“බැහැර කිරීම වෙනුවට සහභාගීත්වය” – ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන්ම ජයග්‍රාහකයන්ට ගත හැකි පාඩමක් – බිඟුන් මේනක ගමගේ

ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැන අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් හිතෛශීන්ගේ මතය වී තිබෙන්නේ මෙය මුස්ලිම් හා දෙමළ ජාතින්ගේ කේවල් කිරීමේ බලය දුර්වල කළ සිංහල බෞද්ධයන්ගේ ජයක් බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයෙන් එවැනි අදහසක් ප්‍රකාශ වී නැති මුත් සැලකිය යුතු පිරිසක් එම මතය දරන බව පැහැදිලිය.ජාතික සමගිය ඇතිකිරීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා පළ කළ අදහස් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන්නේ නම් විය යුත්තේ කුමක්ද? වාර්ගික වශයෙන් ඡන්ද ගොඩවල් දෙස හෙලන බැල්මෙන් ඈත්ව එම ඡන්ද තීරුවලට ද සමාවධානයක් දීමය.

විවිධ ජනවර්ග සහිත හෝ සංස්කෘතික විවිධත්වයක් ඇති සමාජවල ඒ සෑම ජනවර්ගයකටම සංස්කෘතියකටම නෛතික හා ව්‍යවස්ථානුකූල පිළිගැනීමක් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයකි. එයින් විෂද වන්නේ අන් කවරක්වත් නොව බැහැර නොකිරීමේ ප්‍රතිපත්තියයි. උතුරු නැගෙනහිර වශයෙන් එම ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට වැඩි බරක් තබා තිබුණ ද රාජ්‍ය නායකත්වයකට එම ජන තීරු ඡන්ද ගොඩවල් සේ සලකා බැහැර කිරීමේ පිළිවෙතක් අනුගමනය කළ නොහැකිය.

අතීතයේදී මෙන් නොව රාජ්‍යන්හි බහුවාර්ගික ස්වරූපය සහ සමාජයන්හි බහුසංස්කෘතික ස්වරූපය පිළිබඳව පසුකාලීනව විශාල සැලකිල්ලක් නිර්මාණය විය. එහෙත් අද වනවිට මෙම සැලකිල්ල ලෝක පරිමාණයෙන් අර්බුදයට යමින් තිබෙන බව ද සැබෑය. බහුජාතිකත්වය පිළිබඳ කතිකාව දුර්වල වෙමින් සුළු ජනවර්ග ගැන සැකයෙන් බැලීමට බල කෙරෙන මහජාතියක් ගැන විශ්වාසය ශක්තිමත් වන්නේ එහෙයිනි. මැතිවරණ ව්‍යාපාරවල ශක්තිසම්පන්නභාවය හෝ දුර්වලතා යන සාධකයට වඩා මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් දැකිය හැකි දෘෂ්ටිමය කතාව එයයි.

එහෙත් සියලුම ජන වර්ග සහ ජාතිකත්වයන් දේශපාලන බලයේ නැතහොත් තීන්දු ගැනීමේ ක්‍රියාවලියෙහි කොටස්කරුවන් බවට පත්කිරීමට අදාල පියවරගැනීම එනයින්ම අහෝසි වන්නේ නැත. බෙදුම්වාද පරාජය කළහැක්කේ ජන කොටස් බැහැර කිරීමෙන් නොව සෑම ජනවර්ගයකටම සහ ජාතිකත්වයකටම දේශපාලන සමාවධානයක් ලබාදීම මගිනි. මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් ජයග්‍රාහකයන්ට උගත හැකි එක් වටිනා පාඩමක් වන්නේ එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *