එන්න! අපි, හෙඩ්ලයිට් ගහන් ම ගොඩක් දුර යං – 04 – අරුණ මධුශාන්.

වැව් දිය කළු වුණා. වැවක පාට, දවසක් ඇතුළත කොච්චර වෙනස් වෙනව ඇත්ද? සමහර විට අපේ හිතත් ඒ වගේ. රැළි නඟන්නත් පුළුවන්. නිසලව තියෙන්නත් පුළුවන්. අඳුරු වෙනත් පුළුවන්. නෙළුම් පිරිලා ලස්සන වෙන්නත් පුළුවන්. ඒත් නුවර වැව කියන්නෙ නම් කවදාවත් නෙළුම් නොපිපුණ අඳුරු වැවක්. ඒක මට දැණෙන දේ. හැබැයි ඒ අඳුර අස්සට ඔබන්න පුළුවන් වුණ කතා නම් එමටයි. ඒ කතා පද වෙච්ච තැන්, ඒ අඳුර රහ වෙච්ච තැන් සමසිතින් දරාගෙන නුවර වැව අදටත් අඳුරෙ ම ඉන්නවා. සමහර විට අතීතයෙ දවසක නුවර වැව අඳුරු වෙන්න ඇති. දේවානම්පියතිස්සට ඇරිච්ච උඩ මළුව සංඝමිත්තා තෙරණියට වැහුණ දවස හෝ දන්ත කුමාරයට ඇරිච්ච පත්තිරිප්පුව හේමමාලාට වැහුණ දවස ඒ අඳුර වැවටබට දවස වෙන්න පුළුවන්. බංකුවක හිටිය මට ලොකු තාත්තලගෙ ගෙදර පිටපලුවකින් හදපු ලී බංකුව මතක් වුණා.

මට ඉස් ඉස්සෙලා ම බයික් එකක් අතට දුන්නෙ ලොකු තාත්තා. අම්මගෙ බලවත් විරෝදය මැද ලොකු තාත්තා මට බයික් එක දුන්නෙ මාර විශ්වාසෙකින්. මට බයික් එක පදිනවටත් වඩා අමාරු වුණේ බයික් එක අරං ගිහින් කිසිම අනතුරක් නොකරගෙන ආපහු ඇවිත් අම්මගෙ විරෝධයට අභියෝගයක් කරන්නත්, ලොකු තාත්තගෙ විශ්වාසය සපත කරලත් පෙන්නන එක. එදා මං ගියෙ කොණ්ඩෙ කපන්න. කොණ්ඩෙ කපල ආපහු ඇවිත් ලීබංකුවෙ මං ආඩම්බරෙන් ඉඳගත්තට පස්සෙ ලොකු තාත්තා මාව ළඟට අරං කතාවක් කියන්න ගත්තා. එතකොට මං හිටියෙ ඉස්කෝලෙ දහයෙ වසරෙ වගේ.

“මහත්තයා, මං දෙක තුන වසරක වගේ ඉස්කෝලෙ ඉද්දි, දවසක් ටීචර් ඇහුවා ලොකු උනා ම වෙන්න කැමති කවුද කියල?, මං ගත් කටට ම කිව්වෙ “බස් ඩයිවර් කෙනෙක්” කියල. එදා මගෙ කතාව අහපු ටීච මට කිව්වෙ “තමන්ගෙ ආසාව තමා තමන්ව ජීවත් කරවනෙ පුතේ. කවද හරි දවසක ඔයා ඔයාගෙ හීනෙට යන්න. බස් ඩයිවර් කෙනෙක් කියන්නෙත් ගොඩක් හොඳ සිහිනයක්” කියල. එදා මං හිතා ගත්තා කවද හරි බස් ඩයිවර් කෙනෙක් වෙනවමයි කියල. අද මං එතන්ට ඇවිත් තියෙනවා. මයෙ පුතේ, අම්ම එපා කිව්වෙ තරහකට නෙවේ. බයට. ඒත් මං මයෙ පුතා ගැන බය නෑ.”

මං බංකුවෙ ඇවිත් වාඩි වුණේ හරි ආඩම්බරෙන් වුණාට ලොකු තාත්තගෙ කතාවට පස්සෙ ඒ ආඩම්බරය නැතිවෙලා ගියා. මට ආඩම්බර වෙන්න තවකල් තියෙනවා වගේ හැඟීමක් හිත වහගත්තා. ලොකු තාත්තගෙ කතාව ඊට වඩා ගොඩාක් දිගයි කියල, වෙච්ච සිද්ධිය තාත්තා එක්ක කියද්දි තාත්තා මට කිව්වා. මට හිතුන එක ම දේ අද කාලෙ දරුවෙක්ගෙ ව්‍යාජ සිහින, අව්‍යාජ වෙන්නෙ කවද්ද කියන එක. එහෙම අව්‍යාජ සිහිනයක් හිතට ගොඩ වුණත් ඒ සිහිනය බාහිර වටාපිටාව කොච්චර දුරට සාධාරණීකරණය කරයි ද?. මං කැමති ඩොක්ටර් කෙනෙක් වෙන්න, මං කැමති ඉන්ජිනියර් කෙනෙක් වෙන්න කියල කියන දරුවෙක් දිහා බලන බැල්මෙන් ම මං කැමති බස් ඩයිවර් කෙනෙක් වෙන්න කියල කියන දරුවෙක් දිහා සමාජය බලයි ද?

හීන අස්සට එඹි එඹි ඉන්න දවසක තාත්තගෙ යාලුවෙක් ගෙදරට බයික් එකක් ගෙනත් දැම්මා විකුණන්න කියල. යතුරත්,ලයිසන් ඉන්ෂුවරන්ස් එහෙමත් තියල ගිය නිසා ලයිසන් නැති වුණත් ඔය බයිසකලේ ඉගිලෙන්න මට ආස වුණේ ඒක ටී.ඉසෙඩ්.ආර් බයික් එකක් නිසා. පැට්‍රල් ගහන හැමපාරකම ඔය බයික් එකට තෙල් දාන්න ඕනේ. ඒ මදිවට පදින්න කලින් වතුර බලන්නත් ඕනේ. මට ඔය වැඩ ටික තියෙන නිසා බයික් එක එපා වුණත් ඒ කාලෙ වෙසක් පෝයක් ආවා. කොල්ලො ටික සෙට් වෙලා වෙසක් බලන්න යං කියල කරපු යෝජනාවක් සම්මත වෙච්ච නිසා රෑක අර බයික් එකට නඟින්න මටත් සිද්ධ වුණා. මං මගෙ බයික් එකකට රුපියල් දාහක තෙල් ගහගත්තෙ ගෙදරට යාබද ශෙඩ් එකෙන්. හැබැයි ගමන අතරතුර මට තව ශෙඩ් හතරක විතර නතර කරන්න වුණා. අපේ වචනයෙන් කිව්වොත් ඒ බයික් එක තෙල් බොනවා. ගමන ඉවර වෙද්දි අපි ගිහින් තිබ්බෙ කිලෝමීර් අසූ නවයක් විතර. ඒ ටිකට මගෙ තෙල් බිල රුපියල් තුන්දාස් හත්සිය හැටක්. ගෙදර ඇවිත් බයික් එක නැවැත්තුවා නැවැත්තුවමයි විකුණන තුරා මං ආයෙත් ඒ බයික් එක දිහා බැලුවෙ නෑ.

අවුව්වට පිච්චෙන වැස්සට තෙමෙන බයික් ජීවිතේ සමහර දවසක එපා වුණේ බයික්වල ගිය කොල්ලො හැප්පිලා ඇස්පියාගද්දි.

“ආදරයේ උණුසුම ළඟ
දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට
දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත්
සැප රැඳෙන්නෙ නෑ
සිනාවෙවී සිනාවෙවී
කල් ගෙවන්න බෑ…..”

සිංදුවෙ අයිතිකාරය සෝමතිලක ජයමහ වුණත් සිංදුව හදවතට අරං ගියෙ ගිටාර් එකක් ගහගහ හරි සංයමයකින් සිංදුව කියන කොල්ලෙක්ගෙ කටහඬ. රූප රාමු වුණේ හැප්පිච්ච කොලෙක්ගෙ විසිරුණු සිරුරේ අවයව සහ කෑලි කැඩිල ගිය බයික් එක. ඕය වීඩියෝව දකිද්දි බයික් විතරක් නෙවේ සංසාරෙත් එපා වුණ වාර අනන්තයි. ඒත් මේ බයික් පිස්සුවට බෙහෙත් නම් කොහෙන්වත් හොයාගන්න බැරිවුණා.

කළුවර වැටීගෙන එද්දි නුවරින් පිටත් වුණේ ගෙදර එන්න. ඈත කඳුවල පිහිටි ගෙවල්වල තියෙන ලයිට් අහසෙ තරු එක්ක නෑදෑකම් කියනවා වගේ දැණුනා. ක්ෂිතිජයක් නැති කළුවර හැමතැන ම වහගෙන. මං ඩිම් කරගත්ත ලයිට් එකක එළියෙන් කන්ද උඩරටින් පිටත්වෙලා ගෙදර එනවා. කතාවට විතරක් ම නෙවේ දවල්ට දකින කඩුගන්නාව රෑටත් දකින්න ම ඕනේ. ඒ දකින කඬුගන්නාවෙ පහල මිටියාවතේ නිමි නිමී පත්තු නොවන තරු එක්ක ගනුදෙනුවක් ඇස්වලින් හදාගන්න අපිට පුළුවන්. ඒක විඳින්න ම ඕනෙ දෙයක්. වාහනවල ලයිට් අස්සෙ තරු එළිය කොච්චර සනීපයක් ද? ඒත් මිනිස්සු බයයි අඳුර අතාරින්න. මොකද මිනිස්සු හෙවනැල්ලටත් මහා ගොඩක් ආදරේ කරනවා.

අරුණ මධුශාන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *