Head Light -“එන්න අපි හෙඩ් ලයිට් ගහන් ම ගොඩක් දුර යං” – 03 – අරුණ මධුශාන්.

මිනිස්සු ආස කොටුවෙන්න. මට හිතෙන්නෙ ඒක ම යි, මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා බලන ෆිල්ම් එකක තියෙන කඳුවල ලස්සන, ගොඩාක් දකින්නේ. වර්ණනා කරන්නෙ. ඇත්ත කන්දක තියෙන නිදහස, ඒ අවකාශය විදින්න කැමති නැති තරම් ම මිනිස්සු අවුල් සහගතයි. මොකද හැමෝම බයයි සැහැල්ලු වෙන්න. සැහැල්ලු වෙලා ප්‍රශ්න නැති වුනොත් ඒකත් අවුලක් වෙයි කියල සමහරවිට මිනිස්සුන්ට බයක් ඇති.ඒත් මට නම් සැහැල්ලුවක් වුවමනා ම වෙලා තිබුණ. සැහැල්ලු වෙන්න මං කරේ ඇවිදපු එක.

දවසක් ආරංචියක් ආවා කෙටි කවි පද හරඹ කර කරා හිටපු බේබදු කුමාර පොතක් ගහලා කියලා. අලුතින් ගත්ත පරණ බයිසිකලේට ෆුල් ටෑන්ක් පැට්‍රලුත් ගහන් මං ගමන යන්න පිටත් වුණා. වැඩේ තියෙන්න නියමිත වෙලා තිබ්බෙ මහනුවර වැවරවුමෙ තැනක. ඒත් මං නම් නැවතුනේ තෙල්දෙණියෙ උඩිස්පත්තුවේ අනුර මාමලාගෙ ගෙදර. ඒ වැඩේට කලින් දවසෙ උදේ ම මං ගෙදරින් පිටත් වුණ හන්දා.

“කඳු පාමුල සිට
දැහැනට සමවැද
මා ගයනා ගී
ඔබට ඇසෙනවද
කඳුමුදුනේ සිට
දිවැස් හෙළනු මැන
ආලවඩන සඳ
කිඳුරු ලියේ…….”

ආත්මා ලියනගෙ ගෙ හඬ මුසු වෙච්ච ඔය සින්දුව මට හොඳට ම දැනෙන්නෙ අනුර මාමලගෙ ගෙදරට ගිහින් අහද්දි. එච්චර කන්දක් පාමුල තමා අනුර මාමලගෙ ගෙදර තිබ්බෙ. ඉඩම ඉවරවෙන තැන තියෙන ඇල ගලාගෙන යන සද්දෙ, පැත්තෙ ම තිබ්බ සෞන්දර්ය වැඩි කෙරුව තවත්.

මං ආවා කියන්නෙ ඉතින් ලොකු මල්ලිට වෙන මොකුත් ඕන් නෑ. මටත් ඉතින් වෙන ගෙදරකට ගියා වගේ දෙයක් එහෙදි දැණෙන්නෙ නෑ. උඩිස්පත්තුවෙත් තියෙනවා මට ගෙයක්. ඉතින් බෙබාගෙ වැඩේට යන්න තිබ්බෙ පහුවෙනිදා හින්දා ලොකු මල්ලීයී, මායි හවස්වරුවෙ බයික් එකට ගොඩවුණා. රවුමක් ගහන්ඩ කියල උඩිස්පත්තුවෙන් පහලට තිබුණ පාරේ අපි දෙන්නා කඳු අස්සෙන් ඉස්සරහට ඇඳුනා.

“ලොකු මල්ලී, පාර දන්නවද?”

“නෑ!… අවුලක් නෑ යමු.!”

“යකෝ මාර කතාවක් නෙ?..”

“හරි හරි ඔයා යං.. මේ පාරෙ ම ආපහු එමු”

ලොකු මල්ලි අමුතු මීටරයක්. අනුර මාමට හිටියෙ කොල්ලො දෙන්නයි කෙල්ලයි. කෙල්ල තමා අක්කා. පොඩි මල්ලි කලාවට ලැදී. මිනිහ පොඩි ම කාලෙත් තාලෙකට තබ්ලාවක් ගහන්න පුළුවන් වුණ දක්සයෙක්. කෙල්ලට අපි කිව්වෙ මධුරි කියල. ආදරේට මධුරි කිව්වට එයාගෙ නම වෙන එකක්. එයා මධුරි වුණේ හරි අපූරූ සිද්ධියකින්. ඔය ළමයා පොඩි කාලෙ එක දවසක් මේකප් එකකුත් දාං මායි අපේ අම්මයි තාත්තයි ගාවට ඇවිත් “මං මධුරි ඩික්සිත් වගේ නේ ද අනේ” කියල ඇහුවා. එයා ඇත්තට ම මධුරි ඩික්සිත් වගේ නිසා එදා ඉදන් එයාට නම රෙජිස්ටර් වුණා. මේ දෙන්නට ම වඩා වෙනස්කම් ගොඩක් ලොකු මල්ලිට තිබ්බා. චරිතයෙන්, කතාවෙන්, ක්‍රියාවෙන් එයා හරි ශාන්තයි, සැහැල්ලුයි. වැඩේ කියන්නෙ මිනිහත් මාර ආසයි ඇවිදින්න. ඉතින් එහෙ ගියා ද අපි දෙන්න අතුරුදං වෙනවා ගෙදරින්.

ඔන්න ඉතින් පහළට දාපු පාරේ අපි යනවා. මාර්ග සංවර්ධනය ඒ පැත්තෙත් හොඳට ක්‍රියාත්මක වෙලා තිබුණ. විහිලුවට නෙවේ! ඇත්තට ම. මොකද ඒ පාර පටන් ගන්න තැන ඇරුණ ම අනිත් ඔක්කොම කාපට්. ඔහොම රෝද දෙක ඉස්සරහට කැරකෙද්දි අපි දෙන්න එක තැනක නතර වුණා.

“හෙල්මලු” කියන්නෙ කඳුකර පැතිවල වී වගාව සිදුකරන්න ලියදි සකස් කරන ප්‍රධනතම ක්‍රමයකට. පෝලිමට වක ගැහිල මඩට නැමීගත්ත පිරිස් පැළ ඉන්දනවා.

“ලොකු මල්ලි, හැරෙමු නේද?”

“නෑ අයියේ, යං දිගට ම! පාර ඉවර වෙනකම් ම යං”

පාරක් පටන්ගන්න තැන ඉදන් අවසාන තැනට යනකම් යන්න ගොඩක් මිනිස්සුන්ට බෑ. පාරෙ මුලින් ම පටන් ගන්න සමහර මිනිස්සු මැද දි හැරෙනවා, සමහර අය පාරට එකතු වෙන්නෙ මැදින්. මැදින් පටන් අරන් අවසානයට ම නොයා ආයෙත් හැරෙන අයත් ඉන්නවා. ඔය හැමෝම අතරෙ ලොකු මල්ලිට ඕනෙ වුණේ පටන් ගත්ත තැන ඉඳන් අවසානෙට යනකම් ම යන්න. අනුර මාමටත් නැති ගතියක් ලොකු මල්ලිට ආවෙ කොහෙන්ද කියල මං කල්පනාවකට වැටුණා. මං කියන්නෙ මිනිස්සුන්ට පටන් ගත්ත පාරවල් ඉවර කරන්න පුළුවන් වුණා නම් අද මිනිස් ශිෂ්ඨාචාරයේ අපි ඉන්න තැන හිතාගන්නත් බැරි වෙනවා. පටන් ගත්ත පාරෙ කල්ප ගානක් ගිහින් බුදු හාමුදුරුවො බුදු වුණා. ඒත් අපි එක එක පාරවල්වල හැරි හැරී මඟ රස්තියාදු වෙනවා. ඉතින් අපි පාරෙ පහලට ම ගියා. පාරෙ අවසානය වැටිල තිබ්බෙ මැදමහනුවර හන්දියට. හැබැයි එතනිනුත් තව පාරක මැදක් තිබුණා.

හංදියෙන් ආපහු හරව ගත්ත අපි දෙන්න ආයෙත් පාරෙ මුලට ආව. ඒ එන අතරෙ අපි පහුකරන් ගිය හැමදේම අපිට ආයෙත් හම්බවුණා. සමහර තැන් වෙනස් වෙලා. ඒත් යද්දි බයික් එක වැටුණ එක වලකවත් එද්දි අපි වැටුණෙ නෑ. පාරෙ කෙළවරට ම යන සමහර මිනිස්සුන්ට පාරෙ මුල අමතක වුණාට ලොකු මල්ලිට නම් ගෙදරට එන්න හරියට ම පාර මතක තිබ්බා. සමහර විට දවසක අනුර මාමට ගෙදරට එන පාරත් ලොකු මල්ලි කියයි. මොකද අනුර මාමටත් සෑහෙන්න පාරවල් වරදිනවා. කොළඹ රටේ කරක්ගහද්දි එහෙම තමා.

අපිට යන්න පාරවල් ගොඩාක් තියෙනවා. හැබැයි අපි යන්නෙ එක පාරක. එහෙම නෙවේ ඒ හැමපාරකම යන්න අපේ හිතට හයියක් තියෙන්න ඕනේ. බෙබාගෙ පොතට එන්න බයික් එකට නගිද්දි මට යන්න පාරක් තිබ්බෙ නෑ. ඒත් මට යන්න තැනක් තියෙනවා වගේ හීනයක් හෙඩ්ලයිට් එක දිගේ මට පෙනුනා.

මං බෙබාගෙ පොතට එද්දි, එළිදැක්වීම ඉවරයි. නුවර වැවරවුම දිගේ කට්ටියක් සල්ලාප ගමනක. මං මගෙ බයික් එක නවත්තලා “එහෙට ගොඩවෙලා ම එන්නම්!”, කියල බෙබාව හොයන් ගිහින් පොතකුත් අරං ආයෙත් වැව රවුමට ම රෝද කැරකුවෙ මං එනකම් රුවින් සර් බලං හිටපු නිසා. රුවින් සර් එන්ඩ ටිකක් පරක්කු වුණ හංද මං වැවරවුමෙ ඉඳගෙන පොතේ පිටු අතරට වුණා. පිටිපස්සෙ බෞද්ධයන්ගෙ මුදුන්මල්කඩ තියෙද්දි කවියක් අහුවුණා මට මෙහ ම. කවියෙ නම “නිවන හරි දුර ඇති”. බෙබාගෙ පොතේ මං හෙව්වෙ කෙටි කවි වුණාට බෙබා පොත පුරවල තිබ්බෙ දිග කවි ගොන්නකින්. “ඔය රෙද්දෙන් බැස පළයන් මොනාලිසා” එළි දැක්වීමට මං ගියෙත් මට අලුත්, මගෙ පරණ වෙච්ච බයිසිකලයෙන්. කවිය මෙහෙමයි.

ගිණිගත්ත පහන්තිර
පිච්චුණ හඳුන්කූරු
රත්වුණ පොල්තෙල්
බුදුන් දැක
නිවන් දකින්නැති

පිච්චුණා මදිවට,
කුණුකූඩෙන්
පන්සල් වත්තට පියෑඹුව
භාගෙට මියැදෙච්ච ගිනිකූරු,
තාම පෙරුම් පුරනවා ඇති

උන් දිහෑ බලාගෙන
තෙමිච්ච ගිනිපෙට්ටි
මහා හයියෙන්
සාදු කියනවා ඇති.

ඇත්තට ම පුද දෙන්න ඕනෙ ම ද නිවන් යන්න. වැවේ වතුර කළුපාට වෙද්දි මං පොත වැහුවා. සමහර අය පටන්ගත්ත ගමනක් නුවරින් ඉවර කරලා මාළුන්ට පොරි දානවා. වැටෙන පොරි කන්න, මාළු පොරකනවා. හිරවීගෙන ගේට්ටුවෙන් ඇතුළට යන්න මිනිස්සුත් මහ පොරයක. ශාන්තව ඉන්නෙ හේමමාලයි දන්ත කුමාරයයි ,මද්දුම බන්ඩාරයි විතරයි. මිනිස්සුන්ට ජීවිතේ නැතිවෙනවා කියනවට වඩා මිනිස්සුන්ට නැතිවෙන හැමදේකින් ම ජීවිතේ ලැබෙනවා කියල පොරි කන මාලුත්, පොරකන මිනිස්සුත් දැක්කම මට හිතුනා. ඒත් මට ගමනක් තිබ්බා යන්න. ඒ හෙඩ් ලයිට් වදින්නෙ දුරට හින්දා.

මට බයික් එක නොතිබුණානම් කවදාවත් මෙහෙම ගමනක් එන්න වෙන්නෙ නෑ නේද කියල මට හිතුන. සමහර විට මේ බයික් ගමන තව ගොඩාක් දුරට ඇදෙයි. මොකද ජීවත් වෙනවා කියන්නෙ ම රෝද කැරෙනවා කියන එකනෙ.

අරුණ මධුශාන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *