ලංකාවේ දේශපාලනය කියන්නෙ මොන්ටිසෝරියක් –  මීනු ගුණසිංහ 

ඇය තවමත් සරසවි ශිෂ්‍යාවක්.. කවිකාරියක්.. හැඩට දොඩන්නියක්.. බොහෝ තරුණියන් අතර නැති සමාජ දෘෂ්ටියක් සහිත සමාජ නියමුවරියක්.. ඇය .. මිනූ ගුණසිංහ.. ඇයගේ කාව්‍ය කෘතිය වන වෙල්කම් ටු බර්මියුඩා කෘතිය පිළිබද අදහස් දැක්වීමක් අරඹයා ලංකා ටර්ගට් අප ඇයව සම්බන්ධ කොට ගත්තත් පවතින දේශපාලන තත්වයන් සම්බන්ධයෙන් තාරුණ්‍යයේ අදහස් දැනගැනීම වස් අප ඇය වෙත පොත පසෙකින් තබා අදහස් විමසුවෙමු.. මේ ඇයගේ හඩයි…

සාහිත්‍ය මාසයත් ගෙවී ගියා, කවියට ආදරේ කරන චරිතයක් විදියට කොහොම ගෙවුනු මාසය දැනුනේ..?

සාහිත්‍ය මාසේ ළං වෙන මොහොතේ ඉඳල ම අලුත් පොත් එළිදැක්වීම් තිබුණා. පුලුවන් ඒවට සහභාගි වුණා. සාහිත්‍යය මාසය කියන්නෙ පොත පතට ආදරය කරන මිනිස්සුන්ට නත්තල් අවුරුදු වගේ කාලයක්. මේ අවුරුද්දේ සාහිත්‍යය මාසය මට සාර්ථකයි. සතුටුයි.

පොර කකා රැස් කකා මිනිස්සු පොත් ගන්නා විදියට ඇත්තටම මිනිස්සු කියවනවද ?

සමස්තයක් විදියට ගත්තම ඔව් කියල උත්තර දෙන්න බෑ. මොකද සමහර අය පොත් ගන්නෙ ඇත්තට ම කියවන්න තියෙන ආසාවට. අවුරුද්දක් තිස්සෙ සල්ලි එකතු කරල සාහිත්‍යය මාසයට ම පොත් ගන්න අය ඉන්නවා. සමහර අය book fair ගියා කියල පෙන්වන්න පොත් ගන්නවා. ලබන අවුරුද්ද වෙනකොටත් කලින් ගත්ත පොත් ටික එහෙම්මමයි. ඔතන පොත් show එකට ගන්න අය කියවන්නෙ හරි ම අඩුවෙන්. එහෙම බැලුවහම වර්ග දෙකෙන් ම සම ව ඉන්නවා මිනිස්සු.

මේ දවස්වල නම් සාහිත්‍යයට වඩා අහන්න ලැබෙන්නේ වේදිකාවල කතා.. දේශපාලනය කලා කාරියක් හා තරුණියක් ලෙස දකින්නේ කොහොමද?

දේශපාලනය කියන පොදු මාතෘකාව ගත්තම ලෝක මට්ටමින් බලනකොට ඒක ක්‍රමානුකූලව ගොඩනගන දෙයක්. නමුත් ලංකාවේ දේශපාලනය කියන්නෙ මොන්ටිසෝරියක්. අවුරුදු ගාණක් මේ රටේ මුට්ට කරහපු මිනිහා තාම කරන්නෙ ඒ රස්සාවමයි. දියුණුවක් වෙන්න අවශ්‍ය පසුබිම ඔවුන්ට දෙන්නෙ අහුලගන්න ක්‍රමේට. මිනිස්සුන්ව එකතු කරනවා වෙනුවට දේශපාලකයො කරන්නෙ මිනිස්සුව බෙදන එක. එතකොට මිනිස්සුන්ගෙ දැනුම දේශපාලනික අතින් මොට වෙන්න ගන්නවා. මොකද ඔලුවෙ තියෙන්නෙ ම අනෙකා පාගල දාන්න ඕනෙ කියන මතය. එහෙම එකක් ලංකාවේ දේශපාලනය.

ඔබ තවමත් සරසවි සිසුවියක්. මේ ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් ඔබ හිතනවාද අධ්‍යාපනය ලංකාවේ දියුණු තැනකට පමුණුවාවි කියා..?

අධ්‍යාපනය දියුණු කරන්න නම් ඊට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෙ. තාමත් පාසැල් තියෙනවා දරුවන්ට පුස්තකාලයක් නැති. දුෂ්කර පළාත්වල දක්ෂ දරුවො ඉන්නවා ක්‍රීඩාවලට දුවන්න සපත්තු දෙකක් ගන්න බැරි. පාසැල් මට්ටමින් හැදෙන්න ඕනෙ දේවල් ඉස්සරහට අවධානය දෙන්න ඕනෙ තැන්වල දෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ළමයින්ගේ කාලය නාස්ති කරන එක. සමහර කථිකාචාර්යවරු හරියට ඉගැන්වීම් කරන්නෙ නෑ. ප්‍රායෝගික දැනුම දෙන්නෙ නෑ හරියට. එක පැත්තකින් අනධ්‍යයන වැඩ වර්ජන. සරසවි ඇවිල්ලා අවුරුදු හතරක විශේෂවේදී උපාධියක් අරං මේ ඔක්කොම කාගෙන එළියට එනකොට වයස එක්ක තරුණ තරුණියො අනාතයි. ඒ වැඩපිළිවෙළ ක්‍රමවත් සහ කාර්‍යක්ෂම කරන්න ඕනෙ ඔය එන මොන රජ වුණත්. නැත්තං මේක ඉස්සරහට යන්න බෑ.

හැම මැතිවරණයකදීම පොරොන්දු පොදි බැදීම ඡන්ද ලබාගන්න හරි කදිම කැරට් අලයක්.. මෙය මෙවර වෙනස් වෙයිද ?

අපේ මිනිස්සුන්ට හැමදාම පාලකයො පෙන්නුවෙ කැරට් අල තමයි. හැමෝම ඒ බලාපොරොත්තුවලට අහුවෙලා ඡන්දෙ දෙනවා. මෙවර තරමක් තීරණාත්මක බවක් පේනවා.හැබැයි මිනිස්සු මෝඩ නෑ අද.බලය ලැබුණාම තමන්ට ඕන දේවල් කරන්නයි ප්‍රශ්න කරන්න ඉඩ නොදී අත්තනෝමතික වෙන්නයි පාලකයෙක් ජනතාව පත්කරන්න ඕන නෑනෙ. මෙවර වෙනසක් විය යුතුයි.. වෙනස් වෙයි කියල බලාපොරොත්තු වෙනවා.මේක තීරණාත්මකයි.

 රටක් ලෙස ඉදිරියට යන්න නම් වසරින් වසර හෝ පාලනයෙන් පාලනය දියුණු තැනකට පැමිණිය යුතුයි.. ඒත් මේ පරණ තැටිම නේද ?

සංස්කෘතික අතින් ලැගල ඉන්න සමාජයක පාලකයොත් ලැගලම තමයි ඉන්නෙ. එතකොට එකම තැටියට මිනිස්සු පදං වෙනවා. අඩු ම තරමෙ රටේ තියන සම්පත් ටිකවත් හරියට යොදාගන්න උනන්දුවක් ඔවුන්ට නෑ.

තරුණියක් ලෙස මේ රටේ කොහොමද ලැබී ඇති නිදහස?

වෙනත් රටවල් එක්ක බලද්දී අපිට ලොකු නිදහසක් නෑ. ගෑනුකම කියන එක අපේ රටේ හරි සංවේදී මාතෘකාවක්. ඒ වගේ ම ඒකෙන් පහර ගහන්නත් ආයුධයක්. ලෝකෙ වෙනස් වෙනකොට දියුණු වෙනකොට මිනිස්සු ගතිගුණ වලින් වෙනස් නොවෙන එක බරපතලයි. විදේශීය කාන්තාවක් අඳින ඇඳුම් ලංකාවෙ තරුණියක් ඇන්දා නම් ප්‍රශ්න ගොඩක්. නිදහස කියන්නේ ජීවත් වීමේ, භාෂණයෙ සහ කැමති නීත්‍යානුකූල රැකියාවක් කිරීමේ අයිතිය විතරක් නෙමෙයි. මිනිස්සුන්ට තියෙනවා එක එක ඇරියස්. ඒව කවර් කරන්නෙ කාගෙ හරි හෙලුවකින් හෝ කට කතාවකින්. එහෙම බලනකොට නිදහස කියන එක සීමා සහිතයි.

නායකයෙක් අවශ්‍ය වන්නේ රටේ මේ දිනවල පවතින මුඛ්‍ය අරමුණ සාත්සාත් කරගන්නද නැතිනම් ඔබ අපේක්ෂා කරන මීට වඩා වෙනස් මතයක් තියෙනවද,

නායකයෙක් කියන්නෙ හිට්ලර් කෙනෙක්වත් ගඩාෆි කෙනෙක්වත් නෙමෙයි. නායකයෙක් කියන්නෙ මිනිස්සු එක්ක ඉන්න රට ගැන හැඟීමක් තියන කෙනෙක්. ගොලුවෙක් නොවන ප්‍රශ්න කරන තැන්වල කෙලින් උත්තර දෙන කෙනෙක්. එහෙම කෙනෙක් මේ රටේ දැනට පවතින ප්‍රබල ප්‍රශ්නවලට ප්‍රායෝගික කටයුතු සම්පාදනය කළ යුතුයි.ඒ තුළින් වෙනසක් ඇති කළ යුතුයි.

ඔබ කලාකාරිනියක්.. මේ පවතින දේශපාලන සිස්ටම් එක ඇතුලේ ඇත්තටම ජනතාවාදී කලාවක් බිහි වේයැයි ඔබ විශ්වාස කරනවද

නෑ. මේ සිස්ට්ම් එකේ වෙන්නෙ සිස්ට්ම් එකට ඕනෙ දේ මිසක් ජනතාවාදී කලාවක් නෙමෙයි. අපි දැක්කා පහුගිය කාලෙ 2010 වගේ ඉඳලා මේ රටේ පෙන්නුවෙම රජ කතා වගේ සිනමා නිර්මාණ. මේ මෑතක ටිකක් ඒක වෙනස් වුණා. විකල්ප නිර්මාණ බිහි වෙන්න ගත්තා. හැබැයි වාරණත් ක්‍රියාත්මක වුණා. ශක්තිකලා, කැටිපෙආරච්චි අයියලාට අසාධාරණයක් වුණා. සමාජය වැළඳගත් ඇතැම් නිර්මාණ සිස්ට්ම් එක වැළඳගන්නෙ නෑ.

නිකමට කිව්වොත් ඡන්දය භාවිතා කළ යුත්තේ කවර පදනම් සලකාද ?

ඡන්දයක් දෙන්න නම් ඒ අපේක්ෂකයාගෙ පෙර කැරැට්ටුව හොඳ වෙන්න ඕනෙ. මොකද දැන් බබා වෙන ඕනෙ කෙනෙක් ඡන්දෙන් පස්සෙ ආපහු පරණ චරිතෙම තමයි. ඒ වගේම ජනහිතකාමි නායකයෙක් කියන පෞර්ෂය සලකන්න ඕනෙ. කරන්න පුලුවන් වැඩ ගැන කතා කරනවාද කියන එක බලන්න ඕනෙ.

 

සාකච්ඡා කළේ – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *