ජාතිවාදී ත්‍රස්ත බිල්ලන් මවා ඡන්දය ගොඩදාගැනීම – කඩ ඉම 03

ශ්‍රී ලංකාවේ දේශපාලනය දැන් කාලයක් තිස්සේ ඉතා නින්දිත තැනකට ඇද දමමින් තිබේ. ජනාධිපතිවරණය ආසන්නයේ ජාතිවාදි නඩය යොදා ගනිමින් පවතින හිරිකිත දේශපාලන උපක්‍රම .ගැන නැවත නැවත කතා කරන්නට සිදුව තිබෙන්නෙ මේවා අවසානයේදී මේ රටෙ පුරවැසියාගේ විනාශයටම හේතුවන බව පැහැදිලිවම පෙන්නෙට තිබෙන නිසාය.

දේශපාලන පක්ෂපාතිත්වය කවරක් උනත් මේ නින්දිත ජාතිවාදි උපක්‍රම සමස්ත පුරවැසියා විසින්ම ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. ඒසේ නොවුණහොත් මුලින්ම විනාශ වන්නේ තමන්ගේ ජීවිතය බව පුරවැසියන් කල්පනා කළ යුතුය.

ජාතික ආරක්ෂාව නමින් මහ විකෘති ජනක අදහසක් රාජපක්ෂ කඳවුර නියෝජනය කරන පිරිස පතුරුවා හරි මින් තිබේ. බොරු බොම්බ බිය පතුරුවා හරිමින් පාසල් වල දෙමාපිය ආරක්ෂක කමි‍ටු සැකසීමේ දේශපාලන උපක්‍රමයක් අද වන විට මේ ජාතිවාදී නඩය දියත් කර ඇත. මේ ජඩ ක්‍රියා මාර්ගය සමස්ත ජන සමාජයම බියපත් කරමින් තිබේ.

තවත් ජන කොටසක් තමන්ව බිලි ගැනිමට සූදානමකින් සිටිනවාය කියන බොරුව සමාජ ගත කරමින් ජාතිවාදී නඩයේ අපේක්ෂකාව ජයග්‍රහණය කරවිය හැකි බව මේ අය විශ්වාස කරයි. එය ජය ගත හැකි වූවත්, අවසානයේ රටට ඉතුරු කරන්නේ ජාතීන් අතර ආගමිකයන් අතර විරසකය, වෛරය, අවිශ්වාසය ගොඩ නගන අසරණ මනෝභාවයකි. එය මිනී මරා ගන්නා ගැටුමක් බවටත් පෙරෙලෙනු ඇත.

ජාතික ආරක්ෂාව කියන්නේ තමන්ට එරෙහිව තවත් සතුරකු නිර්මාණය කර ගැනීමක් නොවේ. සතුරන් වෙනුවට අපට අවශ්‍ය වන්නේ මිතුරකුගේ සහයෝගය සහ ආරක්ෂාවයි. ජාතික ආරක්ෂාව ගොඩනැගෙන්නේ එවිටය.

සතුරාටත් මෛත්‍රී කරන්න, සතුරාටත් ප්‍රේම කරන්න , අසල්වැසියාට හිංසා නොකරන්න යැයි කියන ආගමික ඉගැන්වීම් සහිත රටක අද සිදුවෙමින් පවතින්නේ එහි විරුද්ධ අන්තයයි.
තමන්ට එරෙහිව සතුරෙකු නිර්මාණය කර ගැනීමෙන් ලැබිය හැකි ආරක්ෂාව කුමක් දැයි තේරුම් ගැනීමට සමත් නොවන මෝඩයන්, ජාතිවාදී මර උගුල් වල වැටී තමන්වත් අනෙකාවත් විනාශ කරනවා මිස ලබන ජයග්‍රහණයක් ඇත්තේ නැත.

සිංහල දෙමළ මුස්ලිම් සියලු පුරවැසියන්ට , අනෙකා සතුරෙකු කර ගැනීමට, ජාතිවාදී දේශපාලන නඩ වලින් එල්ල වන බලපෑම, තවදුරටත් වැලැක්විය නොහැකි වුවහොත් සමස්ත පුරවැසියාටම නිමක් නැති සන්ත්‍රාස ජනක බිහිසුණු අත්දැකීම් පමණක් අනාගතය ලෙස ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *