love is elsewhere – බන්ධන -07 – මලී පෙරේරා

යුද්ධයකදි පත්තු වෙන පළමු වෙඩි උණ්ඩය පත්තු වෙන්නෙ කොයි පැත්තෙන් වුණත් ඒ වෙඩි උණ්ඩය නියමිත ඉලක්කයට වැදුනත් නැතත් ඒකෙන් මියයන දෙන්නෙක් ඉන්නවා ඒ තමයි ආදරය හා මනුෂ්‍යත්වය.

රත්න ශ්‍රී විජේසිංහ ශූරින් ලියපු  ඒ කතාව කාලයක් මගේ හිතේ පත්තියම් වෙලා තිබුණා. ඇත්තටම යුද්ධ කරන අයටවත් ඒකට විරුද්ධව සටන් කරන අයටවත් අහිමි වීම් මිසක් හිමිවීම් නෑ . කවුරු දිනුවත් මළමිනි දාස් ගානක් පොලවට පස් වෙද්දි ඒ දිනුම් සමරන්න තරම් හිතක් එන්නෙ නෑ. එල් ටී ටී ඊ එක පරාජය කරලා අපේ රණවිරුවෝ ජය සමරද්දී කොහේද නැති ගැම්මක් හිතට ආවට ඒක ගැම්මකට වඩා ලේවල තියෙන ඇම්මක් කියලා පස්සෙ කාලෙකදි හිතෙනවා .

කැම්පස් ඉද්දි යාලුවෙක්ගෙ උවමනාවකට දවසක් මට අභිමංසල ට යන්න වුණා. අභිමංසල කියන්නේ යුද්දෙදි අතපය අහිමි වුණ රණවිරුවෝ ඉන්න තැනක් . අභිමංසල තිබුණේ මිහින්තලයේ ඉඳන් අනුරාධපුරයට යන පාරෙ.

එතනට ගියාම හිතුණ, යුද්ධෙ දිනපු දවසේ රතිඤ්ඤා දාලා සැමරුවෙ සතුට ද දුක ද කියලා. මතක් කරල දුක් වෙන්න බැරි නිසාම මං ඒ දේවල් අමතක කරන්න කාලයට ඉඩ දුන්නා. මට මධුක හම්බවුණේ එහෙදි.
අපි කාලයක් කතා කළා.මැසේජ් කළා. මාස දෙක තුනක් කතා කරද්දි එයාට ආයෙත් මාව දකින්න ඕන වුණා. ඒත් මට ආයෙත් එතනට යන්න හිතුනෙ නැහැ. දවසක් එයා කැම්පස් එක ළඟට යාලුවෙක් එක්ක ආව.

මං එයත් එක්ක සමාජවිද්‍යා ෆැකල්ටියට යන පාරෙ දිවුල් ගහක් යට තිබුන බෙන්ච් එකකට ගියා. හවස් වෙද්දි රජරට තියෙන්නේ නිහඬ වටපිටාවක් උනාට වියළි කොළ පත් එක්ක දූවිල්ලත් ඉහලට ඔසවන්න තරමට හිතුවක්කාර හුලඟක් තිබුණ. අපි පැය දෙකක් විතර ම එහෙම ඉන්න ඇති. අත් දෙකෙන් අල්ලගෙන ගොඩක් දේවල් කතා කළත් අපේ ඇස් එකට හමුවුණේ හරිම කලාතුරකින් .

එක මොහොතක මම එයාගේ වම් අතේ බාහුව අත්දෙකෙන්ම තද කරගෙන එයාගේ උරහිසට බර උනා. එයාගේ ඇඟිලි මගේ කොණ්ඩය අස්සෙන් යද්දි ඉඳි කටු තුඩකින් පපුවට අනින්න වගේ හිරිවැටුනා.
“ඔයා මට අනුකම්පා කරනවා ද …. ?”
නෑ කියනවද ඔව් කියනවද මොකද්ද කියන්නෙ කියලා මට හිතා ගන්න බැරි වුනා.

වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතට
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට ……

නන්දා මාලනී කියන ඒ සිංදුව ඇහෙද්දි මට තාමත් මධුක මතක් වෙනව. බලාපොරොත්තු වුන උත්තරේ දෙන්න බැරුව මං එයාව මග හරිද්දි , සාමාන්‍ය කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහන කෑවද? කොහොමද? කියල අහන වචනවලින් එයා මාව මග හැරියා.ඊට පස්සේ කවදාවත් මට එයා හම්බ උනේ නෑ. මගේ අතින්වත් අල්ලන්නේ නැතුව එයා යකඩ කකුල කොර ගගහා ඇවිත් කැම්පස් එක ලගින් ත්‍රීවීලර් එකට නඟිද්දි මහා ලෝබකමකින් පපුව පුරවගත්තත් මට අදටත් ඒ දිලිසෙන ඇස් මතක් කර කර මගෙ හිතට රිද්දගන්න පුළුවන් . ආදරේ ලග එදා කුහකයෙක් වෙච්ච මං අද මධුක ගැන හිතල කොච්චර ලතවෙනවද…

සැබෑ වීරත්වය කියන්නේ තමන්ට වඩා අනෙකුත් ජීවිත ඉහළින් ඔසවා තැබීමට කරන කැපකිරීමට. හැමෝටම වීරයො වෙන්න බෑ . තිරස්ව හිතද්දි අපිට පේන්නෙ හැමෝගෙම ජීවිත තිරස් විදිහට .

මධුක …, ඔයාගෙ ප්‍රශ්නයට මට අද උත්තර දෙන්න පුළුවන් . මොකද එදා ජීවිතය ගැන දැක්ක, ඔයාගෙ උණුසුම හෙව්ව අවුරුදු විසි දෙකේ කෙල්ල නෙමෙයි මං . ජීවිතේ කන්න පුළුවන් හැම කට්ටක්ම කාල, හුස්මකින් බර හෑල්ලු කරගත්තු ගැහැණියෙක් විදිහට මට ඔයාට උත්තර දෙන්න පුළුවන් .
“එදා මං ඔයාට අනුකම්පා කළා. ඔයා වගේ සද්දන්ත පිරිමියෙක් ආදරේ ඉස්සරහ අසරණ කරපු මගෙ හිතට , මගෙ හිනාවට… අද මං අනුකම්පා කරනව. මගෙ ජීවිතෙන් ආදරේ මගහැරෙන හැම වතාවකම මං මටම අනුකම්පා කරනව. ඔයා අද ලග හිටියනම් මං ඔයාගෙන් දෙයක් අහනව…. ඔයා මට අනුකම්පා කරනවද…. ???? ”

කප්පරක් දුක් තද කරන් ලය
හඩන හදවත් වලින් ඇසෙනා
හීන් කෙදිරිලි හඩට සමහර
රළුම රළු ගිණි කදුත් නිවුණා
ඇහිද එක එක හීන කෙලවර
කදුළු මල් කෙලවරට අමුණා
නුඹම වෙනුවෙන් පතපු පැතුමක
අදත් සෙනෙහස මදිව තිබුණා …..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *