ගැලීලියෝ හමුවෙන්න රෝමෙට එන්න – රෝමයට ලඟපාර – 08

නූතන විද්‍යාවේ පියා – ගැලීලියෝ ගැලීලි (1564-1642)

මධ්‍යතන යුගය අගභාගයේ දී ඉතාලියෙන් බිහිවූ ප්‍රබල චරිතයකි “ගැලීලියෝ ගැලීලි.”
වංශාධිපති රදල පෙළපතකින් පැවත ආ සුප්‍රසිද්ධ සංගීතඥයකු වූ ‘විචෙන්සො ගැලීලි’ ගේ බිරිඳට වර්ෂ 1564 පෙබරවාරි 15 දා ෆිරෙන්සෙ නගරයට ආසන්න පීසා නුවරදී ගැලීලියෝ ගැලීලි උපත ලැබීය. නූතන විද්‍යාවේ පුරෝගාමියා මොහු විය. නූතන විද්‍යාවේ පියා ලෙස ද ඔහුව හඳුන්වනු ලබයි.ගැලීලියෝගේ පියා හට තම පුතු ධනවතෙකු කිරීම සඳහා ව්‍යාපාර ලෝකයට ඇතුළත් කිරීමට අවශ්‍ය විය.නමුත් ගැලීලියෝ එම අදහසට තරයේම විරුද්ධත්වය පළ කළේය.එම නිසා ඔහුගේ පියා විසින් ඔහුව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ක්‍රිස්තියානි නිකායික අසපුවකට යැවූ අතර ඉන් ටික කලක් ගත වූ පසු පූජකවරයෙකු වීමට තමාට අවශ්‍ය යයි පියා වෙත ඔහු දන්වන ලදී.මෙයට තදින්ම විරුද්ධ වූ පියා ඔහුව එම අසපුවෙන් ඉල්ලා අස්කර ගත් අතර අවසානයේ තවදුරටත් වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ පොරොන්දුව මත පීසා නුවර විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමට ඔහු තම පියාව පොළඹවා ගන්නා ලදී. කෙසේ නමුදු ඒ වෙනුවට ගැලීලියෝ ගේ සැලැස්ම වූයේ ගණිත ක්‍රම ඉගෙනීම ය. විශ්වවිද්‍යාලය තුළ මහා පෙරළියක් ඇති කරමින් මනාව අධ්‍යාපනය හැදෑරූ ගැලීලියෝ ඉන් උපාධි ධුරය ලැබුවේ ය. උපාධියෙන් අනතුරුව ඔවුහු විශ්වවිද්‍යාලය තුළම නැවතී තවදුරටත් අධ්‍යාපනය හදාරා ගණිත මහාචාර්යවරයෙකු බවට පත්විය. වර්ෂ 1590 දී ගැලීලියෝ ආචාර්යවරයෙකු ලෙස පාදුවා විශ්වවිද්‍යාලයට ඇතුල්ත් විය. ඔහු සිසුන්ට ඉමහත් ආදරයක් දැක්වූ ගුරුවරයකු වූයේය. විද්‍යාත්මක චින්තනය හරහා ඔහු තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ව දැනුවත් කළේය. ඔහුගේ දේශන කොතරම් ජනප්‍රියත්වයට ලක් වූයේ ද යත් ශාලාවල ඉඩකඩ පවා මදි විය. ඉන්පසුව ඔහු එළිමහන් දේශන පවා පැවැත්විය. වර්ෂ 1604 දී අහස් කුස මත පෑයූ ‘සුපර්නෝවා’ තරුව පිළිබඳ ප්‍රසිද්ධ දේශනා 3 ඔහු විසින් පවත්වන ලද අතර එම දේශන දැඩි කතාබහට ලක්විය.

මෙම කාලය අතරතුර වැදගත් භෞතික විද්‍යාත්මක දෑ ඔහු විසින් සොයා ගන්නා ලදී. වර්ෂ 1602 දී ඔහු වායු පිළිබඳ උෂ්ණත්වය මැනීමේ උපකරණය නිපදවීමේ නිරත විය. 17 සියවසේදී ඉතාලිය එක්තරා දේවස්ථානයක සීලිමේ දම්වැලකින් එල්ලන ලද පහන නිරීක්ෂණය කළ මොහු තම අතෙහි නාඩි අල්ලා බලා මෙම පහන පැද්දෙන වේගය පිළිබඳ පූර්ව නිගමනයකට එළඹෙන ලදී. එනම් ඔරලෝසු බට්ටාගේ මූලධර්මයයි.රෝගීන්ගේ නාඩි බැලීම සඳහා නාඩි බලන උපකරණයක් ද ඔහු විසින් නිම කරන ලදී.ඔරලෝසු බට්ටාගේ මූලධර්මය ඔහු විසින් සොයා ගනු ලැබුවේ වයස අවුරුදු 17-20 තරම් හිරිමල් තරුණ වියේ දී ය.

ගැලීලියෝ ගැලීලි හට දරුවන් සිටි නමුදු කිසිදිනක ඔහු විවාහ වූයේ නැත. වර්ෂ 1617 දී ෆිරෙන්සෙ නගරයේ බටහිර දෙසට වන්නට ඔහු විශාල වලව්වක් වැනි නිවසක් මිලදී ගන්නා ලදී. ඒ තම දියණියගේ උසස් පාසලට නුදුරිනි.ඔහු නීත්‍යානුකූලව විවාහ වී නොසිටි බැවින් දියණිය සඳහා විශාල මුදලක් වෙන් කිරීසට ඔහු නොකැමැති විය. එම හේතුව නිසා දියණියගේ අධ්‍යාපන කටයුතු වල පහසුව තකා ඔවුන් මෙම නිවස මිලදී ගන්නා ලදී. දියණිය මෙම නිවසෙහි වාසය කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වූ නමුදු පාසල කිට්ටු වීම නිසා ඇය එය ප්‍රතික්ෂේප නොකළා ය.

ඔහුගේ විනෝදාංශය වූයේ නිර්මාණාත්මක දේ ඇඳීමත් ඔහුගේ පියා ඔහුට ඉගැන්වූ Lute(ගිටාරය වැනි සංගීත භාණ්ඩයක්) වාදනය කිරීමත් හා අභ්‍යවකාශය සම්බන්ධව අධ්‍යයන වල යෙදීමත් ය. භෞතික විද්‍යාව පිළිබඳව ‘ඇරිස්ටෝටල්’ ගේ නියමයන් ද තාරකා විද්‍යාව පිළිබඳව ‘ටොලමි’ගේ නියමයන් ද මොහු විසින් බිඳ හෙලන ලදි. ඇරිස්ටෝටල්ගේ මතය අනුව, බර ප්‍රමාණය අඩු වස්තුවක් හා බරින් වැඩි වස්තුවක් එකවර බිමට අතහැරිය කළ බරින් වැඩි වස්තුව බරින් අඩු වස්තුවට සාපේක්ෂව වේගයෙන් බිමට පතිත වන බවයි. එය විය නොහැකි බව ගැලීලියෝ කියා සිටියද,ඇරිස්ටෝටල් වැන්නෙකුට කිසිදාක නො වරදින බව මිනිසුන්ගේ මතය විය. අවසානයේ ගැලීලියෝ පීසා ඇලවුන කුළුණට නැග කුඩා යකඩ බෝලයක් හා විශාල යකඩ බෝලයක් එකවර බිමට හරින ලදී. ජනතාව මවිත කරමින් ද තම මතය සනාථ කරමින් ද මෙම බෝල දෙක එකවරම බිම පතිත විය. එපමණක් නොව තාරකා විද්‍යාව පිළිබඳ ටොලමිගේ භූ කේන්ද්‍ර වාදය ද ඔහුගේ විවේචනයට ලක්විය. අවුරුදු 50 පෙර මෙම මතය ‘කොපර්නිකස්’ විසින් මිත්‍යා මතයක් ලෙස බැහැරකර තිබුනද සමාජය මෙය පිළිගෙන තිබුණේ නැත. නමුත් ගැලීලියෝ පරීක්ෂණ මගින් එය තහවුරු කර සිටියේය. ‘ඩේන් ටයිකෝ බ්‍රේ’ නිපදවූ දුරේක්ෂය වැඩිදුරටත් පරීක්ෂාවට ලක් කළ ගැලීලියෝ ඊයම් නලයක් උපයෝගීකරගෙන එයට කාච තබා දියුණු මට්ටමේ දුරේක්ෂයක් නිපදවීමට වර්ෂ 1609 දී සමත් විය. මෙම දුරේක්ෂය මගින් සැතපුම් ගණනක් දුරින් ඇති වස්තූන් තුන්ගුණයක් විශාල කර නැරඹීමට හැකි විය.ඔහු ප්‍රථමයෙන් මෙම දුරේක්ෂය උපයෝගී කරගෙන ග්‍රහලෝක හා තාරකාවන් නිරීක්ෂණය කළ අතර මිනිසුන් සිතා සිටි පරිදි පෘථිවියේ උප ග්‍රහයා වන චන්ද්‍රයා සුමට වස්තුවක් නොවන බවත් එය උස කඳු සහිත ආවට වලින් පිරි එකක් බවත් ඔහු විසින් පෙන්වා දී

සිටියේය. තවද සෙනසුරු ග්‍රහයාගෙ රැස් වළලු කදම්බය, සූර්යය ලප, අප ඇසට අසුනොවන තාරකා විශාල සංඛ්‍යාවක් මෙන්ම ිකුරු ග්‍රහයාගේ පැතිකඩ ස්වරූපය පෘථිවිය චන්ද්‍රයාට සමාන බවත් සොයා ගනු ලැබීය. ටොලමි ගේ මතය වූ පෘථිවිය වටා සූර්යයා ඇතුළු අනෙකුත් ග්‍රහලෝක භ්‍රමණය වන න්‍යාය බිඳ දැමූ ගැලීලියෝ සූර්යයා වටා පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහලෝක භ්‍රමණය වන බව හෙවත් සූර‌්‍ය කේන්ද්‍රවාදය ප්‍රකාශයට පත් කරන ලදී. වර්ෂ 1610 දී ‍රහස්පති ග්‍රහයා දෙස තම දුරදක්නය එල්ල කළ ගැලීලියෝ එහි උප ග්රහයන් 4 දෙනෙකු සොයා ගත්තේය. ඒ නම් වශයෙන්

ඊයෝ
යුරෝපා
ගැනිමේඩ්
කැලිස්ටෝ

මෙම උප ග්රහයන් අදටද හඳුන්වනු ලබන්නේ ගැලීලියෝ උපග්‍රහයන් නමිනි.ගණිතමය ක්‍රම ඉතා හොඳින් පුහුණු කළ ඔහුට විද්‍යාත්මක ක්‍රම පිරිපහදු කිරීමටත් එයින් පරීක්ෂණ අතරතුර ඉතා නිවැරදි මිනුම් ලබා ගැනීමටත් නිගමන වගුගත කිරීමටත් මෙම ගණිත ක්‍රම ඉමහත් පිටුවහලක් විය. ඔහුගේ පර්යේෂණ සම්බන්ධ වගකීම හැම මොහොතකම බාරගැනීමට ඔහු නොපැකිලිව සැදී පැහැදී සිටියේය.ඔහුගේ විද්‍යාත්මක දැනුමේ සුවිශේෂත්වය වූයේ තර්කානුකූලව කරන ලද සෑම පර්යේෂණයකට නිරීක්ෂන හා නිගමන තිබීමයි. ඔහු මනාව හදාරන ලද ගණිතමය හා විද්‍යාත්මක ක්‍රමවේදයන් සුකලෙක ලොව සංවර්ධනයට මහඟු පිටුවහලක් වූ බව ඔහු විසින් හඳුන්වා දුන් නැව ඉංජිනේරු මිනුම් ක්‍රම සාක්ෂි දරයි.
ඔහු තාරකා විද්‍යාඥයෙකු, ගණිතඥයකු, භෞතික විද්‍යාඥයකු හා දාර්ශනිකයෙකු විය.ඔහු නූතන විද්‍යාව හා සාමාන්‍ය විද්‍යාව පෝෂණය කිරීමට ඉමහත් දායකත්වයක් දක්වන ලදී. ඔහු විසින් ‘කොපර්නිකස්’ ව නිවැරදි කරමින් ඔහු විසින් අඳින ලද සූර්‍ය කේන්ද්‍රීය විශ්වයේ පින්තූරයක් වතීකානුවේ ද ඇත.

කෙසේ නමුදු වැඩි කලක් යන්නට මත්තෙන් පල්ලිය විසින් ඔහුගේ විද්‍යාත්මක චින්තනය විවේචනයට ලක්කරන ලදී. ඔහුගේ මෙම සූර්ය කේන්ද්‍රීය න්‍යාය පල්ලියෙහි ඉගැන්වීම් වලට පටහැනි බැවින් ක්‍රි.ව. 1616 දී පවත්වන ලද ධර්ම පරීක්ෂණයෙන් පසු පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන්නේ යන ප්‍රකාශය ප්‍රසිද්ධ කිරීම පල්ලිය විසින් ඔහුට තහනම් කරනු ලැබීය. නමුදු කොපර්නිකල්ස් ගේ අදහස් ද බයිබලයට පරස්පර විරෝධී බව වටහා ගත් ගැලීලියෝ පල්ලිය විසින් තම වාසියට හරවාගත් බයිබලයේ සඳහන් පෘථිවිය සම්බන්ධ දර්ශන නිවැරදි වචනාර්ථයෙන් පැහැදිලි කිරීම් කරන ලදී. රාජ්‍යමය රෝමානුවන්ගේ මිථ්‍යා ප්‍රකාශ “තිරිසන් නියෝග” වශයෙන් කොපනිකස් විශ්වාස කළ අතර ගැලීලියෝ එම “තිරිසන් නියෝග” වාචික හා ප්‍රකාශ වශයෙන් ඉදිරිපත් කරන ලදී. මෙය තවදුරටත් පල්ලියේ උදහසට ලක්විය. වර්ෂ 1623 දී ගැලීලියෝගේ මිතුරෙකු වන ‘මෆ්ෆේඕ බර්බෙරීනි’ “8 වෙනි උර්බාන්” නමින් පාප් තනතුරට පත්විය.මෙම නව පාප් වහන්සේ තාරකා විද්‍යාව තවදුරටත් අධ්‍යයනය කිරීමට ගැලීලියෝ ව දිරිමත් කරවන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් “Two chife world systems” යන ඔහුගේ අගනා ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළි දැකීය. සූර්‍ය කේන්ද්‍රීය, ස්වභාවික විශ්වය පිළිබඳ නව දැක්මක් සහිත මෙම කෘතිය එකල දැඩි කතාබහකට ලක් වූ ග්‍රන්ථයක් විය. ඔහුගේ ඊළඟ විද්‍යා ප්‍රබන්ධය වූ ” Two new sciences” නම් ග්‍රන්ථයෙන් ඔහු තම ප්‍රතිවාදීන් ගේ ක්‍රියාකලාපය සිනහවට ලක් කළේය. ඔහු විසින් රචිත තවත් කෘතියක් වන ” Principle of inertia” නම් කෘතිය නිවුටන්ගේ පළවෙනි නියමයට බෙහෙවින් සමානකම් කියන කෘතියකි.

කෙසේ නමුදු වැඩිකල් ගතවන්නට නොවීය. පල්ලිය විසින් ගැලීලියෝ ධර්මාධිකරණය වෙත පමුණුවන ලදී.ඔහුගේ දර්ශනය පතුරුවාලීමට විරුද්ධව නඩුවක් පවරන අතර ඔහුට විරුද්ධ චෝදනා ලෙස ඔහු පල්ලිය විසින් පනවන ලද නීති උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලදී.වධහිංසා වලට බිය වූ මෙම වියපත් බහුශ්‍රැත විද්‍යාඥයා තමා කළේ වරදක් යැයි පිළිගත් අතර සූර්යයා වටා පොළොව භ්‍රමණය වන්නේ ය යන මතය සාවද්‍ය යැයි තම හෘද සාක්ෂියට පිටුපා කියා සිටියේය. අවසානයේදී ඔහුට උරුම වූයේ වරදට දඬුවම් වශයෙන් ජීවිතාන්තය දක්වා ‘ෆ්ලෝරන්ස්’ නගරයෙහි විශාල මන්දිරයක නිවාස අඩස්සියට වී සිරබත් කෑමටය. මෙම කාලය අතරතුර ඔහුගේ ඇස් පෙනීම පවා නැති වී ගියේය. එම සිරගතව සිටි කාලයේදී ඔහු මාලිමාව හා කැනොන් පන්දුව නිර්මාණය කරන ලදී.

ඔහු අවසන් කාලයේ දී දිගුකාලීන උණ රෝගයකින් පීඩා විඳි අතර වර්ෂ 1642 ජනවාරි 8 වන දින, එනම් 77 වෙනි වියේදී හෘදයාබාධයක් නිසා අවසන් හුස්ම හෙළුවේය.ඒ වන විටත් බට්ටා සහිත ඔරලෝසුවත් උෂ්ණත්වමානයත් නිම වෙමින් තිබුණි. මෙම බට්ටා සහිත ඔරලෝසුවත් උෂ්ණත්වමානයත් නිපදවී අවසන් වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. ඔහු ගෙන ආ මතයන් හා න්‍යායන් ඔහුගේ මරණය වන තෙක් පුළුල් ලෙස විහිදුණේ නැත.මක්නිසාදයත් පල්ලියෙන් සිදුකරන ලද දැඩි අසාධාරණකම් නිසාත් ඔහුගේ ජීවිතයේ අවසන් අවුරුදු 8 ඔහු ගත කළේ සිරගතවී නිසාත්ය. ඔහුගේ මරණයෙන් පසුව අවමඟුල් උත්සව, ස්තුති කතා ද තහනම් විය.

එවකට “ටොස්කනි හෙවත් ටොස්කානා” හි ප්‍රධාන ආදිපාදවරයා වූ “ෆෙර්දිනාන්දො” ගේ අදහස වූයේ ගැලීලියෝගේ මළසිරුර ඔහුගේ පියා හා මුත්තාගේ මෘතශරීර තබා ඇති ෆිරෙන්සෙ

නගරයේ ” සාන්තා ක්‍රෝචෙ” නම් බැසිලිකාවේ හි තැන්පත් කිරීමට ය.එපමණක් නොව ඔහුට අවශ්‍ය වූයේ ගැලීලියෝගේ මෘත ශරීරය ටෙරාකොටා යොදා නිර්මාණය කරන ලද අගනා සොහොන් ගෙයක ගරු බුහුමන් සහිතව තැන්පත් කිරීමට ය.නමුදු ගැලීලියෝ විසින් කතෝලික පල්ලියට එරෙහිව ප්‍රකාශ කරන ලද සූර්‍ය කේන්ද්‍රවාදය නිසා, කතෝලික පල්ලිය විසින් මෙයට විරුද්ධත්වයක් දක්වන ලදී.

කෙසේ නමුදු ” ෆෙර්දිනාන්දෝ” ආදිපාදවරයාගේ සිතැඟි යුරු වර්ෂ 1737 දී කිරිගරුඬ යොදා, සොහොන් නිවසක් සාදා, අලංකාර කැටයම් සහිත ශෛලමය මිනී පෙට්ටියක් ද නිමවා, ගැලීලියෝගේ මෘත ශරීරය “සාන්තා ක්‍රෝචෙ” බැසිලිකාවේ තැන්පත් කරන ලදී. ගැලීලියෝගේ ශිෂ්‍යයකු වන “විවානි” ගේ හා ඔහුගේ දියණිය වන ” මරියා චෙලෙස්තෙ” ගේ මෘත දේහ සමග ඔහුගේ මෘත දේහය ද තැන්පත් කර ඇති අතර “මයිකල් ආන්ජලෝගේ” සොහොන් ගර්භයට ඉදිරියෙන් “ගැලීලියෝ”ගේ සොහොන් ගර්භය සාදා ඇත.

ඔහුගේ මෘත ශරීරයෙන් ඔහුගේ දත් හා ඇඟිලි වෙන්කර කෞතුකාගාර වෙත යවා ඇත. ඔහුගේ දකුණු අතෙහි මැදැඟිල්ල හා ඔහු සොයාගත් බොහෝ වැදගත් දෑ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ෆිරෙන්සෙ ඒ නගරයේ මුසේයො දි ගලිලේයො” හි තැන්පත් කර ඇති අතර ඔහුගේ කොඳු ඇට පෙළෙහි එක් ඇටයක් “පාදුවා” විශ්වවිද්‍යාල කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත.

අද වන විට අප මෙන්ම අප දරුවන් ද අසාධාරණ කම් වලින් තොරවූ නිදහස් අධ්‍යාපන චින්තනයක් භුක්ති විඳිනුයේ මෙවැනි විශිෂ්ට පුද්ගලයින්ට පින්සිදුවන්නට නොවේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *