හැට පැන්නත් දහ අටේ ප්‍රේමවන්තයාගේ උපන් දිනයට මහා සෙනඟක් – Happy Birthday, Shah Rukh Khan!

මුම්බායි නගරයේ Mannat මන්දිර ගේට්ටුව ඉදිරිපිට අද වෙනදාට වඩා අතිරේක පොලිස් නිලධාරීන් යොදවා ආරක්ෂාව සළසනවා. දසදහස් ගණනින් ඒ වෙත ඇදී එන ජනයා ඉමහත් වෙහෙසක් දරා ඔවුන් විසින් පාලනය කෙරෙනවා. ඇදී එන ජනයා බෙර, ඩොලැක්කි වයමින්, නටමින්, ගයමින් ප්‍රීති ප්‍රමෝදයට පත්වෙනවා. සෑම වසරකම නොවැම්බර් දෙවෙනිදාව අපේ අසල්වැසි රටට සංස්කෘතික මංගල්‍යයක් හා සමානයි. හේතුව, ඉන්දීය ඉතිහාසයේ මෙතෙක් බිහි වුණු සුපිරිතම සිනමා තරුවගේ උපන්දිනය යෙදෙන්නේ එදිනට නිසයි. ඔහු බොලිවුඩයේ රජු, ශාරුක්.

“ආසියාතික නළුවෙක් වෙනවා නම් පෙනුම අනිවාර්යය සාධකයක්” කියන මතය තිබුණු වකවානුවක ශාරුක් වගේ basic මූණත්තහඩුවක් රඟපාන්න එන එකම අභියෝගයක්. උතුරු ඉන්දියාවේ පළමු superstar වුණු රාජෙෂ් ඛන්නා වගේ නළුවෙක් එක්ක රූපමය සැසඳීමක් කළොත් ශාරුක්ට හැරෙන්නවත් බෑ. ඒ තරමට ශාරුක්ගේ පෙනුම සාමාන්‍යයි. සිනමා කර්මාන්තයේ එවකට දැවැන්තයෙක් ඔහුට කියනවා පෙම්වතාගේ චරිතය සඳහා “Your face is not chocolatey enough”, ඒ නිසා දුෂ්‍ටයාගේ චරිත වලට උත්සාහ කරන්න කියලා. Baazigar, Darr තුළින් ශාරුක් කියන negative නළුවා එන්නේ එතනින්. සමහරවිට ඔහුටත් අම්රිෂ් පූරි වගේ කෝකටත් villain වෙන්න ඉඩහසර සැළසෙන්න ඇති. නමුත් ශාරුක්ගේ පිනකට යාෂ් චෝප්රා දැක්කා මේ කිසිම විශේෂ පෙනුමක් නැති, පමණට වඩා විශාල නහයක් තියෙන, විනාඩියකට වචන සිය ගාණක් තොරතෝංචියක් නැතුව කියවන, අමුතු හිනාවක් තියෙන තරුණයා තමයි බොලිවුඩයේ හැරවුම් ලක්ෂ්‍යය කියන කරුණ.

Leather jacket එකක්, තොප්පියක් පැළඳ කහ මල් මිටියාවතක් මැද මැන්ඩරින් ගහන, කඳුහෙල් හරහා තරණය කරන දුම්රියක වහළට නැඟ නටන මේ අමුතු තරුණයා හැඩ නැතත් වැඩ අතින් උඩ තැනක ඉන්නා බව පෙන්වන්න සමත් වුණා. බොලිවුඩයේ හදවත වුණු මුම්බායි වල පැලපදියම් වුණු හැඩ නළුවොන්ට වඩා පපුවට දැනෙන්න ලව් කරන හැටි පෙන්වන්න දිල්ලි කොල්ලෙක්ට පුළුවන් වුණා. අමිතාබ් භච්චන් කියන්නේ කවුද කියන දේ නොදන්න ලෝකයේ එහා කෙළවරේ මිනිස්සු, ටොම් කෲස්, විල් ස්මිත්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ ටත් වඩා ධනවත් වුණු ශාරුක් ගැන දැනුවත්.

තමන්ගේ ජීවිතේ තියෙන ලොකුම බය මොකද්ද කියලා එක් සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් ශාරුක්ගෙන් අහනවා. ඔහු පිළිතුරු දෙනවා, “I fear about what’s gonna happen when all this ends” කියලා. අවසන් වරට තිරගත වුණු ඔහුගේ චිත්‍රපට පහක්ම back to back අසාර්ථක වෙද්දී, තරු ගුණයෙන් නඩත්තු වන සිනමා කර්මාන්තයට තව දුරටත් බොලිවුඩයේ ඉඩහසර නෑ කියන කරුණ ඔහුට පැහැදිලි වෙනවා ඇති. කොහොම වෙතත්, ශාරුක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්. ඔහුට වඩා දක්ෂ අය ඕනෑ තරම් ඉන්න ඇති. නමුත් ඔහුගේ විශේෂත්වයක් තිබුණා. ඔහුට පුළුවන් වුණා ප්‍රේක්ෂකයා ඩැහැගන්න. ඇද බැඳ තබාගන්න. හදවතේ ලැගුම් ගන්න. තමන්ට අකමැති අයටත් අමතක කරන්න බැරි චරිතයක් බවට පත් වෙන්න.

ශාරුක් ඛාන් කියන්නේ වීරත්වයට එහා ගිය බලාපොරොත්තුවක්. ඔහු තමයි සමාජයේ සාමාන්‍ය පුද්ගලයාගේ බලාපොරොත්තුව. සිනමා කර්මාන්තයට කිසිම නෑදෑකමක් නැති කොල්ලෙක්ට පුළුවන් වුණා සියලු දැවැන්තයින්, පවුල් ජාල දෙවෙනි කොට සිනමාව තුළින්ම ලෝක ජනගහණයෙන් හරි අඩකටත් වඩා තමන්ගේ අණසකට නතු කරගන්න. බටහිර රටවල් ඔහුව හඳුන්වන්නේ ටොම් කෲස්ගේ පෙරදිග ආදේශකය කියලා. ජීවිතය ජයගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ උත්සාහයයි කැපවීමයි කියන දේව පණිවිඩය රැගෙන ආ මහ පොළවේ දූතයා තමයි ශාරුක්.

අද හවසටත් ශාරුක් තමන්ගේ මන්දිරයේ දැවැන්ත ප්‍රාකාරවලට ඉහළින් ඇති දැලට නැඟලා, රැස්ව සිටින රසික ප්‍රජාවට ආචාර කරනා අතරේම, තම දෑත් දෙපසට විහිදා ඔහුගේ අනන්‍ය ප්‍රේම මුද්‍රාව පෙන්වනවා ඇති.

“ජීවිතයේ හැම දෙයක්ම සාර්ථකව සිද්ධ වෙනවා, හරියට හින්දි චිත්‍රපටයක් වගේ. තවමත් ඔබට එවන් සාර්ථකත්වයක් නොලැබුණා නම්, බය වෙන්න එපා. ඔබේ චිත්‍රපටයේ හොඳම සෙල්ලම් ටික එන්නේ එළිවෙන ජාමෙට මිත්‍රයා.”

Happy Birthday, Shah Rukh Khan!

– ෂෙනාල් ගුණසේකර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *