ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. මාතර පොහොට්ටුව වරිපනම් බදු නග්ගයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන මාතර මහනගර සභාව 2020 වසරේ ජනවාරි සිට වරිපනම් බදු ගාස්තු සියයට තුනකින්(3%) ඉහළ දැමීමට යෝජනාවක් සම්මත කර තිබේ.

අද (ඔක්තෝබර් 09) මාතර මහනගර සභාව ට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පුරපති රංජිත් යසරත්න විසිනි. ඊට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය සිය විරෝධය දක්වා ඇති අතර යෝජනාව සම්මත කිරීම සදහා ජන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා ඉල්ලා ඇත.

ඒ අනුව ජන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරුන් 14 දෙනාම යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කලේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම යෝජනාවට එරෙහිව ජන්දය ප්‍රකාශ කර සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරු සිව්දෙනාගෙන් දෙදෙනෙකු යෝජනාවට විරෝධය දැක්වූ අතර අනෙක් දෙදෙනා ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.

අවසානයේ මාතර මහනගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව වැඩි ජන්ද දෙකකින් සම්මත කෙරිණි.

මාතර මහනගර සභාව මෙසේ වරිපනම් බදු අයකිරිම ඉහළ දැමුවේ මාතර නාගරික ජනතාව මුහුණු දී සිටින කසළ ප්‍රශ්නයට හෝ විසදුම් ලබා නොදුන් තත්ත්වයක් තුලය. ඉකුත් සමයේ දින දොලහක් තිස්සේ මාතර මහනගර සභා බළ ප්‍රදේශයේ කසළ එක් රැස් කිරීම නවතා දැමීමෙන් නාගරික වැසියෝ මහත් පීඩාවට පත් විය. ඩෙංගු උවදුර හේතුවෙන් තවත් විශාල පිරිසක් පීඩාවට පත් විය.

ජනාධිපතිවරණ වේදිකාවේ ජනතාවට සහන දීමට පාරම්බාන පොහොට්ටුවේ සැබෑ මුහුණුවර මෙයින් පැහැදිලි වන අතර මැතිවරණ වේදිකාවේ ජනතාව වෙනුවෙන් කිඹුල් කදුලු හෙලමින් සිය පළාත් පාලන බල ප්‍රදේශයේ ජනතාව සූරාකෑම ජුගුප්සා ජනකය.

වරිපනම් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතාගේන් අප කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

“මේ යෝජනාව කිසිසේත් සාධාරණ නැහැ. මාතර පුරවැසියන් මුහුණ දෙන කසළ ප්‍රශ්නයට තාම උත්තර නැහැ. කොට්විල පවුල් විසිපහකට වැඩි පිරිසක් මාතර මහනගර සභාවේ අවිධිමත් කසළ බැහැර කිරීම නිසා ඉන්නේ දැඩි පීඩාවකින්. පසුගිය කාලේ ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා උනේ මාතර නාගරික බල ප්‍රදේශයෙන්. ඒ තත්ත්වය වෙනස් කරන්න කිසිදු මැදිහත් වීමක් නෑ. පුර වැසියන් මෙසේ පීඩාවට පත්ව තිබියදී වරිපනම් බදු අය කිරීම සාධාරණ වෙන්නේ කොහොමද …?”

මැතිවරණ වේදිකාවේ ජනතාවට සහන දෙන්න කතාකරන පොහොට්ටුවේ දෙබෙඩි පිළිවෙත මේ යෝජනාවෙන් හොඳට පේනවා.

කොහොම උනත් නගර සභාවේ මේ හැසිරීම ජාතික දේශපාලනයට එන එක වලක්වන්න ජනතාවට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. මේ යෝජනාව මාතර පුරවැසියන්ට කියන්නෙ එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *