පැටව්න්ගෙ තාත්තා – බන්ධන – 09 – නාමලී පෙරේරා ලියයි

කළුතර කියන්නෙ නිතරම වැස්සට තෙමෙන පැත්තක්. මොන මෝසමේදි උනත් එකම විදිහට වැහි ඵල දෙන්න අහස බලාගෙන ඉන්නව. ඉතිං අපේ පැත්තෙ මිනිස්සු , සත්තු වගේම ගහ කොළත් කොයි වෙලාවෙ හරි කඩන් වැටෙන වැස්සට සූදානම්ව ඉන්නව . එහෙම වැස්ස දවසක තාත්තා වැඩ ඇරිල ආවෙ හොදටම තෙමීගෙන. අම්ම කොච්චර මතක් කලත් ‘ කුඩේ ‘ කියන්නෙ අපේ තාත්තට මතක හිටින එකක් නෙමෙයි .

තෙමීගෙන ඇවිත් පපුවට තුරුල් කරගෙන හිටපු තාත්තගෙ හම් බෑග් එක ඈත් කරල ඒ අස්සෙ හිරවෙලා තිබුණ අත එළියට ගත්තෙ තාත්තා වගේම තෙමිච්ච තව එක්කෙනෙක් එක්ක. හීතලේ වෙව්ල වෙව්ල හිටිය එයා තාත්තගෙ අතින් බිමට පැන්නෙ භයවෙලා. තාත්තගෙ කකුල් අස්සෙ දැවටි දැවටි හැංගෙන එයාව මට කලින් මල්ලි අතට ගත්ත .
” අනේ කිටී … ඔයා හොදටම තෙමිල… ”
එතකොට මල්ලිට වයස අවුරුදු පහක් විතර ඇති .
” බැළලියෙක් නේද … දැන් ඉතිං පැටව්ත් හුරතල් කරන්න වෙයි… ”
අම්ම ගෙට ගියේ නෝක්කඩු කියාගෙන .

එදා ඉදන් කිටී තමයි අපේ ගෙදර ලොක්ක. හැමෝටම කලින් කෑවෙ, සෙටියෙ නිදාගත්තෙ, කවුරුහරි ගෙදරට ආවම ඉස්සරහට ගිහින් පිළිගත්තෙ…. එයා.

කාලයක් ඔහොම ඉද්දි කිටීව බලන්න අමුත්තෙක් එන්න ගත්ත . අළු පාට පුල්ලි තියන ලොකු පූසෙක්. ඌ ගේ පිටිපස්සෙන් ඇවිත් කෑ ගහපු ගමන් අපේ කිටිය දුවන්නෙ පිම්මෙ. ඊට පස්සෙ දෙන්නගෙ ආදරේ . වෙලෙනව, ඉඹිනව, රණ්ඩු වෙනව….

ටික දවසක ඉදන් ඌ දකින්න හිටියෙ නෑ . කිටියත් සාංකාවෙන් වගේ පුටුවෙ නිදාගෙන හිටිය. පොඩි සද්දෙටත් ඔළුව උස්සගෙන විපරම් කරනව. හරියට එයාගෙ ආදර වන්තය ” දැන් එයි… ” කියල වගේ . වෙනදට අපි කන්නත් කලින් කුස්සියට දුවන කිටී කෑම ගැන උනන්දුවකුත් නෑ . ඌට අසනීපයක්වත් ද… ??
” ඌ බඩින්…. ” අම්ම කිව්ව.

ඒ කියන්නෙ ටික දවසකින් අපේ ගෙදර දරු ප්‍රසූතියක් සිද්ධ වෙනව. ඊට පස්සෙ පොඩි පූස් පැටව් මේ ගේ පුරාම දග කරයි. මගෙ හිතේ තිබුණ අහිංසක සතුටක්. කිටියත් එයාගෙ ප්‍රසූතිය ට ලෑස්ති වෙනව කියල දැනුන . එයා අපේ ඇදුම් අස්සෙ, පොත් රාක්ක අස්සෙ රිංග රිංග උණුසුම් ආරක්ෂාකාරි තැන් හෙව්ව.

දවසක් උදේ නැගිටිද්දි තාත්තගෙ කාමරෙන් පොඩි පූස් පැටව් කෑ ගහන සද්දයක් ආව. අපේ කිටී අම්ම කෙනෙක් වෙලා. පුංචි පැටව් තුන් දෙනෙක් අම්මව පෙරලගෙන තන පුඩු උර උරා කිරි බොනව. කිටී එක අතකින් උන්ව පිරිමදිනව. දෙන්නෙක් තාත්තා වගේ. උන් පිරිමි සත්තු. අනිකා පූසියෙක් අම්ම වගේ.

දවසක් ආයෙමත් කිටීගෙ ආදර වන්තය ආව.
” අන්න උඹ තාත්තෙක් වෙලා… ”
මල්ලි කිව්වෙ හරි සතුටින් . ඊට පස්සෙ නිතරම වගේ ඌ ගේ වටේ කරක් ගැහුව. කිටී ඌ එක්ක ඉන්නව මං දැක්කෙ නෑ. කිටී නිතරම හිටියෙ පැටව් ලග. නැත්තම් කුස්සියෙ . දවසක් රෑ පැටව් වෙනදට වඩා සද්දෙන් කෑ ගැහුව. කිටියත් එහෙමයි … එදා අපේ තාත්තට රෑ වැඩ. අම්ම ලයිට් දාගෙන තාත්තගෙ කාමරේට ගියා. මාත් ඒ පස්සෙන් වැටුන. අපි කාමරේට එද්දිම ලොකු පූස පැනල දිව්ව. යන තැනම බිම එක පැටියෙක් වැටිල හිටිය . ඇද ලග තව එකෙක්. උන් හෙලවුනේවත් නෑ . කිටී එයා වගේ පූසි පැටියව තුරුල් කරගෙන පෙට්ටියෙ හිටිය. කිටී වගේම එයා හිටියෙත් බය වෙලා. සිද්ධ වෙලා තියෙන්නෙ හොද දෙයක් වෙන්න බෑ .
” මොකක්ද අම්මෙ වෙලා තියෙන්නෙ … ”
මල්ලි එහෙම අහගෙන එතනට ආව.
” පැටව්න්ගෙ තාත්තා ….. ”
මං කියන්න හදද්දි ,
” උන් එක්ක සෙල්ලම් කරන්න ඇවිත් . ඒකයි සද්දෙ. ලොකූ…, මල්ලිත් අරන් ඇදට යන්න… ”
අම්ම කිව්ව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *