ඇයි රෝහණ විජේවීරට සුනිල් සාන්ත හමුවුනේ නැත්තෙ?

සුනිල් සාන්ත, රෝහණ විජේවීර හා අජිත් කුමාරසිරි

[104 වන සුනිල් සාන්ත සැමරුම ඇසුරෙන්]

ඊයේ (07) හැන්දැවේ පදනම් ආයතන ශාලාවේ පවත්වපු සුනිල් සාන්ත සැමරුම පෙර නොවූ විරූ එකක් කලේ අනාගතවාදී සංගීතඥ අජිත් කුමාරසිරි. බමුණු ඉංදියානු සංස්කෘතික ව්‍යාප්තවාදය හෙවත් උතුරු ඉංදියානු සංස්කෘතික යටත් විජිතවාදය කලා ඉතිහාසයෙන් හා දේශපාලන ඉතිහාසයෙන් මතු කර දීමට අජිත් අතිසාර්ථක වෑයමක යෙදුන. ඒ වෑයමට සවන්දුන් කෙනෙකුට කියවන කෙනෙකුට ලංකාවේ නිල කලා ඉතිහාසය වගේම නිල දේශපාලන ඉතිහාසයත් යලියලිත් කියවා බැලීමට බල කෙරෙනව. මෙයින් මතුවූ මම කැමතිම අඩහස මුලින්ම ක්තා කල යුතුයි.
ඇයි රෝහණ විජේවීරට සුනිල් සාන්ත හමුවුනේ නැත්තෙ?

ඇජිත් ඊයේ මතු කරපු මේ ප්‍රශ්ණය පහුගිය සියවසේ ලංකාවේ බලවත්ම සංස්කෘතික දේශපාලන ගැටළුව කියලයි මම විශ්වාස කරන්නේ. බ්‍රිතානි යටත් විජිතවාදය බෙදා තනා දුන් හින්දු බමුණු ඉංදියාව උපදින්නත් කලින් නේරු-ගාන්ධි- තාගොර් වැන්නන් දකුණු ආසියාව බමුණු ඉංදියානුකරණය ගැන වැඩ පටන් ගන්නේ. නමුත් ලංකාවෙදි මේ සංස්කෘතික ව්‍යාප්තවාදය හඳුනා ගන්නෙත් ලාංකික සංස්කෘතික නිදහස් සටන පටන් ගන්නෙත් සුනිල් ශාන්ත. එයා තමන්ගෙ කලාවෙන් පටන් ගත් සටන ඉහලට ඔසවා තබන්නෙ 1952 දී රතන ජංකර් පරීක්ෂනය වර්ජනය කරමින්. නමුත් ඉංදියානු [උතුරු] දේශපාලන ව්‍යාප්තවාදය මුලින්ම හඳුන ගන්නේ අජිත් කියපු විදිහට විජේවීර නෙවෙයි, එන්. ෂන්මුගදාසන් හෙවත් ලංකා කොමියුනිස්ට් පක්ශයේ නායකය. 1962 දි විත මොස්කව් – බීජීං මතභේදය උඩ එස්. ඒ. වික්‍රමසිංහ නායකත්වය දුන් ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ශයෙන් වෙන් වී එන විටත් ෂන් ලඟ ‘ඉංදීය ව්‍යාප්තවාදයේ’ අදහස තිබුන. සමහරවිට ඔහුට මේ අදහස එන්න ඇත්තේ මාඕ වාදය හරහා වෙන්න පුළුවනි. නමුත් ෂන්මුගදාසන් කුලවාදයේ පරම හතුරෙක් වගේම යාපනයේ හින්දු වෙල්ලාල දෙමළ වීම හරහා මේ එලඹුමට බොහෝ අර්ථ එකතු කර ගන්න කෙනෙකුට ඉඩක් ලැබෙනව. 1964 මොස්කව්වලින් නෙරපපු විජෙවීර ලංකාවට ඇවිත් මුලින්ම දේශපාලනය පටන් ගන්න්නේ ෂමුගදාසන්ගේ කොමියුනිස්ට් පක්ෂයෙන්. දැන් විජේවීරට ඉංදියානු ව්‍යාප්තවාදය දැනෙන විදිහ අඳුර ගන්න පුළුවන්.

1970 වෙන කොට ෂන් දේශපාලන තරු අතරින් බැහැල යනව. විජේවීර දේශපාලන තරුවක් හැටියට නැඟෙනව. 1971 වෙද්දී ජවිපෙ පංති පහෙන් දෙවැනි පංතිය ඉන්දි‍යානු ව්‍යාප්තවාදය බවට පත් වෙනව. 1989 නොවැම්බර් 13 වෙනිද, හරියටම මීට අවුරුදු 30 කට කලින් මරාදමන තෙක්ම රෝහන විජේවීරට සුනිල සාන්ත එනම් එකම ගමනාත්තයකට වෙනත් පාරකින් ගමන් ගනිමින් සිටි සුනිල් සාන්ත හමුවෙන්නෙත් නෑ. අඳුර ගන්න ලැබෙන්නෙත් නෑ. 1987 ඉංදීය හමුදා ලක්ශ දෙකක් ලංකාවට කඩා වදින්න අවුරුදු 5 කට කලින් සුනිල් සාන්ත මේ කිසිවක් නොදැන මියයනව.

විජේවීර ඉංදීය හමුදා කැඳවූ රාජ්‍යය හා එහි ආරක්ශකයන් අතින් මිය යනව. පහුගිය සියවසේ අවසානේ ලංකාවේ සංස්කෘතික නිදහස හා දේශපාලන නිදහස් වෙනුවෙන් කැපවූ පුරෝගාමීන් දෙදෙනෙකුගේ එකිනෙකා නොහැඳින අපෙන් සමුගන්නෙ ඒ ආකාරයටයි.

විජේවීරට සුනිල් සාන්ත හමුනොවීම සුනිලගෙ ප්‍රශ්නයක් නෙවෙයි දේශපාලන සංස්කෘතියෙ ප්‍රශ්නයක්. නමුත් ෂන්මුගදාසන්ට කේමදාස හමුවෙනව. ෂන්ගෙ දුවගෙ මංගල්ලය ගෝල් ෆේස් හොටලයෙ පැවතුන දවසෙ තමන්ට මුලින්ම ඔපෙරාවක් කරන්න කියල ඇරයුම් කරා කියල කේමදාස ජීවිත කතාවෙ කියනව. ෂන් කේමදාසට මුල්ම ඔපෙරාව කරන්න ඇරයුම් කරල රස විඳීමක් කලාට, විජේවීර සුනිල් සාන්තගෙ ගී ඇසු විඳූ වගක් අපිට අහන්න ලැබෙන්නෙ නෑ. මෙතනෙ තියෙන්නෙ විජේවීරගේ හා ෂන්මුගදාසන්ගේ පංති ප්‍රශ්නයක්. ගන්දර කොට්ටේගොට ඉපදුනු විජේවීර හා යාපනයේ ඉපදුනු ෂන්මුගදසන් අතෙරේ අහස පොලොව තරමේ සංස්කෘතික දුරක් තියෙනව. මේ දුර ඉතාම අවාසනාවන්ත විදිහට සංස්කෘතික් අරගලය හා දේශපාලන අරගලය ධ්‍රව දෙකකට තල්ලු කරනව. ඉතිහාසයෙ වැලලී යනව. වාසනාවට අජිත් කුමාරසිරි මේ දෙන්න මේ සියවසේ මුල් කාර්තුවෙදීම අපට මුන ගස්සනව.

අජිත් දේශනය පුරා පුනපුනා කී ආකාරයට ‘සුනිල් සාන්තගෙ අභිමානය’ ඔහුට ආර්ථික බලය දේශපාලන බලය නැතිව සංගීතමය පැවැත්මට පරමාදර්ෂ වෙනව. මම හිතන්නේ සුනිල් සාන්ත වගේම රෝහන විජේවීරත් පරම්පරා ගනනාවකට අභිමානයෙන් සිටින්නට පරමාදර්ෂ වුනා,ඉදිරියටත් එහෙම වේවි.
අජිත්ගේ කතාවෙ අනික් වැදගත් කාරනාව බලාධිකාරයට සතුරු වී පැවැත්ම තනා ගැනිම. ඔහු කිව ‘ රජ්ජුරුවන්ට ඕන දේ වාදනය කලේ නැත්නම් බෙල්ල කැපුව, පෝප් කැමති දේ වාදනය කලේ නැත්නම් නියපොතු ගැලෙව්ව, යූඑන්පී /ශ්‍රිලංකා වට ඕන දේ ගායනය කලේ නැත්නම් ගුවන් විදුලි සංස්ථාවේ දොර වහනව. දැන් එෆ්.එම්. නාලිකා වලට උවමනා දේ ගායනය කලේ නැත්නම් සුනිල් සාන්ත වගේ නිහඬ කරල මැරෙන අරිනව කියල. ඒ වුනාට අපි ඒක දැනගෙන හිටියට අදටත් එකාබද්ධ සටනක් නෑ. අජිත් හුදකලා සටනක ඉන්නව. බහුතරයක් හාන්සිපුටු විප්ලවවාදින් හා සංස්කෘතික වීරයන් චැනල් හා නලිකා ඉදිරියේ දනින් වැටෙනව. මේකට විසඳුමක් නෑ මේ වර්ගයේ හෙලිදරව් කිරීම හැර.

අවසාන වශයෙන් සුනිල් සාන්ත රත්න සම්මානයක් දීම. අජිත් කුමාරසිරි සුනිල් සාන්තගෙ සංස්කෘතික මෙහෙවර දේශපාලනිකවත් කලාත්මකවත් පිරිපහදු කිරීමෙන් පස්සෙ මෙබඳු සම්මනයක් දීම කවර සරදමක්ද? අනික ඒක දුන්නේ උතුරු ඉංදියානුවෙක් වගේ වෙස් වලාගෙන උතුරු ඉංදීය සංගීතයම අපේ කරපිට පටවපු වික්ටර් රත්නායකට. මේ වර්ගයේ පදනමක් නැති සම්මාන සුනිල් සාන්ත නමින්ග් දීම සුනිලුන්ට කරන අවමානයක්. මුළු ජීවිතකාලයම තමන් උපතින් ගෙනා ගායන හා වාදන හැකියාවන් ස්ථාපිත රාජ්‍යයට පුදපු වික්ටර් ට මුලු ජීවිතකාලයම මේ රාජ්‍ය පිදීමට සතුරුවූ සුනිල් සාන්ත නමින් දෙන සම්මානය වික්ටර් රත්නානායකට දීම තරම් වෙනත් අවමානයක් සුනිල් සාන්තට කල හැකිද?
අපි මීට පෙරත් ලියා ඇති ආකාරයට සුනිල් සාන්ත අනගත ලංකාවට උරුම කර දිය යුත්තේ මේ වර්ගයේ ඊනියා සම්මන පිදීමෙන් නොවේ. ඔහු මතු කර දුන් සම්ප්‍රදාය ඉතිරියට ගෙන යාමට මඟක් තැනීමෙනි

නන්දන වීරරත්න

08/11/2019

Leave a Reply

Your email address will not be published. Required fields are marked *