පත්තරකාරයන් ළඟට ආ බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය ඇමැති වරයාට කියන වග නම්…. බිඟුන් මේනක ගමගේ

අලුත් කැබිනට්ටුවේ ජනමාධ්‍ය යැයි විෂයක් නැත. සිටින්නේ සන්නිවේදන ඇමතිවරයෙකි. හේ බන්දුල ගුණවර්ධන ය. අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන් විගස ඇමති බන්දුල පත්තර කන්තෝරු වලට පැමිණ මාධ්‍ය සගයන් මුණ ගැසුණේය. යහපත් ජනමාධ්‍යක් ගැන සිහින දකින්නකුට මාධ්‍ය සගයන් මුණගැසීම ප්‍රමුඛ කරුණක් වීම හොඳය. එහෙත් එසේ මුණ ගැසීම භෞතික හමු වීමකින් එහා ගිය අවංක අභිලාෂ මුසු කර ගත් එකක් විය යුතුය. එහෙත් ආණ්ඩුව සිය පැටි වයසේදී ම පටන්ගෙන තිබෙන්නේ එසේ පැමිණි සන්නිවේදන (ජනමාධ්‍ය ) ඇමතිවරයා ලිට්මස් පරීක්ෂාවකට භාජනය කරන්නට ය. ඊට බලපෑ ප්‍රධාන කරුණු තුනක් මෙසේ දැක්විය හැකි ය.

1) ඝාතනය කිරීම, අතපය කැඩීම, අතුරුදහන් කිරීම ඇතුළු ජනමාධ්‍යවේදීන්ට එරෙහිව දියත් වූ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ සී.අයි.ඩී නිලධාරීන් සාධාරණ හේතුවකින් තොරව ස්ථාන මාරු කිරීම.

2)භාෂණයේ ප්‍රකාශනයේ නිදහස උදෙසා ගෙන ආ අයි.සී.සී.පී.ආර් පනත උත්ප්‍රාසජනක ලෙස යොදා ගනිමින් ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන වෙබ් අඩවියක සංස්කාරකවරිය සී.අයි.ඩීයට කැඳවීම.

3)රටේ සමාජ පර්යාය හා බැඳුණු නීතිය හා සාමය විෂයට අදාළ  තොරතුරු වලට මිත්‍රශීලී ප්‍රවේශයක් ව පැවති පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීම.

ඉහත දැක්වූයේ ආණ්ඩුව බලයට පැමිණ දින දහයක් වැනි කෙටි කාලයක් තුළ වූ දේශපාලන ගතිකයන් කිහිපයක් පමණි. එහෙත් මෙම කාරණා සරල නැත.

රාජපක්ෂ පාලන කාලයේ සුදුවෑන් ක්‍රියාත්මක වී යැයි 2016 ජනවාරි 15 මව්බිම පුවත්පතේ සඳහන්ව තිබුණේ වෙනකෙකු නොව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න ගේ අදහසක් හැටියට ය. ඔහු වැඩිදුරටත් කියා තිබුණේ “ඒ කාලේ  තිබුණු ප්‍රදාන ගැටලුව විසඳන්න යන ගමනට බාධා වුණු අයව තමා එහෙම පැහැර ගත්තේ. ගෙනිහින් හැංගුවාද මරා දැම්මාද කියන එක මම දන්නේ නැහැ” කියාය.

යහපාලන ආණ්ඩුව පැමිණ විට මාධ්‍ය සංවිධාන හැටියට අප සිතුවේ නිරෝෂන් මන්ත්‍රීවරයා නොදන්නා එම ගමන් වල අවසානයක් හ ඒවාට වගකිව යුත්තන් අනාවරණය කරගත හැකි වනු ඇත කියාය. කෙළවරක් කරා නොපැමිණියද තීරණාත්මක ඉමක් කරා එම අපරාධ පරීක්ෂණ දියත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පසුගිය කාලයේ දී යම් ඉඩක් ලැබුණේය. පත්තර කතුවරු ද කාටුන් ශිල්පියෝ ද මාධ්‍යවේදියෝ ද බය සැක නැතිව ලියන්නට අඳින්නට පටන් ගත්හ. මාධ්‍ය සංවිධාන දිගින් දිගටම පැවති ආණ්ඩුවෙන් ඉල්ලූවේ යුක්තියයි. මාධ්‍යයට එරෙහි අපරාධ සෙවීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ පරික්ෂණ කොමිෂන් සභාවක් ඉල්ලන්නට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු කළේ ඒ අනුවය.

එහෙත් පැවැති ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනාම නෑසූ කන් ව සිටියේ එකකු ජනමාධ්‍ය නිදහස ගැන පාරම් බාද්දී  අනෙකා මාධ්‍ය සමග රණ්ඩු කරන තැනකට තල්ලු වෙමිනි. අවසානයේ දී ආණ්ඩුව ගෙදර යවන්නට පොදුජනයා තීන්දුවක් ගත්හ. එහෙත් අලුත් ආණ්ඩුව එම ජනවරම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ගෙදර යවන්නට දුන් එකක් යයි වැරදි වැටහීමක් ඇති කර ගෙන ඇති සෙයකි දැන් අපට පෙනී යන්නේ. ජනමාධ්‍යයට එරෙහි අපරාධ පරීක්ෂණ  තීරණාත්මක ඉමක ඇති මොහොතක සිය පුද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පුටුවෙන් ඉවත් කරන්නට නො එසේව ඔවුන් කටයුතු නොකරනු ඇත.

ඒ නිසා ජනාධිපති කොමිසමක් කෙසේ වුව අඩුම තරමින් මෙම අපරාධ පරීක්ෂණ කටයුතු ස්වාධීන ලෙස ඉදිරියට කරගෙන යන්නට අවශ්‍ය මැදිහත්වීම කිරීම බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ගේ ඇමතිවරයා ගේ මූලික කාර්යයක් විය යුතුව තිබේ.

අංක 2 හා 3 කාරණාවලට අදාළ රාජ්‍ය පාර්ශවය වී තිබෙන්නේ ආණ්ඩුවේ බලගතුම දේශපාලන චරිතය. ප්‍රතිමතවාදීන්  මර්දනයට ICCPR පනත අවභාවිතා කිරීමේ යහපාලන දුර්ගුණය ආදර්ශ කරගෙන තවත් දුරක් දුවන්නට ඔවුන් සූදානම් බව පෙනේ. ඒ හා සෘජුව සම්බන්ධ වන පොලිසියේද කට වසා දැමූ විට අවශ්‍ය කාලය ගෙන අවශ්‍ය දඩයම එලා ගැනීමට එයින් ඔවුන්ට හැකි වනු ඇත.

ඉතින් දෙසැම්බරයෙන්  පසු උදාවන නව වසර යළිත් කළු ජනවාරියක් නොකිරීම උදෙසා මේ ආණ්ඩුව යටතේ බන්දුල ගුණවර්ධන මහතාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමු. නිරායුධ අහිංසක මාධ්‍යවේදීහු ඔබ දෙස බලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *