මල්වල පැහැයෙන් නුවර යුගයේ සිතුවමින් හැඩවෙන අකුරැස්ස හේනේගම ශ්‍රී සුධර්මාරාමය

ශ්‍රි ලංකාවේ සුප්‍රසිද්ධ තීන්ත සමාගමක් විසින් නිශ්පාදනය කරන ලද නවතම තීන්ත යොදාගනිමින් අකුරැස්ස හේනේගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරයේ බිතු සිතුවම් ප්‍රතිසංස්කරණය මේ දිනවල සිදුකෙරෙමින් පවතී.ප්‍රවීන චිත්‍ර ශිල්පී දයාවංශ ජයසිංහ සහ පුලස්ති එදිරිවීර යන ශිල්පීන් විසින් දිවා රැය නොතකා මෙහි බිතුසිතුවම් ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු වල නිරත වේ.

සහාය ශිල්පියෙකු ලෙස මාතර දිස්ත්‍රික්ක යේ මාධ්‍යවේදියෙකු ද ඊට සම්බන්ද වී සිටී.හේනේගම ශ්‍රී සුධර්මාරාමාධිපති ශ්‍රී රෝහණ කාරක සංඝ සභාවේ විධායක කාරක සංඝ සභික ඇල්ගිරිය සිරි මහින්ද පිරිවෙන් ආචාර්ය බෙංගමුවේ ධම්මික හිමියන් ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ මේ මහා විහාරය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.මෙහි ඇතැම් කොටස් මහනුවරයුගයේ සිතුවම් කලාවට අයත් වී තිබේ.තවත් කොටසක් මීට වසර දෙසීයකට පෙර සිතුවම් කරන ලද ඒවාය.

සම්මානනීය ශිල්පී පුලස්ති එදිරිවීර

එම යුගවලට අයත් ප්‍රතිමාද මෙහි දකින්නට තිබේ.කෙසේ වෙතත් විද්‍යාත්මක ඇගයීමකින් පසු මේ විහාරයේ සිතුවම් සහ ප්‍රතිමා ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ප්‍රථම වතාවටය.විහාර ප්‍රතිසංස්කරණය සදහා අවශ්‍ය සියලුම තීන්ත ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක් ලෙස සුප්‍රකට තීන්ත සමාගමක් විසින් ලබාදී ඇති අතර ඒවා තවමත් වෙළඳ පොලට හදුන්වා දී නැත .අදාල සමාගම විසින් මෙම තීන්ත වල වර්ණ නිපදවා ඇත්තේ ස්වාභාවික මල් වල පැහැයේ සාරයෙනි.

එසේම එම වර්ණ යොදාගනිමින් ලංකාවේ සිතුවම් කෙරෙන ප්‍රථම විහාරස්ථානය වන්නේද හේනෙගම ශ්‍රී සුධර්මාරාමය මහා විහාරයයි.දැනට ප්‍රතිසංස්කරණය කෙරෙන පුරාණ විහාරගෘහයේ බිතු සිතුවම් හා ප්‍රතිමා ප්‍රතිසංස්කරණයෙන් පසු අභිනව විහාර මන්දිරය ද සාම්ප්‍රදායික විහාර චිත්‍ර කලාවෙන් ඔපවත් කිරීමට සැලසුම් කර ඇතැයි ද දැනගන්නට ඇත .එසේ උවහොත් මෑත යුගයේ සාම්ප්‍රදායික බිතුසිතුවම් වලින් ඔපවත් වන ශ්‍රී ලංකාවේ ප්‍රථම හා සුවිසල් ම විහාර මන්දිරය මෙය වනු ඇත .

වර්තමානයේ විහාර සිතුවම් කලාවේ ප්‍රවීනයෙකු වන දයාවංශ ජයසිංහ මහතා දකුණු කොළඹ ගුරු උපදේශක වරයාය.ඔහු සවුන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙසද සේවය කරයි.සිය රාජකාරි වේලාවෙන් පසු විහාර සිතුවම් කිරීමට කාලය කැපකල දයාවංශ ජයසිංහ මහතා පුලස්ති එදිරිවීර මහතා සමග එක්ව මෑත කාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකල එක් විහාරස්ථානයක් වන්නේ වැල්ලම්පිටිය කොටිකාවත්ත ශ්‍රී විමලාරාම විහාරස්ථාන යයි.

විහාර සිතුවම් කලාවේ ප්‍රවීන ශිල්පී දයාවංශ ජයසිංහ .

එහි ප්‍රතිසංස්කරණ කටයුතු නිමවී ඇත .ඊට අමතරව වේයන්ගොඩ පල්ලෙවෙල ආලෝකාරාමයේ අභිනව විහාර මන්දිරය සිතුවම් කිරීම ආරම්භ කෙරී ඇත්තේ මීට වසර නවයකට පෙරය.එහි බිතුසිතුවම් සියල්ලම අලුතින් අදින ඒවා ය.සෝලියස් මැන්දිස් ශිල්පියාගෙන් පසු විහාර චිත්‍ර කලාවට නව සම්ප්‍රදායක් එක්කල දයාවංශ ජයසිංහ මහතාගේ සිතුවම් සම්ප්‍රදාය බොහෝදෙනෙකුගේ ඇගයීමට පාත්‍ර වී තිබේ.හේනේගම ශ්‍රී සුධර්මාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දයාවංශ ජයසිංහ මහතා මෙසේ සදහන් කර සිටියේය “මේ විහාරස්ථානයේ පැරණි සිතුවම් විනාශ වෙලා තිබුනේ.  ඒවගේම ඉතිරිවෙලා තිබුනු කොටස් තිබුනා.විහාරස්ථානයේ ඉතිහාසය ආරක්ෂා කරන්න අවශ්‍ය නිසා අපි ඒ ඉතිරි කොටස් එසේම තිබෙන්නට හැරියා තවත් කොටසක් විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් සංරක්ෂණය කරනවා. ඒ වගේම යුරෝපීය සම්ප්‍රදාය අනුව සිතුවම් කරලා තිබුනු සම්පුර්ණයෙන් මැකීගිය සිතුවම් වෙනුවට දේශීය විහාර චිත්‍ර කලා සම්ප්‍රදාය අනුව නව සිතුවම් නිර්මාණ ය කරනවා.

ඉතා ප්‍රවේශමෙන් හා ඉවසීමෙන් කරන කටයුත්තක් නිසා මෙහි වැඩ අවසන් කරන දිනය නිශ්චිතවම කියන්න බැහැ.නමුත් මමත් පුලස්තිත් දිවා රැය නොතකා මේ කටයුතු වල නිරත වෙනවා.”හිටපු කලා අධ්‍යක්ෂක වරයෙකු කලා භූෂණ සම්මානලාභී යෙකු හා ශ්‍රී ලංකාවේ ප්‍රවීනම මුද්දර නිර්මාණ ශිල්පියෙකු,මොස්තර නිර්මාණ ශිල්පියෙකු වන පුලස්ති එදිරිවීර මහතා මෙම විහාර ප්‍රතිසංස්කරණ යේදී සාම්ප්‍රදායික සිංහල සැරසිලි මොස්තර ප්‍රතිනිර්මාණ කටයුතු වල නිරත වේ.

ඔහු මේ විහාර ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් මෙසේ පැවසීය.”මේ විහාර සිතුවම් ප්‍රතිසංස්කරණ කරන්න කලින් අපි මේ සිතුවම් හොදින් අධ්‍යයනය කලා. සෑම රේකාවක්ම වැදගත් .සංරක්ෂණය කල හැකි සියල්ල ඉතිරි කරමින් විහාර සිතුවම් කලාවට මේ තියෙන ප්‍රතිමාවලට හානියක් නොවන ලෙස මේ කටයුතු කරන්න අපි උත්සාහ කරනවා.ඒ වගේම විහාරස්ථානයේ පැරණි බුදු මැදුරේ තිබූ විනාශ වී ගිය සිතුවම් වෙනුවට පුරාණ ශිල්පීය ක්‍රම ආරක්ෂා කරමින් එහි අභිමානය ආරක්ෂා වෙන ආකාරයෙන් සිතුවම් ඇතුලත් කලා.අභිනව විහාර මන්දිරය සාම්ප්‍රදායික සිතුවම් වලින් සිතුවම් කිරීමට බලාපොරොත්තු වන බව විහාරාධිපති හිමියන් අපිට කියාතිබෙනවා .

එසේ වුවහොත් .මුල්කිරිගල ,කතලුව,දඹුල්ල ,හිදගල,කැලණිය ශ්‍රී දළදා මාලිගය ඇතුලු පුරාණ විහාර සිතුවම් නැවත නැවතත් අධ්‍යනය කරලා බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථා ,ජාතක කතා ඇතුලු සිතුවම් මේ නව විහාර මන්දිරයේ ප්‍රතිනිර්මාණ ය කරන්න බලාපොරොත්තු වෙනවා.කොහොම උනත් දැනට කරන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා සම්පුර්ණ දායකත්වය මෙරට ප්‍රධාන පෙලේ තීන්ත සමාගමක් විසිනුයි කරන්නේ.විහාරස්ථානයේ හිමිවරුන් ගෙන් අවශ්‍ය උපරිම සහාය ලැබෙනවා.මේ කටයුතු සියල්ල අවසානයේ දකුණු ලක සාම්ප්‍රදායික විහාර සිතුවම් කලාවේ සුවිශේෂී කේන්ද්‍රස්ථාන ක් බවට මේ විහාරය ඉතිසාසයට එකතුවේවි”.මෙම විහාර සිතුවම් ප්‍රතිසංස්කරයේ නිරත වන සම්මානනීය ශිල්පීන් දෙපල වන දයාවංශ ජයසිංහ සහ පුලස්ති එදිරිවීර යන ශිල්පීන් මේ කටයුතු වල නිරත වු අයුරු සහ ඔවුන් ලැබූ අද්දැකීම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිපියක් ලගදීම ඔබ වෙත ගෙනඒමට මාතර කිඹුලා සූදානමින් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *