ඕනෑම තක්කඩියෙකුගේ අවසාන තිප්පොල දේශප්‍රේමයයි. ( කඩඉම – 02 )

ශ්‍රි ලංකාවේ දේශපාලනය ජාතිය හා ආගම මත පදනම්ව තිබෙන බව පැහැදිලි කරුණකි..දේශපාලන පක්ෂයක හෝ දේශපාලනඥයකුගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙලවල් වලට වඩා ජාතිය සහ ආගම ගැන වන ප්‍රතිපත්තිය කෙරෙහි වැඩි අවදානයක් යොමුවීම සුලබව සිදුවන දෙයකි. මේ නිසාම ජාතිය සහ ආගම හොඳින් මාර්කට් කළ හැකි කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාවයක් පවතී.

ඕනෑම තක්කඩියෙකුගේ අවසාන තිප්පොල දේශප්‍රේම යැයි කියමනක් තිබේ..මෙරට දේශපාලනයෙ ඒ ඉතා හොඳින් පෙන්වමින් තිබෙන්නකි.

මේ තක්කඩි දේශපාලනයේ ගොදුරු බවට වඩාත් වැඩියෙන් ලක්වන්නේ මෙරට සුළු ජාතිකත්වයන් නියෝජනය කරන පුද්ගලයන්ය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ මෙරට මුසලිම් ප්‍රජාව මුහුණ දුන්නේ දැඩි අසීරුතාවයකටය. අන්තවාදීන් කිහිප දෙනෙකු කුමක් හෝ අරමුණක් අනුව සිදු කළ ප්‍රහාරය නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාවම අපහසුතාවට පත් විය. ඊට හේතුව වුයේ මුස්ලිම් නොවන ජන කොටස් ජාතිය සහ ආගම පදනම් කරගෙන චෝදනාව ඉදිරිපත් කිරීම නිසාය. මේ චෝදනා පි‍ටුපස දේශප්‍රේම තවරාගත් වර්ගවාදී දේශපාලනය පැහැදිලිවම තිබිණි.

ඒ වායේ දිගුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සා‍ෆි ට එරෙහිව එල්ල වූ චෝදනා කෘතිමව නිර්මාණය කෙරුනක් බවට හැඟවෙන කතාවක් පසුගිය දා නීතිඥ අලි සබ්බ්‍රි සමාජ ජාලා සංවාදයනදී සඳහන් කර තිබුණි. එහි විශේභත්වය වන්නේ ඔහු දේශපාලනිකව පෙනී සිටින කඳවුරම එය නිර්මාණය කළ බව පැවසීමය. මේ හා සමානව ඇමැති රිෂාද් බදුර්දින් කෙරෙහිද චෝදනා රැසක් එල්ල විය. විල්පත්තු රක්ෂිතය කපා දමනවාය යනුවෙන් චෝදනාවක් එල්ල වී තිබුනු නමුත් එහි ඇත්ත කතාව වූයේ අනෙකකි. එසේම පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයද ඔහු මත පැටවීමට උත්සාහයක් ගනු ලැබීය.. නමුත් ඒ සඳහා කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැත.

තමන් නියෝජනය කරන දේශපාලනයට එරෙහි කඳවුරක, යම් සුලු ජන නියෝජනයක් තිබේ නම් ඊට ජාතිවාදය ආගම්වාදය මත පදනම්ව චෝදනා කිරීම ඉතා පහසු කාරණයකි. එසේම එම සුලු ජන කොටස් තමන්ගෙ කණ්ඩායමට සහය වෙන විට එය දේශප්‍රේමී කරගැනීමද නිතර දකින්නට ලැබෙන්නෙකි. නමුත් මෙය දේශපාලන බංකොලොත් භාවය මිස වෙනකක් නොවේ.

දේශපාලනික විවේචන වෙනුවට වර්ගවාදී මත පදනම්ව අවලාද නැඟීම මේ රටේ දේශපාලනය තුල තිබෙන පිළිලයකි. මේ පිළිල කපා ඉවත් කිරීමට අප අසමත්වන තාක්කල් අපට සිදුවන්නේ එකිනෙකා හා කුලල කාගැනීමටය. රටක් ලෙස සෑම පුරවැසියෙකුගේම සහයෝගය විශ්වාසය දිනාගෙන එක්සත්ව මේ රට ගොඩ නැගීම නම් සිදු නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *