නොමියෙන මිනිසෙකුගේ මිය ගිය ප්‍රාණයක් නොවුයේ නම්, ඔබ සැත්තෑසිව් වියතියි විජය …! – උදේශිකා රවිහාරි

සිනමාව තුළ නොමැකෙන යුගයක් නිර්මාණය කළ ඒ සොඳුරු ප්‍රේමවන්තයා සහාසික ලෙස වෙඩි තබා මරා නොදැමුවේ නම් අදට ඔහුගේ වයස අවුරුදු 74 කි.

සීදූවේ පදිංචිව සිටි කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග හා ක්ලේරා බියට්‍රිස් කුමාරණතුංග යුවලට දාව 1945 ඔක්තෝබර් 09 වනදා රාගමදී උපත ලබන උපත ලබන කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග, කදාන ද මැසනද් හා කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් වල ආදි ශිෂ්‍යයෙකි.
“මනමාලයෝ” චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් සිනමාවට පිවිසෙන ඔහු සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාව” තුළින් ප්‍රධාන නළුවා ලෙස සිනමාව තුළ දිගු ගමනකට මුලපුරයි. වසර විස්සකට වැඩි කාලයක් නළුවෙකු, ගායකයෙකු ලෙස සිනමාව තුළ යුගයක් නිර්මාණය කළ විජය සිය කෙටි ජීවිත කාලය තුල විජය චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දුන්නා.
ඔහු සිනමාව තුළ මාලනියට ගැළපෙනම, ආදරණීයම පෙම්වතා වූ අතර “තුෂාරා, හතර දෙනාම සූරයෝ, සුසී, සංගීතා, දමයන්තී, එයා දැන් ලොකු ලමයෙක්,පෙම්බර මදූ, බඹරු ඇවිත්, උන්නත් දාහයි මළත් දාහයි, නැවත හමුවෙමු” වැනි සිනමා නිර්මාණ තුළින් සිංහල සිනමාව තුළ සදා නොමැකෙන යුගයක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි විය. ඔහු රඟපෑ අවසන් චිත්‍රපටය වූ “ඇය ඔබට බාරයි” තිරගත වන්නේ ඔහු මිය ගොස් වසර දහයකට පසුයි.
“ගඟ අද්දර” චිත්‍රපටයේ ‘ගඟ අද්දර මා’ ගීතය ඔහු ගැයූ ගී අතුරින් ඉදිරියෙන්ම තිබෙන අතර විල්ලුද පුoචි දෙපා, සැරයටියෙන් අපි යනෙන තුරා, සීගිරි ලාලිත ලදුනේ ගීත ද සදා මතකයේ රැඳ වූ ගීත වනවා. සරල ගී රාශියක් ද ඔහු විසින් ගායනා කර ඇති අතර මිණි කිංකිණි, කරඹ යායේ, එක වරක්, බලන්න අරුණ සමඟ ඉන් කිහිපයකි. ඔහුගේ “දගගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්” ගීතයට පසුබිම් වී ඇත්තේ නැක්සලයිට් චෝදනාවට සිරගත වූ අවස්ථාවේ බන්ධනාගාරයේ ලද අත්දැකීම් බව පැවසෙනවා.

1983 වසරේ පටන් නොකඩවා සය වතාවක් ජනප්‍රියම නළුවා වෙනුවෙන් පිදෙන සරසවි සම්මානයට අමතරව සහරාවේ සිහිනය හා දොලොස්මහේ පහන වෙනුවෙන් හොඳම ගායකයාට පිදෙන සරසවි සම්මානයත් ඔහුට හිමිවනවා. නමුත් හොඳම ගායකයා ලෙස සම්මානයට පාත්‍ර වන විට ඔහු තම දිවියෙන් සමුගෙනය. “කැඩපතක චායා” වෙනුවෙන් ඔහු හොඳම නළුවා සම්මානය ද හිමි කර ගන්නවා.

1970 දී ලංකා සමසමාජ පක්ෂයට බැඳෙමින් දේශපාලනයට පිවිසෙන ඔහු, පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී කටාන ආසනයේ සංවිධායකයා වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූවත් ඉන් පරාජය වනවා.වාමාංශික අදහස් දරන ඒ අදහස් වලට ගරුකරන පුද්ගලයෙක් වූ විජයට 1978 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග අතිනත බැඳීම ඔහුගේ දේශපාලන ගමනට මහත් ශක්තියක් වෙනවා.

දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකු වූ ඔහුව 1988 පෙබරවාරි 16 වෙනිදා නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පොල්හේන්ගොඩ පිහිටි නිවස ඉදිරිපිටදීම හිස කුඩු පට්ටම් වී විරූපී වී යනතුරුම වෙඩි පිට වෙඩි තබා සහාසික ලෙස මරා දමන්නේ ඔහු කෙරෙහි වූ තදබල දේශපාලනික වෛරය පිළිබිඹු කරමිනි.

විජය…
ඔබ බොහෝ විට දේශපාලනයට පය නොතැබුවා නම් තවමත් අප අතර ජීවත් වීමට ඉඩ තිබුණි.

උදේශිකා රවිහාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *