරඟයෙන් මගේ නිර්මාණ දෙකක් ඇගයීමට ලක් වුණා. පසුගිය 27 වෙනිදා BMICH හිදී පැවැත් වුණු ත්‍යාග ප්‍රදානෝත්සවයේ ත්‍යාග ලබන්න මට අවස්ථාව ලැබුනා .

කලාකරුවෙකුට සම්මානයක් කියන්නේ දිරියක්.. නිර්මාණයන් නැවත ඔප් නැංවීම සදහා ධෛර්යයක්. දැන් මට කියන්න සම්මාන හෝ වෙනයම් ලාභයක් උදෙසා නිර්මාණ කිරීම එහි වන පරමාර්ථමය සත්‍යය ගිලිහී යාමට හේතු වෙනවාද ? 

ඇත්තටම කලා කරුවෙකුට සම්මාන කියන්නෙ දිරියක් .ඒත් සම්මාන හෝ වෙනයම් ලාභයක් උදෙසා නිර්මාණ කිරීම ඇත්තටම සමස්ත කලාවේම අභාග්‍යයක්. ඒත් සැබෑ නිර්මාණකරුවා සම්මාන බලාගෙන නිර්මාණ කරනයේ යෙදෙන්නෙ නෑ. අපිට දැකිය හැකි ඛේද ජනක තත්වයක් වන්නේම මෙයයි. සම්මාන හෝ ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් කලාව ප්‍රෙයා්ජනයට ගැනීමම හැදෙන පරපුරට හෝ කලාවට කරන නිගරුවක්..

 අදහසක් නැද්ද ? කවි පොතක් එලි දක්වන්න

මගේ කවි වලට වැඩිපුරම ඉඩ ලැබුණේ පුවත්පත් වල. විශේෂයෙන්ම රැස, ඇත්ත, ලංකා, සිළුමිණ හා ලංකාදීප පුවත්පත්වල කවි පිටු වල මගේ කවි වලට ඉඩ දුන්නා. කවද හරි ඒ කවි එක තැනකට ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් ඒ කවදද කියලා තීරණයක් නෑ.

 කවි පොත් දැන් මාර්කට් නේද ? මාර්කට් වීම සදහා නිර්මාණ තේරීම ගැන මොකද කියන්නේ

හැම කවි පොතටම මාකට් නෑ. මාකට් වෙච්ච හැම කවි පොතකම ගුණාත්මක කවි නෑ. ඒ වගේම මාකට් නොවෙච්ච හොඳ කවි පොත් තිබුණා. ඒ ගැන ලොකු පැහැදීමක් නෑ .

 පසුගිය මාසය සාහිත්‍ය මාසයක් .. ඒත් එම මාසය තුළ සාහිත්‍යයට ලංකාව තුළ මොන වගේ සංවර්ධනීය දායකත්වයක්ද ලැබුනේ ..

සාහිත්‍ය වෙනුවෙන් කියලා ලංකාව තුළ ලොකු සංවර්ධනීය දායකත්වයක් ලැබුණෙ නෑ. හැම දාම වගේ මේ අවුරුද්දෙත් කලාවට සාහිත්‍යයට ආදරේ කරන පිරිස ඒ එක්ක බැඳිලා හිටියා.

ඔබ නිදහස් කවි පබදින්නියක් විදියට ජීවිතය හා ආදරය සම්බන්ධයෙන් දකින විදිය දැනගන්නට කැමතියි ..

ජීවිතය සහ ආදරය ගසයි පොත්තයි වගේ. අභ්‍යන්තර හෝ බාහිර හේතුවක් නිසා ගසෙන් ගැලවිලා යන පොත්ත නැතිව ඒ එන පරිසරය දරාගෙන ඇතැම් ගස් ජීවත් වෙනවා. ඒත් සමහර ගස් වියැලිලා කෘශ වෙලා මිය යනවා. ආදරය ජීවිතයට හොඳ ආවරණයක්. ආරක්ෂාවක්.

ඉතිං පවසන්න පවුලේ විස්තර සහ අනාගත නිර්මාණත්මක දෑ සම්බන්ධයෙන්

මම ඖෂධ වේදිනියක්. විවාහකයි. තිදරු මවක් නිසා බෙහෙවින්ම කාර්‍යබහුල ජීවිතයක් ගත කරන්නෙ. නිර්මාණ සඳහා කාල වේලාව අවම උනත් හැකි හැම විටම නිර්මාණ කරණය් යෙදෙන්නවා. ඒ සඳහා උපරිම සහයෝගය දෙන සහකරුවෙක් ලැබීම ගැන අවංකවම සතුටු වෙනවා. වෘතියෙන් වෛද්‍යවරයෙක් උනත් කලාව හා සාහිත්‍යයට ලැදි කෙනෙක් නිසා ජීවිතය බොහොම සැහැල්ලුවෙන් සම බරව ගෙවෙනවා. දිගටම නිර්මාණවල යෙදීමට බලාපොරොත්තු වෙනවා.

සංවාද සටහන – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *