පොතකින් දැනුණු කවියක් – 15 – අශෝක කුලතුංග ලියයි

කතෘ : රංජිත් කෝරළේ
කෘතිය : මට අහිමි මං
ප්‍රකාශනය : සරසවි

කාක්කාගේ ලියමන.

පැණි වරක ගස මුදුනෙ තිබුණේ
අපේ ලස්සන කූඩුව
බලු කපුටු දානයක් දවසට
අපියි බල්ලොයි රණ්ඩුව

කොහා ඇවිදින් බැලුම් හෙළුවේ
කතා නැතුවම චාටුව
ඉතින් ගම හැරපියා ආවෙමි
ඒත් අපටයි පාඩුව

කපා ටවුමේ සියඹලා ගස
ඒ කැදැල්ලත් සිඳ දමා
ගමෙන් එනවිට ගෙනා සෙනෙහස
ලේ ගලද්දී බිම දමා
ඇන්ටනාවක තනා කූඩුව

නිදා ගත්තේ දන නමා
සැටලයිට් ඇවිදින් ගාල්විය
ඇන්ටනාවත් ඇද දමා
සොයා රස ඵල වැල වරක අඹ

බෙහෙතකටවත් නැති නිසා
හපා විසිකළ ලන්ච් සීට් සිඹ
ඉඳුල් ගිල කුසගිනි නසා
අපේ පරපුර මුණින් වැටුණා
කුසේ මළ නොදිරන නිසා
ඉතින් දැන් බලු දානයක් දෙමු
කාක්කෙක් ගැන අස අසා

2003 වර්ෂයේ “කොන්දොස්තර තාත්තා” නම් කාව්‍ය සංග්‍රහයෙන් කවි කෙතට පා තබන රංජිත් කෝරළේ කවියා වසර දහසයක් වැනි දීර්ග කාලයක් යන තුරු ම කාව්‍යකරණයෙන් තාවකාලික ව බැහැර ව සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කිරීමෙහි ලා මහත් වෙහෙසක් දැරූ නිර්මාණකරුවෙකු විය. සුභාවිත ගේය පද රචනයෙහි පෘථුල අවබෝධයක් ඇති රංජිත් 2018 වර්ෂයේ හොදම ගී පද රචකයාට හිමි රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලබන්නේ මේ නිසාවෙනි. කාව්‍ය මාර්ගයේ නිහැඩියාව බිඳිමින් මේ ගේය පද රචකයා නැවත කාව්‍යකරණයට අවතීර්නවීම පුද්ගලිකව ම සතුටට කරුණකි. ඔහුගේ අභිනව පද්‍ය සරණිය “මට අහිමි මං” යන හිසින් පසුගිය දා දොරට වැඩිණි.

සමාජයේ වෙසෙන තවත් නිර්ධන පංතියක අනුවේදනීය කතාවක් අරමුණු කරගනිමින් “කාක්කාගේ ලියමන” කවි පෙළ සංරචිත ය. කවියා මේ සඳහා කපුටු පක්ෂි පරපුර වස්තු විෂය කරගනී.

“පැණි වරක ගස මුදුනෙ තිබුණේ
අපේ ලස්සන කූඩුව
බලු කපුටු දානයක් දවසට
අපියි බල්ලොයි රණ්ඩුව”

කපුටු පවුල බොහෝ සතුටින් හා යහමින් ජීවත් වූවෝ වෙත්. ‘ලස්සන කූඩුව’ යන දෙපදයෙන් එය මනාවට විශද වේ. මිනිසුන් විසින් දෙනු ලබන බලුකපුටු දානවල දී උන් බල්ලන් හා දඹර කරගනිමින් කෑමොර දෙන්නේ ගිතෙල් කිරිබත් බෙදා ගැනීමට යි. කාක්කා යනු පක්ෂීන් අතර අඩු කුළයෙන් යුත් පක්ෂි වර්ගයකි. එලෙසම උන් අවලස්සන ය. කවියා මේ කාක්කා ලෙස සංකේත කරන්නේ සමාජයේ ම තවත් දුගී පරපුරකි. ඔවුහු ද කපුටන් මෙන් තැන තැන ඇති දෑ සොයා තම දිවිය සරිකරගන්නෝ වෙති. සුනඛයන් වැනි ප්‍රජාවක් සමඟ ඔවුනට ගැටුම් ඇතිකරගැනීමට සිදුවන්නේ මේ ආර්ථික ගැටළු නිසාවෙනි. නමුදු එවැනි අහිංසක ජීවිතවලට ද කණ කොකා හඬන්නේ නොසිතූ අයුරිනි. කවියා එය   “කොහා ඇවිදින් බැලුම් හෙළුවේ” යන පද්‍ය පාදයෙන් මැනවින් උපස්තම්භනය කරයි. පාඨක හදවතෙහි චිත්ත රූප සිත්තම් කරන කවියාගේ සරල බස්වහර ප්‍රශස්ත ය. මේ නිසා ම මේ කපුටු පවුල නගරයට සේන්දුවන්නේ, ආර්ථික හා සාමාජික දුෂ්කරතාවයෙන් පෙළෙන කුටුම්බියක් තම නිවසන ග්‍රාමය අතහැර යන්නාක් මෙනි.

“කපා ටවුමේ සියඹලා ගස
ඒ කැදැල්ලත් සිඳ දමා
ගමෙන් එනවිට ගෙනා සෙනෙහස
ලේ ගලද්දී බිම දමා
ඇන්ටනාවක තනා කූඩුව
නිදා ගත්තේ දන නමා
සැටලයිට් ඇවිදින් ගාල්විය
ඇන්ටනාවත් ඇද දමා”

ගමෙන් පියාඹා පැමිණෙන මෙම කාක්කාට හා උගේ පවුලේ සාමාජිකයන්ට අවසානයේ වාසය කිරීමට පවා තැනක් අහිමි වන්නේ ඉතා අවාසනාවන්ත ලෙස ය. එක් පැත්තකින් නගරයේ නව ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ නිසා උන්ගේ කූඩුව වරින් වර විවිධ ව්‍යසනයන්ට ලක් වේ. මතු පෙළ කියවීමට වඩා ජීවන යථාර්තයක් කවියා ප්‍රතීයමාන කරන්නේ පාඨක හදවතේ සංවේගය වඩාත් තීව්‍ර කරමිනි. ඒ ගමෙන් පැමිණෙන මේ අසරණ පවුලට නගරයේ විවිධ අතවරයන් නිසා ජීවත්වීමට පවා ස්ථිර වාසස්ථානයක් නොමැති වීම ය. ‘ඇන්ටනාවක’ හා ‘සැටලයිට්’ යන තත්භව පද තත්සම පද සමඟ සංඝටනය කරමින් භාවිකාර්ථ ජනනය කිරීම ත් ‘ගාල්විය’ යන ජන බස යෙදීමත් තුළින් රංජිත් කවියා සතු භාෂා භාවිතයේ චාතුර්යය වඩාත් ආලෝලනය වේ. කවියා මේ නිරූපණය කරන්නේ නගරයේ වීදි අසල ජීවත්වන මිනිස් ප්‍රජාවන් ම නොවේ ද?
මෙවැනි නිර්ධන පාංතික ජන ප්‍රවාහයට සිදුවන අවාසනාවන්ත ඉරණම කවියා පද බඳින්නේ පාඨකයාගේ මනස කරුණා රසයෙන් ආඪය කරමිනි.

“සොයා රස ඵල වැල වරක අඹ
බෙහෙතකටවත් නැති නිසා
හපා විසිකළ ලන්ච් සීට් සිඹ
ඉඳුල් ගිල කුසගිනි නසා
අපේ පරපුර මුණින් වැටුණා
කුසේ මළ නොදිරන නිසා
ඉතින් දැන් බලු දානයක් දෙමු
කාක්කෙක් ගැන අස අසා”

ගමක වසන කපුටෙකුට ගසක් යට හෝ වැටී ඇති වැල වරකා මදුලක් වරදින්නේ නැත. නමුත් කොන්ක්‍රීට් පිරුණු නගර මධ්‍යයේ උන්ට ඒවා සිහිනම පමණකි. ඒ නිසා ම කාක්කෝ නොදිරන ද්‍රව්‍යයන් තම ආහාරය පිණිස ගනියි. මේ හේතුවෙන් වැඩි ආයු කාලයක් නොලබා ම උන් සියල්ලෝම මිය යති. කවියා මේ රූපණය කරන්නේ නගරයේ ද එලෙස ජීවත්වන සමාජ පද්ධතියක අනුවේදනීය ඉරණම යි. ස්ථිර ආදායමක් නැති, ස්ථිර වාසස්ථානයක් නැති කුටුම්බ නගරය තුළ කොතරම් නම් තිබේ ද? ඔවුහු දවසට ම එක වේලකින් පමණක් තම කුස පුරවා ගනී. සමාජයේ අනෙකුත් මිනිස් ප්‍රජාවන් ඔවුනට පාන්නේ ගැරහුම් බැළුම් ය. මේ නිසා ම ඔවුහු ශරීරයට අහිතකර දේ පවා භුක්ති විදින්නේ අන් පිළිසරණක් නොමැති නිසාවෙනි. කවියා නිර්මාණය කරන ජීවන යතාර්ථය මානවීය ය. කවියාගේ දෘෂ්ටිය ද ප්‍රශස්ත ය.

පාඨක හදවත වඩාත් සංවේගයට පත් කරන වාග් චිත්‍ර සපිරි සරල බස්වහරත්, ජනශ්‍රැති සම්මිශ්‍රිත භාවිකාර්ථ ගම්‍ය කිරීමත්, කරුණා රසය උද්දීපනය වන ව්‍යංගාර්ථවත් අනුභූතියත්, නිදහස් ආකෘතියත් සැළකීමේ දී රංජිත් කෝරළේ කවියාගේ “මට අහිමි මං” කාව්‍ය කෘතියේ එන තත් නිර්මාණය ඉතා සාර්ථක නිර්මාණයක් ලෙස සංනිදර්ශනය කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *