මල් කියන්නෙ කාට කාට… ? -( බන්ධන 08 ) – නාමලී පෙරේරා ලියයි

එක දරුවෙක්
එක් ගුරුවරයෙක්
එක් පොතක්
එක් පෑනක්
මේ සියළු දෙයට ලොව වෙනස් කළ හැකියි….
කියල කියන්නෙ මලාලා. මලාල කියන්නෙ සමාජ සම්ප්‍රදායට විරුද්ධ වෙලා මරණයත් එක්ක උඩු ගම් බලා පීනපු ගෑණු ළමයෙක්. දුකට පත් වෙච්ච කෙනෙක්ට එහෙම හයියක් දෙන්න පුළුවන්නම් කියල හිතෙන්නෙ ළමා නිවාසෙට ගියාම. අම්මගෙ කුසෙන් දරුවෙක් බිහි උනාට පස්සෙ එයා අයිති සොබාදහමට. එතකොට කොහොමද කවුරුත් අනාථ දරුවො වෙන්නෙ. ඒත් එහෙම කොටසක් ඉන්නව කියල අපි එයාලව මේ සමාජෙන් වෙන් කරපු තැනක ගාල් කරල තියනව . ඒක හරියට සතෙක්ව කූඩු කරල හොදට කන්න බොන්න දීල හදනවට වඩා ලොකු වෙනසක් නෑ . එහෙම කරල අපිම එයාලගෙන් ‘ අහසින් පොළවට කඩා වැටීලද ‘ කියල අහනව.

නදීශ කියන්නෙ අම්ම තාත්තා ඉද්දි , ඉන්න තැනක් තියෙද්දි ළමා නිවසෙ ජීවත් වෙන දරුවෙක්. නදීශගෙ තාත්ත එයාලව දාල යද්දි එයාට වයස එකොළහයි . ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ නදීශට තාත්ත උනේ එයාගෙ බාප්ප. ඒ නදීශගෙ අම්මගෙ දෙවෙනි ස්වාමි පුරුෂය. බාප්ප කළේ මේසන් වැඩ. අම්ම වැඩ කළේ ගාමන්ට් එකක. නදීශ ට හිටියෙ මල්ලි කෙනෙක් . තාත්ත ගෙදරින් ගියාට පස්සෙ තනියම ඉන්නවට වඩා බාප්ප ආපු එක හොදයි කියල නදීශ හිතුව.

” බාප්ප ගොඩක් වෙලාවට ගෙදර ආවෙ බීල . ඒ ආවම අම්ම එක්ක රණ්ඩු වෙනව. සමහර වෙලාවට අම්මට ගහනව. මායි මල්ලියි බයට කාමරෙන් එළියට එන්නෙවත් නෑ … ”
” බාප්ප ඔයාලට ආදරේ නැද්ද …?”
” දන්නෙ නෑ . එයාට මල්ලිවනම් පේන්න බෑ . මූසලය කියල බනිනව . මල්ලි බාප්පට බයයි . මල්ලි රෑට නිදාගන්නෙ මට ගුලිවෙලා. බාප්ප ඒකටත් බනිනව . පොඩි දේටත් මල්ලි බාප්පගෙන් ගුටි කනව… ”
” ඔයාලට වියදම් කරන්නෙ අම්මද… ? ”
” ඔව්. බාප්ප අම්මට සල්ලි දෙන්නෙ නෑ . ඒත් හැමදාම මස් ගේනව. වැඩ නැති දවසට අම්මගෙනුත් සල්ලි ගන්නව…. ”
” ඔයා කොහොමද ඉතිං මෙහෙට ආවෙ… ? ”
” පොලීසියෙන් ගෙනත් දැම්මෙ. අපේ ටීචර් තමා පොලීසියට කියල තියෙන්නෙ … ”
” මොනවද … ? ”
” බාප්ප ගැන… ”
ඇස් තෙත් කර කර තිබුණ කදුළු පේළියක් නදීශගෙ කම්මුල දිගේ බේරුන. හිත හදන්නෙ කොහොමද කියල මට තේරුමක් තිබුණෙ නෑ .

” බාප්ප සමහර දවසට මට කරදර කරන්න හදනව…. මං ඒව ටීචර් ට කිව්ව.. ”

නදීශ කිව්වෙ අඩන ගමන්. කරන්න හදන කරදර වල අගක් මුලක්වත් තේරෙන්නෙ නැති වයසක එහෙම මානසිකත්වයක් කොහොම දරාගත්තද කියල හිතෙනව. ඒ වචනයක් වචනයක් ගානෙ පපුව කට්ටකින් හූරනව වගේ රිදීමක් තියනව . ඉර එළිය දකින්නත් කළින් සමහර මල් පරවෙලා. ඒ දේවල් වලට කවුද වගකියන්න ඕනෙ….? නදීශගෙ අම්මද… බාප්පද… නැත්තම් එයාලව දාල ගිය තාත්තද… ??? ජීවිතේ ගැන සුභවාදී ආකල්පයක් දැන් නදීශ ලග නෑ . හරියට තටු කැඩිච්ච කිරිල්ලියක් වගේ….

අම්ම තාත්තගෙ ප්‍රශ්න නිසා ඔය වගේ දරුවො දුක් විදින අවස්ථා අනන්තයි . ගැහැණු දරුවෙක්ට එහෙම අතවරයක් උනාම අපේ සමාජෙ පුරුදු වෙලා තියෙන්නෙ එයා දිහා අවලංගු කාසියක් ගානට දකින්න . ඒකෙන් වෙන්නෙ තවත් ඒ මානසිකත්වය බිදෙන එක. එහෙම අතවරයට පත් වෙච්ච කෙනෙක් කසාදයක් බැදල හොදින් ජීවත් වෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ කැලල තියෙනකල් සමාජෙන්වත් එයාට අවස්ථාවක් දෙන්නෙ නෑ . එහෙම කුහක සංස්කෘතියක් මවා ගත්ත අපේ රට වගේ ආසියාතික රටක ඉදගෙන කාන්තා විමුක්තිය, ළමා සුරක්ෂිතතාව ගැන කතා කරන එක විහිලුවක්.

” ඔයා ඒ හැමදේම අමතක කරන්න . අපි ජීවිතේ පටන් ගන්න ඕන වැරදිච්ච තැනින්. ඒක ඔයා දැකපු නපුරු හීනයක් විතරයි . ඔයාට ඔය හැමදේම වෙනස් කරන්න පුළුවන් ඔයා හොදින් ඉගෙන ගත්තොත්. ඔයාට ඒකට ඕනෙ හැමදේම මෙතන තියනව . ඔයාට යාළුවො ඉන්නව . මැඩම් ඉන්නව . මං ඉන්නව ….. ”
” ඔව් මිස්. මට මෙහෙ හැමදේම තියනව. මං කොහොම හරි ඉගෙන ගන්නව. ඒත් මට අම්මයි මල්ලියි මෙහෙ නෑනෙ …. ”

නදීශගෙ ඇස් වල දිලිසෙන කදුළු ආයෙත් එළියට පැන්න. මට මතක් උනේ මලාලා . හැමෝටම මලාල වගේ වෙන්න බෑ . ඒත් නදීශත් මලාල පරපුරේ කෙල්ලෙක් . අපි කවුරුත් අසරණ වෙන්නෙ බැදීම් ලග නේද කියල මට හිතුන ..

විදින්නට කලියෙන්ම හිරු රැස්
තියේ පරවුන මල් කැකුළු
සාගරයෙ රළ ඇදී එන්නේ
අහුලගෙනමයි ඒ කදුළු
පුංචි දේටත් කඩා වැටුනා
මහා කදු හැදුවත් හිතළු
පුංචි උන්ගේ සිනහ නැත්තම්
සමනළුන්ටත් මල් නැතිලු…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *