නිශ්ක්‍රීය සුළු ජාතික යටත්වැසියා හා ජනාධිපතිවරණය – ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

යුද්ධයට සැබෑ නායකත්වය දුන්නේ කවුරුන් ද,යන පැනය යළිත් සමාජගත වී ඇති මොහොතක් පසු වෙමින් තිබේ.මහා සමාජය දෙකට බෙදී එහි නායකත්වය තම තමන්ගේ පිල්වලට බෙදා ගැනීමට පොර බදමින් සිටී.මෙය කෙතරම් නරුම,ම්ලේච්ඡ සංවාදයක් ද,යන්න පවා ඔවුන්ට අවබෝධයක් නැත.නොහොත් වගේ වගක් නැත.සමහර වම්මුන්,කලාකාරයන් පවා මීට දායක වී සිටින්නේ එය මේ මොහොතේ තමන් සහය දෙන කඳවුරට වාසි සහගත ලෙස කළමනාකරණය කර ගන්නේ කෙසේද,යන ඌනිතවාදී ප්‍රවේශයකිනි.

දැං අර මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නයේ ප්‍රධානතම ඇඟවීම වන අත් අඩංගුවට පත් වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයන්ට සිදු වූයේ කුමක්ද,ඔවුන් සිටින්නේ කොහේද,යන්න යටපත් වී ඇත. පොහොට්ටුවේ සාමාජිකයන් යුද්ධයෙහි නිලධාරි ධූරාවලිය පිළිබඳ දේශන පවත්වන අතර හංසයෝ ගෝඨාට එරෙහි මඩ වතුරේ දිය කෙළිති.ජවිපෙ යුද්ධය සඳහා මුල පිරීම සඳහා තමා විසින් සැපයූ දෘෂ්ටිවාදී සහය පිළිබඳ උදම් ඇනීම තව ම නවතනු ලැබ නැත.

මින් පැහැදිලි වන ප්‍රධානතම ඇඟවීමක් වන්නේ අන් කිසිවක් නොව ලංකාවේ ජනාධිපතිවරණයේ දී සුළු ජාතිකයා යනු චන්දය ලබා දීම සඳහා පමණක් අයිතිය ඇති නිශ්ක්‍රීය යටත්වැසියෙකු මිස සක්‍රීය පුරවැසියෙකු ලෙස මේ කිසිදු කණ්ඩායමක් නො තකන බව යි.වඩා බරපතළ අර්බුදය වන්නේ තමා එවැන්නෙකු බව සුළු ජාතිකයා අවබෝධ කර ගෙන නොතිබීම හා එය අවබෝධ කර දීමට අවශ්‍යතාවය ඇති දේශපාලන ව්‍යාපාර මෙහි නො තිබීම යි.

ලංකාවෙ සැබෑ වමක් පිළිබඳ සිහින දකින්නන් මේ කරුණ බරපතළ ලෙස සැලකිය යුතුය.එය කිසිසේත් ම ජනප්‍රියවාදී වමකින් බලාපොරොත්තු නොවිය හැක්කකි.මන්ද යත් මෙහි ජනප්‍රිය කළ හැක්කේ අධිපති සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී අදහස ම බව යළි යළිත් තහවුරු වී අවසන් බැවිනි.මේ මොහොතේ විප්ලවවාදී වන්නේ අප විසින් පෙර මතු කළ සැබෑ ගැටළුව සමාජගත කිරීම ය.එය ජනප්‍රිය කිරීම ය.

මේ මොහොතේ එය සිදු නො කර අධිපති දෘෂ්ටිවාදී සංවාදය අඛණ්ඩ පවත්වාගෙන යාම හෝ ඒ සඳහා අනුග්‍රහය සැපයීම අප විසින් පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර ම මේ සංවාදයට අභිමුඛ නො වී එය මඟහැර යාම ද ඊට වඩා වැඩි තක්කඩික්මක් බව පැවසිය යුතුව ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *