Headlight 04 – එන්න අපි හෙඩ් ලයිට් ගහන් ම ගොඩක් දුර යං.

එතකොට මං හිටියෙ තුන වසරෙ. උදේට ඉස්කෝලෙ යන්න කියලා මං නැගිටින්නෙ හතයි කාලට. ඒකත් තුනක් ගහන බෙල් වලින්, ඉස්සෙල්ලා ම හතයි කාලට ගහන බෙල් එක ඇහුනා ම. මීටර් පනහක් විතර එහා තියෙන ඉස්කෝලෙට යන්න මට විනාඩි දෙකහ මාරක් හොඳට ම ඇතිවුණා ඔහොම ගෙවිච්ච ඉස්කොලෙට බයිසිකලේක යන්න මට ආස හිතුනා. මේ අල්ලපු වැටට මොන බයිසිකල් ද කියලා අම්මා මට සෑහෙන්න බැන්නා. ඒ බැන්නෙ බයිසිකලයක් ඉල්ලල තාත්තට කරදර කරද්දි.

ඉස්කෝලෙ මගෙ හොඳ ම යාළුවා නිපුන්. නිපුන් කියන්නෙ ඉස්කෝලෙ ගාවට කාර් එකෙන් එන, ඩ්‍රයිවර් දොර ඇරලා දෙන, ලස්සන, සැපට හැදෙන කොල්ලෙක්. අපි තුනවසරෙ ඉද්දි කරපු කුප්ප ම වැඩේ තමා පාලු ගෙදර වහලෙ රැදෙන්න ගල් ගහපුඑක. ගල් නම් කොහොමත් ගහන්න බැරියැ, මං ඔට්ටු තිබ්බෙ රැඳෙන්න ගහන්න ඕනෙ කියලා කොච්චර හොඳට ගැහුවත් ඇස්බැස්ටස් ශීට් එකේ රූටල ඇවිත් ගල පහලට වැටෙනවා. හැබැයි සාර්ථක වෙන්න පුළුවන් විදිය මං අල්ල ගත්තා. පැතලි ගල් ගැහුවහම රූටලා ආපහු පහලට එන්නෙ නෑ. ඒ පැතලි ගල වහලෙ රැදෙනව. ඉතින් හැමදාම ඉන්ට්වල් එකට අපි සෙල්ලම, පාලු ගෙදර වහලෙට ගල් ගැසීම. කෑව ගමන් පොට් එකේ ටික දවසක් යද්දි මං ගහපු ගල්වලින් වහලෙ පිරුණා ඔය අස්සෙ තමා ගල් මෝලක් ඔලුවට කඩන් වැටුණෙ.

තුන ඒ අපේ පන්තියට වෙලා ඉද්දි ප්‍රාථමිකේ ප්‍රින්සිපල් අපේ පන්තියට ආවා මහා කලබලයකින්. ගල්මෝල වගේ කටක් තිබ්බ ප්‍රින්සිපල් මැඩම් පන්තියට ආව ගමන් ඇදල ගත්තෙ මාව. අනේ මංදා ඉතින් හොදට නරකට දෙකට ම ඉස් ඉස්සෙලා ම අහුවුණේ මාව. එදා විතරක් නෙවේ, පන්තිය ගාවින් යන එන හැමදාම ප්‍රින්සිපල් මැඩම් ආතල් එකටත් නැගිට්ටවන්නෙ මාව තමා. නැගිට්ටපු ගමන් ඇහුවෙ අල්ලපු වත්තෙ ගෙදර වහලෙට ගල් ගැහුවෙ කවුද කියලා. ගල් කඩනවා වගේ වොයිස් එකකින් ඔහොම අහද්දි බය නොහිතී තියෙනවද තුනවසරෙ හිතකට. මටත් වඩා ඒ බය පන්තියෙ උන්ට දැනුනා. උන් කිව්වා මං තමා ගල් ගැහුවෙ කියලා. වැඩේ ඇත්තනෙ. කට්ටියම ගල් ගැහුවට, රැදෙන්න ගල් ගැහුවෙ මං විතරයිනෙ. වරද මං පිළිගත්තා. ඒත් පිළිගන්න කලින් මං දෙයක් කිව්වා. වචන හොඳට උච්චාරණය කරන්න පුළුවන්කම තුනවසරෙදි මට තිබ්බා.

“ඒ ගේ පාලු ගෙයක් නෙ. මිනිස්සු නැති ගෙදරකට ගල් ගැහුව ම මොකද?”

ඕක කියලා ආපහු හැරෙද්දි ගෙදර අයිතිකාරයා පිටිපස්සෙ. ගෙදරක් වුණත් මිනිහෙක් ඉන්නවනම් ඒ ගතිය පේන්න එපෑ. ඒ ගෙදර මිනිස්සු තියා බල්ලෙක්වත් ඉන්නවා කියල අපිට දැනුනෙ නෑ. ඒ ගෙදර අය බැංකුවල වැඩ කරන අයලු.ඉස්කෝලෙ නිවාඩු නොදුන්න බැංකු නිවාඩු දවසක් එදා. මගෙ කරුමෙට එදා අපි ගල් ගහද්දි ඒ මිනිස්සු ගෙදර ඉදල. වැඩේ මාට්ටු. ආයෙත් මගෙ කටින් වචන පැන්නා.

“ටිකක් ලස්සනට තියාගත්තනම් අපි ගල් ගහන්නෙ නෑ නෙ” කියලා. ලස්සන, ගල් කෙසේ වෙතත් තරු විසිවෙන්න වේවැල් කසාය නම් අර ගල් මෝලෙන් මට හම්බවුණා.

ඔහොම ඉන්න කොට දවසක් නිපුණා රට ගියා සවාරියකට. නිපුන් ආයෙ ආව දවසෙ ඉස්කෝලෙ මගුලක්. එක එක වෛවර්ණ දේ. ටීචලට අරවා මේවා. අපිට ගෙනත් තිබ්බෙ ස්ටිකර් කාර්ඩ්. ස්ටිකර් කියන්නෙ ඉතින් පොඩි කාලෙ අපි අදහපු දෙයක්. ඒ කාලෙ සල්ලිවලටත් වඩා ඉස්ටිකර් වටිනවා කියලා මටනම් නොහිතුනා නෙවේ. දැන් ඒවා කියන්න ලැජ්ජයි. කොහොම හරි ප්‍රධාන රැස්වීම ඉවර වුණාට පස්සෙ නිපුන් තමන් අරං ආව තෑගි ළමයින්ට බෙදන්න ගත්තා. මං ඉතින් කොහොමත් හිටියෙ පෝලිමේ පිටි ම පස්සෙ. අන්තිමට හිටිය මට නිපුන් ස්ටිකර් කාර්ඩ් දෙකක් ම දුන්නා. ඒ දුන්නේ එයා මගෙ හොඳ ම යාලුවා නිසා. හැබැයි අනිත් යාළුවන්ට නම් ඒක ඇල්ලුවෙ නෑ.මොකද ඒ අයට ලැබුණෙ එක ස්ටිකර් කාර්ඩ් එකයි. කොහොම හරි ඉන්ටවල් එක ආවා. ඉන්ටවල් එකේදි මං සෙල්ලම් කරන්න එළියට බැස්සට නිපුන් නම් සාමාන්‍යයෙන් එහෙම එලියට බහින්නෙ නෑ. පිල් දෙකකට බෙදිලා ප්ලාස්ටික් බෝලයක් අරං දෙගොල්ලො ගහගන්න එක ඒ කාලෙ ජනප්‍රිය ම ක්‍රීඩාවක්. කොහොම හරි සෙල්ලම් කරලා දාඩිය නාං පන්තියට එද්දි පන්තියෙ නඩුවක්.

නඩුවෙ පැමිණිලිකාරයා අපෙ පන්තියෙ ම ළමෙක්. විනිසුරු මන්තානි ටීච. දැන් ඉතින් මං පහසුවෙන් හිටගෙන විත්තිකූඩුවෙ.

“මෙයා ගාව දෙකක් තියෙනවා ටීච”

අර ළමයා අඬන ස්වරයකින් මන්තානි ටීචර් ට කියනව දැන්. වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරි වුණ මම ගල් ගැහිල බලං ඉන්නවා. කොහොම හරි මට සිද්ධිය තේරුනා. අර ළමයට හම්බවුණ ස්ටිකර් කාර්ඩ් එක හොරකම් කරල. දෙකක් ළඟ ඇති මම තමා දැන් හොරා වෙලා තියෙන්නෙ. හැබැයි මං බය වුණේ නෑ. මොකද නිපුන් පන්තියෙ හිටියනෙ ඔය වෙලේ. මං වැඩේ බලං හිටියා.

“පේනවද ටීචර්, මෙයාගෙ හොර බැල් ම? මෙයා තමා හොරා” දැන් අර ළමයා කෑ ගහනවා.

“දැන් ඔය ළමයා ගාව ස්ටිකර් කාර්ඩ් දෙකක් තියෙනවද?”

මන්තානි ටීචර්ගෙ කුරිරු කට ඇරුණ. සාක්කුවට අත දාලා මම මට හම්බවුණ ස්ටිකර් කාර්ඩ් දෙක එලියට ගද්දි ම අර ළමයා පැනලා එකක් උදුර ගත්තා. මගෙ ඇස් දුඹුරු උනා. මොකද මගෙ යාලුවා මටනෙ ඒක දුන්නෙ.

” නෑ ටීච. නිපුන් මගෙ හොඳ ම යාලුවා. එයා මට එකක් වැඩිපුර දුන්නා. බොරුනම් එයාගෙන් අහන්න. මං හොරෙක් නෙවේ.” මං නිදොස් වෙන්න වචන ගැළපුවත් වැඩක් වුණේ නෑ.

“නිපුන් ඇත්තද මේ ළමයා කියන්නෙ? ඔයා මෙයාට එකක් වැඩිපුර දුන්න ද? ” ටීචර් නඩුව විසදන්න සාක්කියට නිපුන්ගෙන් ඇහුවා.

“නෑ ටීච”

නිපුන් ගෙ උත්තරය මගෙ පපුව ඇතුලෙ කෙටුණා. හොඳ ම යාලුවා එහෙම කියද්දි මං සැහෙන්න අවුල් වුණා. දුඹුරු පාට වෙච්ච ඇස් රතු පාට වෙන්න ගත්තා. ඒත් මං ඔලුව උස්සලා මන්තානි ටීච දිහා බැලුවා. ටීචර්ගෙ ඇස් මටත් වඩා රතුවටයි මට පෙණුනෙ. පන්තියෙ ළමයි ඔක්කොම හිනා වෙනවා. ස්ටිකර් එක උදුර ගත්ත ළමයා ගිහින් වාඩි වෙලත් ඉවරයි. එක පාරට ම ටීචර්ගෙ අත වේවැලත් එක්ක මගෙ දිහාවට ආවා. ඒ ආවෙ ආදරෙන් මාව වැලඳගන්න නෙවේ.

මට යාළුවො එපා වුණා. එදා යාළුවො එපා විල්ල ගොඩාක් කල් හිතේ කෙටුණා. ඔය අතරෙ ඉස්කෝලෙට බයිසිකලයක් පැඳගෙන යන හීනයක් හැමරෑම මං දකින්න ගත්තා. හීනෙ හැබෑ වුණේ තාත්තගෙ යාලුවෙක් ට පිං සිද්ධ වෙන්න. බුද්ධික මාමා අහම්බෙන්වගේ දවසක එයාගෙ මවුන්ටන් බයිසිකලේ අපේ ගෙදර දාලා කොහෙදෝ ගියා. එයා එන්න පරක්කු වෙන නිසා බයිසිකලේ ඉස්කෝලෙ යන්න මටපුළුවන් වුණා. ඉස්කෝලෙට බයිසිකලේ ආවෙ මං විතරයි. මේ මීටර් පනහ හැට එන්නත් බයිසිකලයක් ඕනෙද කියලා පන්තිභාර ටීච මගෙන් ඇහුවෙ අම්ම අහපු ස්වරයෙන් මයි. ඒත් අනිත් ළමයින්ට නම් ඒක හරි අමුතු වැඩක්.

මිනිස්සු ආස අමුතු වැඩ කරන්න. වෙන මොකක්වත් නිසා නෙවේ. “පොර” වෙන්න. පොරවෙන්න පොරකන ගොඩාක් අය නෝන්ඩි වෙන්නෙ එයාලට නොදැනීම. කවුරු කොහොම පිළිගන්න අකමැති වුණත්, ඇත්ත තමා තමන්ගෙ නම හදා ගන්න තමා හැමෝම මේ නෛයාඩගම් නටන්නෙ කියල. අර සන්නගල සර් කියනවා වගේ වීරයා මැරිච්ච භූමියක් මේක. වීරයා මැරිච්ච භූමියක පොර වෙන්න දඟලන එක වැඩක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ. මොකද වීරයෙක්ට ඕනේ වැඩ මිසක් නම නෙවේ. එතන ඉදන් හිතද්දි ඔයත් මාත් ෆේල්. අපිට පුංචි ම හරි ආසාවක් හිත කොනක හරි තියෙනවා නම හදාගන්න. රඟන, රඟපාන, නටන ගී කියන, දෙසන හැමෝට ම තියෙන්නෙ ඒ වගේ ආසාවෙන්. හැබැයි එකක් කියන්නම්. අහන් ඉන්න අයට ඔහොම ආසාවක් නෑ. ඒකයි ලෝකෙ තාමත් මෙහෙම කැරකෙන්නෙ.

අරුණ මධුශාන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *