මයිකල් ආන්ජලෝ චතුරශ්‍රය – රෝමයට ලඟ පාර – 07

ඉතාලියේ සුන්දර නගරයක් වන “ෆිරෙන්සෙ” නගරය වර්ෂ 1865 දී ඉතාලියේ අගනුවර බවට පත්විය. ඉතාලියේ අගනුවර වශයෙන් “ෆිරෙන්සෙ” නගරය ගොඩ ගැනීම සඳහා ‘ජුසෙප්පෙ පොජ්ජි’ නම් වාස්තු විද්‍යාඥයා විශාල කාර්යභාරයක් සිදුකරන ලදී.

‘ජුසෙප්පෙ පොජ්ජි’ මාර්ග අවට අලංකාර වන අන්දමට වක්‍රාකාර මාර්ග සාදන ලදී. පැරිස් නුවර ඇති සාම්ප්‍රදායික තාප්ප හා බිත්ති මුහුණුවර ගෙන “ෆිරෙන්සෙ” නගරය තුළ ඉදිකිරීම් කර ඇත. ඔහුගේ අදහස වූයේ කඳු මුදුන්වල හා කඳු බෑවුම්වල අගනා ගොඩනැගෙන නිර්මාණය කිරීමටය. ඔහුගේ අදහස පරිදි ම එකල වලසුන් ජීවත්වූ වංගු සහිත මාවත් ඇති ( 8km තරම් දිග) ‘වියාලෙ දෙයී කෝල්ලි’ (කඳු වල ඇති මහා මාර්ගය) සාදන ලදී. අවසන් වශයෙන් ඔහු “මයිකල් ආන්ජලෝ” චතුරශ්‍රය නිර්මාණය කළේය.

බොහෝ “ෆියොරෙන්තීනො” (ෆිරෙන්සෙ නගර වැසියන්) මේ සඳහා වැය වූ අතිමහත් මුදල් ප්‍රමාණය ගැන නොසතුටට පත් වූ නමුදු යුරෝපයට පිරිනැමුණු ඉතාමත් රමණීය වූ ස්ථාන අතුරින් එකක් වශයෙන් “පියස්zසාලෙ මිකෙලාන්ජලෝ” නම් කළ හැක. මෙහි සිට හාත්පස නරඹන ඕනෑම අයකුට දිව්‍යමය සිතුවමක් ලෙස “ෆිරෙන්සෙ” නගරය දිස්වේ. මෙම කඳු මුදුනෙහි පහළට වන්නට ඇති ‘ආර්නෝ’ ඟංගාවද ඒ හරහා ඇති මනස්කාන්ත පාලම් පෙළ ද ඉතාමත් රමණීය ලෙස දර්ශනය වේ. එහි සිට හාත්පස නරඹන කළ වම්පසට වන්නට 19 ශත වර්ෂයේ ඉදිකළ ‘කෂීනෙ’ උද්‍යානයද පහළටම වන්නට ‘සාන්ත ස්පීරිතෝ ‘ හා ‘සන් ෆ්‍රෙදියානො’ දිස්ත්‍රික්කය ද දිස් වේ. දකුණු පසට වන්නට ස්වේත වර්ණ බැසිලිකාව වන සන් ‘මිනියාතො’ ද දිස්වේ. තවද “දුවෝමො” දේවස්ථානය හා ‘ජිඔත්තො’ ගේ ඝණ්ඨා කුළුණ දර්ශනය වන්නේ ඉතාමත් මනස්කාන්ත අන්දමිනි.
මෙම චතුරශ්‍රය 19 ශත වර්ෂයේදී ඉහළ මධ්‍යම පාන්තිකයන් මෝස්තර සම්බන්ධ තරග හා රැස්වීම් පැවැත්වූ ස්ථානයකි. මෙම චතුරශ්‍රය මධ්‍යයේ මයිකල් ආන්ජලෝගේ “ඩේවිඩ්” (දාවිදේ) ලෝකඩ ප්‍රතිමාව ස්ථාපනය කර ඇත. මෙය “ඩේවිඩ්” ප්‍රතිමාවේ මූලික ආකෘති තුනෙන් එක් ප්‍රතිමාවකි. දෙවැනි ලෝක සංග්‍රාමය සමයේ ජර්මනිය විසින් ගුවනේ සිට නිකුත් කළ වෙඩි ප්‍රහාර නිසා මෙම ප්‍රතිමාවේ යම් යම් ස්ථාන සිදුරු වී ඇති අන්දම ළඟට ගොස් නරඹන්නකුට දැකගත හැකිය.
රාත්‍රී කාලයට මෙම චතුරස්‍රයේ සිට, විදුලි බුබුළින් අලංකාර වූ “ෆිරෙන්සෙ” නගරය නරඹන කළ එය පෙනෙනුයේ පාරාදීසයක් ලෙසටය. දහවල ද කියා වෙනසක් නැත. එය අතිශය චමත්කාරජනක දර්ශනයකි. ඉතාලිය සංචාර කරන්නන් ඔවුන්ගේ සංචාරයේ අනිවාර්ය චාරිකාවක් වශයෙන් යොදා ගන්නා අතීත අගනුවර වන “ෆිරෙන්සෙ” නගරය නැරඹීමේ දී අමතක නොකරන එක් දෙයක් ඇත. ඒ නම්, වසන්ත කාලයේ පුරා වෛවර්ණ මල් වලින් සුසැඳි මෙම පාරාදීසය නැරඹීමට පැමිණීම ය.

– පියුමි ජයකලණි

One thought on “මයිකල් ආන්ජලෝ චතුරශ්‍රය – රෝමයට ලඟ පාර – 07

  • October 15, 2019 at 6:09 am
    Permalink

    ස්තුතියි .ඉතාමත් හොඳ ලිපියක් .Boboli garden එක් ගැනත් මෙහි සඳහන් කලා නම් හොඳයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *