ජාතිවාදී වීම තමයි දැන් ස්ටයිල් එක! – ගීතිකා ධර්මසිංහ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපතිවරයා වන අනුරුද්ධ පාදෙණියට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය ලැබී තිබෙනවා. ඇත්තටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බැලු බැල්මට ජාතිවාදියි. උදාහරණයක් විදියට දොස්තර සාෆිගේ ප්‍රශ්නයේදී කටක් නොඅරින්න ඒ අය වග බලාගත්තා. මමත් ඒ අය එක්ක සාකච්චාවලට ගිහින් තියෙනවා උදාහරණයක් විදියට ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව අපි සංවිධානය විය යුතුයි කියලා ඒ අයව දැනුවත් කිරීම් කරන කාලේ. සිංහල බෞද්ධ ජාතිවාදය තමයි ඒ අයගේ සිතීම මෙහෙයවන බව පෙනෙන්නේ. හැබැයි ඒ අය රජයේ දේපල විකිණීම හා සෞඛ්‍ය පෞද්ගලීකරණයට තුඩු දෙන විශ්ව විද්‍යාල අලුතෙන් ආරම්භ කිරීම් වැනි උත්සාහයන්ට විරුද්ධ වෙනවා.

වැඩකරන පන්තියේ මිනිස්සු ජාතිවාදී නොවිය යුතුයි කියලයි වෘතීය සමිතිවල මුලික ගුණ දහමක් වෙන්නේ. එය අවම වශයෙන් වාමාංශික උරුමයක් සහිත ලංකාවේ වෘතීය සමිති රැක්ක අගයක්.

කොහොම වූනත් වෘතීය සමිති ජාතිවාදී වීම හා ඔවුන් ජාතීන්ට එරෙහිව කරන හිංසනයන් ලංකාවට ප්‍රමුඛව හඳුන්වා දෙන්නේ 1977 එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයත් එක්ක. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයට අයත් ලංකාවේ විශාලතම වෘතීය සමිතිය වන ජාතික සේවක සංගමය. ඊට කලින් වාමාංශික වෘතීය සමිති තමයි ප්‍රචලිතව තිබුනේ.

ජාතික සේවක සංගමයේ සභාපති සිරිල් මැතිව්. ඔහු එවකට රජයේ කර්මාන්ත අමාත්‍යවරයා.

1977 පස්සේ සිදු වූ ප්‍රධානතම වෙනසක් තමයි කොළඹ අවට කම්කරු පන්තියට රැකියා ලැබීම. එයට ප්‍රධානම හේතුව වුනේ ආර් ප්‍රේමදාස, නිවාස අමාත්‍ය එන්නේ මැද කොළඹින්. එම්. එච්. මොහොමඩ් ප්‍රවාහන අමාත්‍ය. ඔහු බොරැල්ලෙන්. මේ අවට තිබුනේ මුඩුක්කු නිවාස හුඟක්. ඉතින් ජාතික සේවක සංගමයේ විශාල වශයෙන් සාමාජිකයෝ වුනේ මේ ජනතාව මොකද ඒ අයට රැකියා ලබා දුන්නා මේ අමාත්‍යවරු.

ඒ අනුව ජාතික සේවක සංගමය වෘතීය සමිති ආයතනගත කිරීමේ මුලිකත්වය ගත්තා. ඒ වගේම තමයි ඒ අය සිංහල බෞද්ධ දුෂ්ටිවාදය තමයි මුලික කරගත්තේ.

සිරිල් මැතිව්ගේ ජාතික සේවක සංගමයේ සාමාජික මැරයන් 1983 කලබලයේ මුලිකත්වය ගත් බව රහසක් නොවේ. කෝලාහලයෙන් පස්සේ 1983, අගෝස්තු 4 සිරිල් මැතිව් පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා. ඔහු මැලේසියාවේ මහතීර් මොහමඩ්ගේ පොතක් උපුටනවා, Malay Dilemma. මැතිව් මොහොමඩ්ව උපුටමින්, “අපි මැලේසියාව වගේ විය යුතුයි. අනෙක් ජාතීන්ට මැලේ ජනතාව සමග තරඟ කරන්න ඉඩ නොදිය යුතුයි කියලා මහතීර් මොහොමඩ් කියනවා. මැලේ ජාතියට යන්න තැනක් නැහැ. මේක තමයි මැලේ ජනතාවට යන්න තියෙන එකම රට. මැලේසියාව මැලේ ජාතිකයන් ඉන්නේ 53%යි. 35% ක් ඉන්නේ චීන ජාතිකයන්. ලංකාවේ 74% ක් ඉන්නේ සිංහලයෝ. 17% ක් ඉන්නේ දෙමළ. බලන්න, ඒ අය වෘතීය හා ආර්ථික මට්ටමින් ඉහල තැන්වල ඉන්නේ. මැද්‍රස් වලට යන්නේ ඕනේ නැහැ, පෙටාවලට යන්න, ගිහින් බලන්න. සිංහලයන්ට යන්න තැනක් නැහැ, දෙමළ අයට ඉන්දියාව තියෙනවා. 1969 දී චීන ජාතිකයන් දේශපාලන උද්ගෝෂණයක් කෙරුවා, මැලේ ආණ්ඩුව කිව්වා ඉන්න ඔක්කොම චීන ජාතිකයෝ මරලා දාන්න කියලා. අපි එහෙම කලේ නැහැ. අපි බලන් හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ?….” (තව හුඟක් දේ ඔහු කියනවා. හැන්සාර්ඩ් බලන්න).

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය එකතු කල දත්තවලට අනුව එවකට ජාතික සේවක සංගමයේ මැරයන් සම්බන්ධ නොවූ ජනතා පහරදීම් නැති තරම්. ඒ අතරින් කිහිපයක්,

1981, යාපනය පුස්තකාලයට ගිනි තැබීමේදී ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයෙක්ගේ චන්ඩින් තමයි එහි සිටියේ කියලා එහි සිටි දෙමළ ජනතාව පවසා තිබුනා.

සරච්චන්ද්‍රගේ ‘ධර්මිෂ්ට සමාජය’ (ජේ. ආර්. හදන්න ගිය එක!!) කෘතිය පිළිබදව සාකච්චාවකදී එම වැඩසටහනට පැමිණි සිටි සිංහල බෞද්ධ මැද පාන්තිකයන්ට පහර දෙනවා.

1978 ජුනි 15 ජාතික සේවක සංගමයේ සාමාජිකයෝ 400 ක් පමණ තුල්හිරියේ ට්‍රේඩ් මිල්ස් ආයතනයේ ප්‍රධානීන් හය දෙනෙකුට තර්ජනය කර පහරදෙනවා.

1980 මහරගම ගුරු පහුණු පාසලේ ගුරුවරු කළ උද්ගෝෂණයකදී සිරිල් මැතිව් සිය ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සමග එහි ගොස් ගුරුවරුන්ට ඉතාම දරුණු ලෙස පහර දෙනවා.

මෙම පහරදීම් ජනතාව අතරට ගියේ නැහැ. කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පත්තරේ විතරයි මේවා පළ කලේ. ඒකත් ආණ්ඩුව වහනවා. සීල් තියනවා. ඉතින් බොහෝ දෙනෙක් අතරට මේ තොරතුරු ගියේ නැහැ.

කොහොම උනත් 1983 කෝලාහලයෙන් මෑත ලංකා ඉතිහාසයේ දරුණුතම හිංසනය සලකුණු කරද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්ය වෙනස්වයි තිබුනේ. පහර කෑමට ලක් වුනු දෙමළ ජනතාව සමහර රෝහල්වලට ඇතුලත් කර ගත්තේ නැහැ. සමහර රෝහල් සුළු සේවකයන් වර්ජනය කරන බවට අනතුරු නිකුත් කළා. එහෙම ඇතුල් වුන අයට හරියට සැලකුවෙත් නැහැ. එක් දෙමළ ජාතිකයෙක් පිහියෙන් ඇනලා රෝහලේදීම මරලා තිබුනා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලුවා “අපිට පාඩුවේ වැඩ කරගෙන යන්න දෙන්න, ජාතික සේවක සංගමයේ මැරයන් එවන්න එපා” කියලා.

ඉතිහාසය එහෙමයි මිත්‍රවරුනි. අපිට දැන් කොහෙද වෙනස්කම්. අපි හැමෝම එකයි දැන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *