පොතකින් දැනුණු කවියක් 14 – අශෝක කුලතුංග ලියයි

කෘතිය : ස්වප්නයක සමාප්තිය.
කතෘ : සංජීවනී අමුණුගම.
ප්‍රකාශනය : සන්තුෂ ප්‍රකාශන.

කටුමැටි, සියුමැලි.
කටුමැටි උනත්
මටත් තියෙනවා සියුමැලි හිතක්
විසි හතරෙම නැතත්
උන්නු ගමන් වදිනවා බර සුසුම් වැලක්.
බයත් හිතෙනවා
දමන විට ලිපේ දර ඉපල්
ඇවිලෙයිද ඇගේ කෝටු අත පයත්
නාහෙන් අඬනවා
අන්ඩ නැති කේතලේ අදත්.
රන් පාට කිය කියා, රවටනවා හැමදාම
අල්ලකට වැටුණු – සීනි ඇට දෙක තුනක්
කොච්චර පොර කෑවත් බිමට නොවැටී
කඳුළු බෝල හිරවෙන්නේ
පිල්ලමට උඩින්
අන්න එතකොටයි
දිගු, හුස්මක්, ඇවිත් නවතින්නෙ
හරියටම හිතේ හරි මැදින්.
මැටිත් දිය වෙන්න
මගෙත් හුස්ම හිර වෙන්න
කටුමැටි උනත්
මටත් තියෙනවා
සියුමැලි හිතක්

මුහුණු පොතේ කවිකාරියක ලෙස ජනාදරයට පත් සංජීවනී අමුණුගම කිවිඳියගේ කුළුදුල් කාව්‍ය සරණිය “ස්වප්නයක සමාප්තිය” හිසින් 2018 වර්ෂයේ එළිදැක්විණි. විවිධ අනුභූතීන් සම්මුඛ කරමින් කාව්‍ය නිර්මාණ හතළියක් මෙ පද්‍ය කෘතියේ සංගෘහිත ය. ප්‍රේමයේ විවිධාකාර ඉම්පෙත් ස්පර්ශ කිරීම බහුලව දක්නට ලැබීම මෙහිලා විශේෂිත ය. ස්ත්‍රී සිතක ගතික ස්වභාවය අරමුණු කරගනිමින් “කටුමැටි, සියුමැලි” නම් කාව්‍ය පෙළ නිර්මිත ය. ඒ සඳහා කිවිඳිය පාදක කරගන්නේ ස්ත්‍රියකගේ ජීවන වෘත්තාන්තයකි.

“කටුමැටි උනත්
මටත් තියෙනවා සියුමැලි හිතක්
විසි හතරෙම නැතත්
උන්නු ගමන් වදිනවා බර සුසුම් වැලක්”

‘කටු’ යනු කෙළවර තියුණු ලෙස උල් වූ ඇනුන විට තවකෙකු වේදනාවට පත් කරන දෙයකි. මැටි ද නිශ්චිත හැඩයක් නැති, තෙතබරිත විට ඇලෙන සුළු, හිරු එළියට කර්කටක ලෙස වියළෙන ද්‍රව්‍යයකි. එසේ නම් ‘කටුමැටි’ යනු දකින්නට වැඩි රුචියක් නොමැති ඇසුරු කිරීමේ දී වේදනාවක් ගෙන දෙන එකතුවකි. කිවිඳිය කථකාව රූපණය කරන්නේ ‘කටුමැටි’ ලෙසිනි. තත් කවියේ පාඨකයා අභිමුව නිරූපණය කරන ස්ත්‍රිය ද සුළු දෙයකට පවා කිපෙන තවත් අයෙකු ආශ්‍රය කීරීමට බියවන ස්ත්‍රී ලාලිත්වයෙන් ඌන වූ කාන්තාවකි. කථකාවගේ බාහිර ස්වරූපය හා චරිතය කෙතරම් නපුරු වූවත් ඈ සතුව සියුමැලි සිතක් පවතියි. ගැහැණුකමට ම ආවේනික වූ රිදෙන, බිඳෙන, හඬන සිතක් එක් මොහොතක හෝ ඇයගේ සිතෙහි ජනනය වේ. කිවිඳියගේ රූපකාර්ථවත් භාෂා භාවිතය ප්‍රශස්ත ය.

උක්ත කාන්තාව විවාහක හෝ අවිවාහක කාන්තාවක් බව නිර්මාණයේ දී කිවිඳිය ප්‍රත්‍යක්ෂ නොකර යි. එය පාඨක කියවීම මත තම තම නැණ පමණින් රසවිදීමට පූර්ණ නිදහස කිවිඳිය විසින් ලබා දී තිබේ. නමුදු කථකාව දැඩි සමාජ හා ආර්ථික දරිද්‍රතාවයකින් පෙළෙයි.

“බයත් හිතෙනවා
දමන විට ලිපේ දර ඉපල්
ඇවිලෙයිද ඇගේ කෝටු අත පයත්
නාහෙන් අඬනවා
අන්ඩ නැති කේතලේ අදත්.
රන් පාට කිය කියා, රවටනවා හැමදාම
අල්ලකට වැටුණු – සීනි ඇට දෙක තුනක්”

කථකාවියගේ බාහිර ස්වරූපය ඉතා ඛේදජනක ය. ඇගේ සිරුරේ හැඩය කිවිඳිය රූපණය කරන්නේ ‘කෝටු අත පයත්’ යන ඖචිත්‍ය පද බන්ධනයෙනි. ඇයගේ හදවතෙහි නැගෙන ශෝකාලාපය කිවිඳිය ධ්ව්නිත කරන්නේ කේතලය ‘නාහෙන් අඬනවා’ යන රූපකාර්ථවත් බස් වහරිනි. ‘ලිපේ දර ඉපල්’, ‘අන්ඩ නැති කේතලේ’, ‘සීනි ඇට දෙක තුනක්’ යන පද්‍ය යෙදුම් තුළින් කථකාවගේ ආර්ථික දරිද්‍රතාවය මනාවට උපස්තම්භක වේ. රත්රන් යනු වටිනාකමින් යුත් ලෝහයකි. නමුදු එහි වර්ණය පවා දැකීම ඇයගේ සිත් රැවටීමකි. එවන් වටිනාකම් ඔවුනට සිහිනයකි. ඉනුත් කිවිඳිය රූපණය කරන්නේ ඇයගේ දුගී බව යි. මේ නිසාම ඇය තම හදවතෙහි නැගෙන ශෝකය සඟවා ගැනීමට උත්සහ කළ ද එය අනපේක්ෂිත ලෙස කඩා වැටෙන්නේ පාඨක හදවත ද සංවේගයෙන් පුරවාලමිනි.

“අන්න එතකොටයි
දිගු, හුස්මක්, ඇවිත් නවතින්නෙ
හරියටම හිතේ හරි මැදින්.
මැටිත් දිය වෙන්න
මගෙත් හුස්ම හිර වෙන්න”

මැටි දියකරන්නට තරම් කථකාවගේ ශෝකයෙන් උපන් කඳුළැලි ප්‍රමාණය වැඩිනම් ඇයගේ හදෙහි තෙරපෙන ශෝකය කෙතරම් දැයි පාඨක ඔබට අවබෝධ කර ගත හැකි ය. ඇතැම් විටක අගහිගකම් වලින් අනූන නිසාම ඇයගේ බාහිර ස්වරූපයත්හැසිරීමත් අසුන්දර වී ඇතැයි පාඨකයාට පරිකල්පනය කළ හැකි ය. නමුදු ජීවිතයේ දුක් කරදර හමුවේ රළු වූ ගැහැනියක ළඟ වුව සියුම් සිතක් පවතියි. එය එක් මොහොතක අනපේක්ෂිත ලෙස කඩා බිඳ වැටෙයි. කිවිඳිය මේ නිර්මාණය කරන්නේ එවන් සමාජ ඛේදාන්තයකි.

ස්ත්‍රියක ගේ චිත්ත සංතානයේ ශෝකීබව නිරූපණය කිරීමේ දී කිවිඳිය යොදාගන්නා නිදහස් ආකෘතියත්, සරල චිත්ත රූපිත බස්වහරත්, අවස්ථානෝචිත රූපකාර්ථ හා කාව්‍යෝක්ති පද බන්ධනයත්, පාඨක හදවතෙහි කරුණා රසය ජනනය කිරීමත් සැළකීමේ දී ඉහත නිර්මාණය “ස්වප්නයක සමාප්තිය” කාව්‍ය කෘතියේ නිර්මිත සාර්ථක නිර්මාණයක් ලෙස සංනිදර්ශනය කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *