Joker Review – (2019 Joker) ජෝර්කර් චිත්‍රපට විචාර විනිස – තාරකා වාසලමුදලිආරච්චි

මානසික අසනීපයකට ගොදුරු වූ කෙනෙකුට සමාජය තුලින් එල්ලවන පීඩාව කොතරම් ප්‍රබල ද? තම මනසේ ඇතිවන ව්‍යාකුලත්වය සමග සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඔවුන් කෙතරම් වෙහෙසක් ගන්නවාද?

මානසික අසමබරතාව, සමාජයෙන් එල්ලවන බලපෑම, හුදෙකලාව, තනිකම… මේ සියල්ල ඔහුගේ ජීවිතය මුළුමනින්ම වෙලාගන්නා ආකාරය චිත්‍රණය කෙරෙන හැටි හරිම තාත්විකයි.

තමාට වුවමනා ලෙස නොව සමාජයට වුවමනා ලෙස ජීවත්වීමට සිදුවීම කෙතරම් කටුකද? අභ්‍යන්තර මනස් රූප සමගත්, බාහිර මිනිස් ප්‍රතිචාර සමගත් කරන නොනවතින අරගලය තුළ හතිවැටෙන මිනිසෙකුගේ ඉරණම…

මානසික රෝගී තත්වයට තවදුරටත් ඖෂධ ලබාගත නොහැකි නම් කළයුත්තේ කුමක්ද? අවශ්‍ය වුවත් ශරීරයට අපහසුතා දෙන ඖෂධ නොගෙන සිටීමෙන් නිදහස ඔහු භුක්ති විඳින ආකාරය. තම මනස තුළ මවාගත් ලෝකය සමග නිදහසේ ගනුදෙනු කිරීමට ඔහු ළඟාකරගන්නා මනස් ලෝකය තුළ දිනන සටන…

සෙසු අයට සිනහ ගැන්වීමට කැමැත්තෙන් හිටි ඔහුට සමාජය සිනාසුණා. ඒ උපහාසයටත්, පිළිකුලින් යුතුව හැම කෙනෙකුම තමන්ව ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා යොදාගන්නා බවත් හැගීයාමෙන් ඔහු සමාජය ගැන කලකිරුණා. ක්‍රමයෙන් එය වෛරයකට හැරෙනවා.

Arthur Fleck නම් අහිංසක පුද්ගලයා Joker නමින් පෙනී සිටිමින් සිනාවට වඩා වෛරයට ළංවීමටත් ඔහු පෙළඹෙන්නේ සමාජය විසින් ඔහුව එතනට තල්ලු කළ නිසා.

තවත් අතකින් සමාජයෙන් බැටකන, සමාජයෙන් ගැරහුම් ලබන, තම ප්‍රර්ථනා ජයගන්නට නොලැබුණු ඔහු තමන්ගේ මනස් ලෝකය තුළ තම අරමුණු ජයගත්තෙකු වුණා.

ඔහුගේ මනස් ලෝකය තුළ ඔහු ජයගත්තා!Related image

ජෝකර් බවට පත්වීමෙන් පසුව ඔහු තුළින් ප්‍රකට වන කායික, මානසික සැහැල්ලු බව, පඩිපෙළ බැසගෙන එන අතර ඔහු නැටුමක යෙදෙන ආකාරයෙනුත්, බිම ඇති වතුර පාගමින් ප්‍රීතිවන ආකාරයෙනුත් ප්‍රකාශ වනවා.

නමුත් ඔහු කතාව පටන් ගන්නෙත්, අවසාන කරන්නෙත් මානසික රෝහලක බව පෙන්වන නිසා මේ කතාවේ ඇතැම් සිදුවීම් ඔහු සිතින් මැවූ මනෝලෝකයේ පමණක් සිදුවූ සිදුවීම් වෙන්නත් පුළුවන්.

DC චිත්‍රපට පසුගිය කාලය තුළ යම්කිසි පසුබෑමකට ලක්වුණා. තාක්ෂණය අනවශ්‍ය ලෙස යොදා ගැනීම නිසා රංගන ශිල්පියන්ට කළ යුතු දෙයක් නොවන තැනකට තල්ලු කරමින් CGI තාක්ෂණය ශිල්පීන් අභිබවා ගියා. Batman V. Superman Dawn of Justice, Justice League වැනි චිත්‍රපට මේවාට උදාහරණ.

Marvel චිත්‍රපට වුණත් ආදායම අතින් සාර්ථක වුණාට CGI සහ Action මුල් තැනට අරන් රංගනය කියන සාධකය ටිකක් අමතක කරළා තිබුණා.Related image

Joker චිත්‍රපටය superhero චිත්‍රපට ගොන්නට එකතු වුණ තවත් එක් චිත්‍රපටයක් නොවන බව කිව යුතුයි.

Joaquin Phoenix ගේ අතිවිශිෂ්ට රඟපෑම අමතක නොවන ලෙස ජෝකර් චරිතය අපේ සිත් තුළට ඇතුළු කිරීමට සමත් වුණා. අධ්‍යක්ෂවරයෙකුගේ පරිචය, සියුම් පරිකල්පනයට ගැඹුරු ජීවිත දෘෂ්ටිය, ජීවිත පරිඥානය සහ මේ සියල්ල මත නළුවෙකුගෙන් හෝ නිළියකගෙන් ලබා ගත හැකි උපරිමය උත්කර්ෂයට නංවන්නේ කෙසේද යන්නට හොඳම උදාහරණය Joker චිත්‍රපටයයි.

රංගනය යනු කෙතරම් ගැඹුරු මිනිස් හැඟුම් සියුම් ලෙස මතු කිරීමක්ද…. ශරීරයේ ඇති සැහැල්ලු බව, මුළු සිරුරෙන්ම අදාළ චරිත ස්වභාවය ගෙනහැර පෑම විශිෂ්ට රංගන ශිල්පියෙකුගේ ලක්ෂණයක්.
Joaquin Phoenix රඟන Joker චරිතය… සැබවින්ම එය රංගනයක් නොවේ. ඒ ඇත්ත ආතර් ෆ්ලෙක් / ජෝකර් අප ඉදිරියේ ජීවත් කරවීමක්.

ජෝකර් හුදු සිනමා පටයක් නොවේ.
අපගේ හදවත් සමග යා වෙන සේ ගෙතුණු අපූර්වතම සිනමා වියමනක්.

– තාරකා වාසලමුදලිආරච්චි –

Related image

Leave a Reply

Your email address will not be published. Required fields are marked *