සුරක්ෂිත ලොවක් තනන්නට නොහැකි වූ….. අපි හැමෝම අසමත්. මේනුකා දම්සරණී – 2019.11.04

ගසක උස අත්තකින් මලක් වැටෙන විට ඉන් පොළවට රිදුම් දෙන්නේ නැත. ඒත් සමහර මල් බිම වැටෙන්නේ ම පොළවට දරාගන්නට බැරි රිදුම් මෙන් ම සදාකාලික වේදනාවන් ඉතිරි කරමිනි. එහෙම මල්වලට මම කියන්නේ දරුවන් කියාය. මේ ගෙවෙන්නේ එහෙම මල් වැනි දරුවන් මහපොළව රිදවා අකලට නටු අගින් ගිළීහෙන කාලයකි.හොඳ ම දේ දරුවන්ට……ඒ අපේ ලෝකයේ දරුවන් වෙනුවෙන් අපි දුන් ඉහළ ම ගෞරවයයි. ඒත් එය හුදු වචන පේළියක් පමණක් බව අප විසින් ම ඔප්පුකර හමාරය.
ලෝකය මේ ගෙවෙන තප්පරයේ පවා අපි නොසිතන තරම් වේගයෙන් නවීන තාක්ෂණය සමගින් පෙරට ඇදෙමින් පවතී. එහෙත් ඒ තාක්ෂණය නිසාම මේ ලෝකය දරුවන්ට පමණක් නොව අපට ද වඩාත් අනාරක්ෂිත තැනක් බවට පත්වෙමින් තිබේ. එහි ආසන්නතම සිදුවීම ලොවක් කම්පා කරමින් ඉන්දියාව් තමිල්නාඩුවේදී අතහැර දැමූ නළ ළිඳක් තුළ දින හතරක් තිස්සේ සිරව සිට මිය ගිය සුජිත් විල්සන්ෙගේ කතාවයි. ඒත් මම මේ කතාව අරඹන්නේ ඔහුගෙන් නොවේ.
මම මේ කතාව ආරම්භ කරන්නේ ලෝක ප්‍රකට ඡායාරූප මාධ්‍යවේදියෙකු වූ පුලිට්සර් සම්මානලාබී කෙවින් කාර්ටර්ගේ විශිෂ්ඨ යැයි ලෝකය ම කියූ ඡායාරූපයෙනි.

මේ ලෝකයේ කිසිවෙකුටත් කිසිදා අමතක කළ නොහැකි දසුනකි. 1993 වසරේ සූඩානයේ පැවති සාගතයෙන් මෙවැනි ළමුන් දහස් ගණනක් මිය ගිය බව ලෝකයට රහසක් නොවේ. ඉන් දශක දෙකකට අධික කාලයක් ගතවීත් අදටත් ඇතැම් අප්‍රිකානු රටවල පමණක් නොවේ ආසියාවේ දියුණූ වෙමින් පවතින රටවල පවා දරුවන් කුසගින්නේ ම මිය යමින් සිටී. කොලොම්බියාව, යේමනය, ඉතියෝපියාව වැනි රටවල මහා කුණු කඳු අතර කන්න යමක් සොයා යන දරුවන් ලොව විවිධ පුවත් සේවා මගින් අදට ද අනාවරණය කරමින් සිටී. එසේ වන්නේ ලෝක ජනගහණයෙන් මිලියන 870 ක් පමණ දිනකට කුසගින්නේ පෙළෙද්දීය. අන්තර්ජාල තොරතුරු අනුව වසරකට මිනිස් පරිභෙෘ්ජනය සඳහා නිෂ්පාදනය කෙරෙන ආහාර ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් මිනිසා විසින් ම අපතේ හෙළන්නේ එලෙස මිලියන ගණනක් කුනු කඳු පුරා ඇවිද යමින් කන්නට යමක් සොයන ලෝකයකයි.
කෙසේ හෝ අපි දරුවන්ට හොඳ ම දේ දෙන්නේ එසේ ය.

මේ ගතවෙන මොහොතේ ද අප අසීමිත බල තණ්හාව හමුවේ දරුවන්ගේ ජීවිත බිල්ලට දෙමින් සිටිමු. මහපොළවට උසුළාගත නොහැකි තරම් බරට දරුවන් අකලට මහපොළව මත මිය යමින් සිටී. තවත් සිය දහස් ගණනක් යුද්ධයේ අඳුරු සෙවණැලි අතර සදාකාලික ව විඳවමින් සිටී. එහි ලෝකයේ ම හදවත් සසල කළ එක් ගොදුරක් වූයේ සිරියාවේ ඔම්රාන් ඩක්නීෂ්ය.

මේ ඡායාරුව තවමත් මගේ හදවතේ හොල්මන් කරන ඡායාරුවකි. මේ ඔම්රාන් ඩක්නීෂ්ට ලෝකය හොඳ ම දේ දුන් අයුරු ය. 2016 අගෝස්තු 16 වනදා සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයට එල්ල වූ රුසියානු ගුවන් හමුදා ප්‍රහාරයකින් ඔම්රාන්ගේ පවුලේ සියළුදෙනා තුවාල ලැබුවේ ඔවුන් මුදාගෙන මොහොතකින් ඔවුන් ජීවත් වූ නිවාස සංකීර්ණය මහපොළවට කඩාවැටෙද්දීය. මේ ප්‍රහාරයෙන් ඔහුගේ හිසටත් ශරීරයටත් තුවාල සිදුවිය. එහෙත් පුංචි සීරිමකින් පවා කඳුළු පෙරා හඩන දරුවන් මෙන් නොව ඔම්රාන් තමා අවට සිදුවන සියල්ල දෙස බලා සිටින්නේ ප්‍රහාරයෙන් ඇති වූ කම්පනයෙනි. මේ සිදුවීමෙන් දින තුනකට පසු බරපතල තුවාල ලබා සිටි ඔම්රාන්ගේ දස හැවිරිදි සහෝදරයා මිය ගියේය. මෙලෙස ඔම්රාන් ඩක්නීෂ්ට ලෝකයෙන් හො ම දේ හිමිවුණේ ඔහුට යන්තම් අවුරුදු 5 දීය.
සිරියානු යුද්ධයේ ම තවත් අඳුරු පැතිකඩක් ලෝකයට අනාවරණය කළ තවත් පුංචි මල් කැකුළක් සාගර වෙරළේ අවසන් හුස්ම හෙළා සිටි අයුරු ඔබට අමතක යැයි මම නොසිතමි. ඔහු නමින් අයිලාන් කුර්දිය. ඔහු සිරියානු යුද්ධයෙන් බේරීමට සිය පවුලේ සාමාජිකයින් සමග මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට සංක්‍රමණය වීමට ගත් උත්සහයකදී මුළු ලෝකයම කම්පාවට පත් කරමින් සිය ජීවිතයෙන් සමුගත් තවත් පුංචි මල් කැකුළකි.

2015 සැප්තැම්බර් දෙවනදා මධ්‍යධරණී මුහුදේ ගිළී ජීවිතක්ෂයට පත්වන විට ඔහුට යන්තම් වයස අවුරුදු තුනකි. යුද්ධය නිසා සරණාගතභාවයට පත් මෙවැනි දරුවන් තවත් සිය දහස් ගණනක් සරණාගත කඳුවුරුවල ඇතැම් විට දෙමාපියන්ගෙන් වෙන්ව බලලෝබී ලෝකයේ ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් වන්දි ගෙවමින් සිටී. තවත් දරුවන් මෙලෙස නීතිවිරෝධීව සාගරය හරහා ගමන් කිරීමේදී මිය යන බව ජගත් සංවිධාන වාර්තා පෙන්වා දෙයි. ලෝකය දරුවන්ට හොඳ ම දේ දෙන්නේ කෙසේ ද යන්න තවමත් මට සිතාගත නොහැකි ඒ නිසාය.
අප ජීවත් වන්නේ මිනිස් වාසයට සුදුසු වෙනත් ග්‍රහලෝක සොයා පෘථීවියේ සිට ආලෝක වර්ෂ සියදහස් ගණනක් දුර ග්‍රහලෝක වෙත අති දියුණු රොබෝ යානා යවන යුගයකය. එහෙත් ඒ තාක්ෂණය අපට අවැසි වූයේ ම මේ සක්වල මිනිස් වාසයට සුදුසු එකම ග්‍රහලෝකය යැයි අප තවමත් පාසැල් පෙළ පොත්වල ඉගෙන ගන්නා පෘථීවිය මේ මහපොළව අප විසින් ම අපේ ඒ අසංවේදී තාක්ෂණය විසින් ම මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයට පත්කර අවසන් නිසාය. මාරාන්තික ලෙඩ රෝග සුව කිරීමට හා පාලනයට අප තාක්ෂණය හූඳන්වා දුන්න ද අප විසින් නිර්මාණය කළ තාක්ෂණයෙන් වැඩි වශයෙන් ම සිදුවුණේ අපට ම හානියක් බව කීම වරදක් නොවේ යැයි මම සිතමි. යුද අවි කෙටි දුර හා දිගු දුර මිසයිල දිනපතා අත්හදා බලන දියුණු රටවල් ලෝකයේ දිළිඳු හා පොහොසත් ජන වර්ග අතර පරතරය දිනෙන් දින වර්ධනය කරමින් සිටී. ඇමරිකාවත් උතුරු කොරියාවත් මිසයිල යුද්ධයක ය. චීනයත් ඇමරිකාවත් වෙළඳ යුද්ධයක ය. ඒ සියල්ල වෙනුවෙන් ඇමරිකාවත් රුසියාවත් අතර ලෝප්‍රකට සීතල යුද්ධය තවම අවසන් නැත . ඉන්දියාවත් පාකිස්ථානයත් දේශ සීමා වෙනුවෙන් යුද වදින විට ISIS සටන්කාමීන් අන්තවාදය ලොව පුරා වපුරමින් මිනිස් ජීවිත නොමිනිස්කමට ගොදුරු කරගනිමින් සිටී.

මේ සියල්ල මැද සක්වල සිසාරා යන අති නවීන තාක්ෂණය මුළු ලෝකයේ ම දෝෂදර්ශනයට ලක්වූ සිදුවීම සිදුවූයේ දැනට දින කිහිපයකට ඉහතදීය. ඒ මේ සටහන ලියන්නට හේතු වූ අති සංවේදී සිදුවීමය.
යන්තම් අවුරුදු දෙකක් වූ පුංචි දරුවෙකු අතහැර දැමූ නළ ළිං කුහරයක් තුළ දින හතරක් සිරවී සිට යළිත් හිරු එළිය නොදැක ම අකාලයේ මිලිනව ගිය කතාවයි. ඉන්දියාවේ තමිල්නාඩුවේ දිළිඳු පවුලක උපන් සුජිත් විල්සන්ට හිරු එළිය නොදැකම අඳුරු සීතල මහපොළව යට ජීවිතය සමග සටන්කර කාටත් සමුනොදී නොකියාම යන්නට සිදුවුණේ ඉන්දියාව චන්ද්‍ර ඝවේෂණයේ යෝධ පියවරක් තබන්නට නවීන තාක්ෂණය සමග දිවා රෑ වෙහෙසෙන පසුබිමකයි. පුංචි සුජිත්ගේ නික්ම යාම ගැන මුළු ලෝකය ම අති දියුණූ තාක්ෂණයට දොස් නැගුවේ ඒ නිසාය.


මේ, වැඩිහිටියන් නිර්මාණය කළ අනාරක්ෂිත ලෝකය තුළ සිය ජීවිතවලින් වන්දි ගෙවූ දරුවන්ගේ කතා කිහිපයක් පමණි. මේ මොහොත වන විටත් දරුවන් මෙවැනි ඉරණම්වලට ගොදුරුව අපත් නොදැනීම සීතල මිහිමව තුරුලේ සැතපෙනවා ඇති.
තාක්ෂණය ලෝකයට අවැසිය. ලෝකයේ සිව් කොනම යාකර ලෝකයම විශ්ව ගම්මානයක් කරන්නේ ඒ තාක්ෂණයෙනි.
එහෙත් ඒ සියල්ල අතර තාක්ෂණය අසීමාන්තිකව සියල්ලට ගළපාගන්නට ගොස් අපට බොහෝ තැන් වැරදී ඇත. නවීන අවි ආයුධ මිසයිල නිපදවමින් අපි මුළු ලෝකයම එක යුද පිට්ටනියක් බවට පත්කර අවසන්ය. අප තැනූ අවිවලින් ම අප අපවම නසා ගනිමින් සිටිමු
යුද්ධය නිසා දිනකට ලොව පුරා මිය යන ළමුන් පිරිස සංඛ්‍යාලේඛනවලට ඇතුළත් වන්නේ නැත. ඒ නිසාම කුසගින්නෙන් මිය යන දරුවන්ගේ ජීවිත ගැන අපට එකක් නෑර වාර්තා වන්නේ ද නැත. යුද්ධය නිසා දරුවන්ට අනාගත ලෝකය දිනන්නට අවශ්‍ය අධ්‍යාපනය ඇතුළු අයිතිවාසිකම් අහිමි වී යන බව යුද්ධයට ආයෝජනය කරන මහ රටවල් නොදන්නවා ද නොවේ. එහෙත් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් එය කළ යුතුව තිබේ.
මේ සියළු පීඩන බිඳගෙන මහපොළව මත සිය උරුමය රකින්නට ඒ සෑම අරගලයකින් ම මලාලලා උපදින්නේ නැත. එලෙස උපදින මලාලලා නිහඩ කරන්නට ද තාක්ෂණයට වැඩි වේලා යන්නේ නැත.

ලෝකය යුද පිටියක් කළ ඒ තාක්ෂණයම නිසා ස්වභාවික පරිසරය අබිබවා යමින් එම වනසමින් මිහිමත මිනිස් වාසයට නුසුදුසු තැනක් බවට අප විසින් ම පත්කරමින් සිටිමු. ධ්‍රැව ප්‍රදේශවල හිම කඳු දියවෙමින් ලොව ඉපැරණි ග්ලැසියර මහ මුහුදට දියව යද්දී ලොව කුඩා දූපත් සාගරයට යටවීමේ අවදානමකට මුහුණපා ඇත්තේ අප විසින් ම කළ කී දෑ නිසාය.
ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ යමින් පවතින්නේ දේශගුණ විපර්යාස බොහොමයකට මග පාදමිනි. ඊට එරෙහිව සටන් කරන්නට ජර්මනියේ ග්‍රේටා තුන්බර්ග් වැනි දියණියන් අරගල කළත් ඔවුන්ගේ හඩ යටපත් කරන්නේ ද වැඩිහිටි ලෝකයේ විනාසකාරී තාක්ෂණයම ය. එහෙත් ඔවුන්ගේ අරගලය කෙදින හෝ ජයග්‍රහණය කරනු ඇත. ඒ වැඩිහිටින්ගේ ආත්මාර්ථකාමී හිත්වලට වඩා ඔවුන්ගේ සිත් පිරිසිදු බැවිනි.
ලෝකයම මෙලෙස වනසමින් යන මිනිසාට දැන් ජීවත් වන්නට සුදුසු ග්‍රහලෝක සොයා සක්කවල පීරන්නට සිදුව තිබේ. මිනිස් වාසයට සුදුසු එකම ග්‍රහලොව යැයි කියූ පෘථීවිය වනසා දමමින් දැන් ඔක්සිජන් සහ ජලය සහිත ග්‍රහලෝක සොයා යන්නට අති නවීන තාක්ෂණය මෙහෙයවන්නට ඔවුන්ට සිදුව ඇත.
එහෙත් ලෝකයක් ලෙස අපට සියල්ල අප වෙනුවෙන් ම වෙනස් කළ නොහැකි ද? ඒ සඳහා අවැසි වන්නේ එක් සිතුවිල්ලක් සහ ඒ සිතුවිල්ල එක්ව ක්‍රියාත්මක කරන්නට ඒකායන උත්සාහයක් පමණි.
අප විසින් ලෝකයට සිදුකළ හානිය අපට කිසිදා යතා තත්ත්වයට පත් කළ නොහැක. එහෙත් අවිනිශ්චිත තාක්ෂණයක් මත විශ්වාසය තබමින් අපට ජීවත් වන්නට සුදුසු වෙනත් පොළවක් සොයා යනවාට වඩා අපට උරුම මේ මහපොළව අප වෙනුවෙනුත් අපේ මතු පරපුර වෙනුවෙනුත් වඩාත් හිතකර සහ යහපත් ආදරණීය තැනක් කරන්නට අපට හැකිය. අප සිදු කළ යුත්තේ ද එයයි. ලොව හැම බිම් අගලකම ප්‍රේමය අස්වැද්දිය හැකිනම් සිරියාවේ අයිලාන් කුර්දිලා මහ සාගරය මැද සරණාගතයින් ලෙස මිය යන්නේ නැත. සිරියාවේ ම ඔම්රාන් ඩක්නීෂ්ලාට අහිමි වන්නටවත් දෙයක් අහිමි වන්නේ ද නැත.
සාගතයෙන් හුස්ම අදින දරුවන් ගිජු ළිහිණියන්ට ගොදුරු වන්නේ ද නැත. එපමණක් නොව මේ මහපොළව සුරක්ෂිත තැනක් කරන්නට අප අසමත් නොවූයේ නම් සුජිත් විල්සන්ගේ කිරි සිනා හඩ තවමත් තමිල්නාඩු සුළගේ පිළිරැව් දෙනු ඇත.
සුරක්ෂිත තැනක් සොයා යනු වෙනුවට උරුම තැන සුරක්ෂිත තැනක් කරන්නට නොහැකි වන තාක් සක්වල සිසාරා යන අපේ තාක්ෂණයත් අපත් අසමතුන් පමණය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *