අධ්‍යාපන පද්ධතියේ සංකූලතා විෂම භාග නිළයෙක් අල්ලාගත්, විෂම භාග – කේ . ආර්. කේ. මුණසිංහ

“මී පුප් ලදින් දරු නොලදින්” කොබෙයියන් තවමත් හඬයි. එහෙත් තවමත් සිදු වූ වැරැද්ද හඳුනා නොගනියි. යළිඳු තම දරුවා ගලෙහි ගසා මරා දමයි. නොනවතින චක්‍රයකි. රාමුවෙහි සිරගත කොට ,ගෙළෙහි බැඳි කඹයකින් අසීරුවෙන් දක්කාගෙන යන්නේ කුමන ඉසව්වටද ?
කියවූයෙමි විෂම භාග. මන්ද එය ඇසින් බැලිය යුතුවා පමණක් නොව ආත්මගත කොට හදගැස්මට සවන් දෙමින් නිහඬව දැහැන් ගත යුතු බැවිනි. එයට බාධාවක් ද නොවේ . දැවැන්ත රංගධරයන් සුළු ප්‍රමාණය, ඔවුන් අතර සංසරණය වන අල්පභාෂිත දෙබස්, නිහඬත්වය, කවියද ගීතයද අතර දෝලනය වන සුපැහැදිලි, අර්ථ පූර්ණ සංගීතමය මාත්‍රා, සුදු සහ කළු අතර ගැවසෙන දීප්තිමත් වර්ණය, සංකල්පිත භෞතික වස්තූන්, කෙටි කාල සීමාව, ඒ සියල්ල කැටිකරගත් තේජාන්විත රූපාවලිය, තේමාවම අරමුණු කොට ගත් , එයින් කිසිවිටෙකත් බැහැර නොවූ ස්වභාවික පරිසරය, හිත අවුළුවා , සිරුරේ සියළු ලේ ධාතූන් මොළයේ අකර්මණ්‍ය වී ඇති කොටස් සප්‍රාණික කරවයි.

පෙර කලකදී ගණිත ගුරුවරියක් වූ මට , මගේම ආත්මය මා අසළින් හිඳිනා බව දැනිණි. විටෙක ඇය විෂම භාගවලින් පමණක් නොව සාමාන්‍ය භාග වලින්ද පහර දුන්නාය. තවත් විටෙක මිශ්‍ර භාග වලින් රිදුණු තැන් පිරිමැද්දාය. මගේ කල් ඉකුත් ව ගොසිනි. ගුරුවරුණි, බලධරයිණි, ඔබ ප්‍රමාද වුවහොත්…………?  ප්‍රශ්ණය ඔබට මට නොවේ. එසේ නම් කාටදැයි මා කිවයුතු නොවේ. ළමා මනසෙහි ගණිත සංකල්ප නිවැරැදිව ගොඩ නොනංවනතාක් කල්, සාහිත්‍යයද, සංස්කෘතියද, ආර්ථික, සමාජ , දේශපාලනික යහපත් හර පද්ධතීන්ගේ පාදම ඉරිතලනු ඇත.

මෙම සිනමා පටයේ, තිර රචකයාණන් ම වූ අධ්‍යක්ෂකතුමන්, අධයාපන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ, ගණිත විෂය ඉගැන්වීම යටතේ, පස්වන පන්තියේ භාග ඉගැන්වීම් පාඩමෙහි, විෂම භාග නම් වූ කුඩා නිලයෙන් අල්ලා ගත්තේ සමස්ථ අධ්‍යාපන ක්‍රියාවලි පද්ධතියේම සංකූලතා තම වෙදනලාවට හසුකර ගනිමින් ය.

වැස්ස නැති වූ අසාර වූ කෙත, වැස්ස යදින මහ පොළව , දිය බිඳක් ගෙනෙන්නට යා යුතු දුෂ්කර වූ ගමන් මඟ තේමාව හා ඔබ අපූරුවට ගලපා ඇත්තේය.විෂම ලොවක් තුළ විෂම / භාගයන් වූ දරුවන් අප අතරින් කී දෙනෙක් හඳුනා ගෙන සුරක්ෂිත කොට ඇත්ද?හුණු කූරට,කළුලෑල්ලට,සිරගත පන්තිකාමරයට,අසන දෙයට පමණක් පිළිතුරුදීමට, කායික වාචික බියවැද්දීමකට ඔබ්බට ගිය ක්‍රමවේදයක් අපට නොමැත්තේද? ගුරුවරයාගේ දැවැන්ත සෙවණැල්ල දරුවා මත පතිත වීම නිරූපණය දුටුවේ මා පමණක්ද ? මානයෙන් පිම්බුණු , ගුරුවරයාගේ පාවහන් වලින් නැඟෙන බරැති හඬින්ඇතුළාන්තයෙන් හැකිළුණු බියපත් සිසු දරුවා පමණක් නොව අපිදු එමොහොතෙහි සසල වන්නෙමු. ඔහුගේ අතෙහි තාලයට හැඬවෙන යතුරු සමූහයේ නාදය මුළු යන්ත්‍රණයේම ක්‍රියාකාරිත්වය වන්නේය. ඔවුන් සදාකාලිකව ඉබි යතුරු ලා එය රකිනු ඇත.

අපට අනන්‍ය වූ ,දුරාතීතයේ සිට පැවත ආ, මානව දයාවෙන් යුතු , දරුවාට දැනෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය නේදැයි බලන්න තම සීයා මළ දා ඔහු බුදු පහන පිටුපස සුදු තිරකඩකින් ඔතා වන්දනීයව සඟවා තැබුවේ. අපට දුරස්ථ වූද, අස්පර්ශණීය වූද ,රටාවන් බදා වැළඳගැනීමේ අනර්ථකාරී බව වැටහෙන්නේ , දැනෙන්නේ අපට කවදාද? දෙසොහොයුරන්ට හිමි දෙකමිසයෙන් , එක් සුදු කමිසයක් හුළඟේ ගසාගෙන යනු දැක දැකත් ඉතිරි එකත් ගසාගෙන යන්නට ඉඩ හරිනවාද? ප්‍රාථමික පන්තිවලදීම පාසල් වලින් දරුවන් ගිළිහී යෑමේ ප්‍රවණතාවයට වගකියන්නෝ කවුරුද? පොදු සාධකයක් අපට තිබෙනවාද? සොයා ගනීද? කවදාද? මේ සිනමාරූපී අධ්‍යයයනයෙන් මා තුළ හට නැඟුණු ප්‍රශ්නයි.යතාර්ථය ද එයයි.

පාසල් අධ්‍යාපනයට සාහිත්‍ය ඇතුල් වීම පිළිබඳ යම් ඉඟියක් දී තිබේයැයි මා විශ්වාස කරමි.එය සත්‍ය හෝ අසත්‍ය වුව ද,යම් ඇස් ඇර බැලීමකට , යම් වෙනසකට බලපෑම් කළ බවක් ගුරු චරිතය තුළින් දුටිමි. එහෙත් සිදුවන්නේ විෂම භාග පාඩම නිම කොට හෝ නොකොට , නොතේරුම්කම තිබියදීම වෙනත් පාඩමක් පටන් ගැනීමයි. සෑම ගැටළුවකම වත්මනේ අවසන් නියතය එයම වන්නේය.

ළමා රංගන ශිල්පීන් පිළිබඳව යමක් කියයුතුම වන්නේය. අත්දැකීම් සරු ප්‍රවීණ රංගන ශිල්පීන් අතර කිසිවිටෙක ඔවුන් දෙවෙනි වූයේ නෑ.පවුලෙන් නිසි සැලකිල්ල නොලැබෙන, දරිද්‍රතාවයෙන් පෙළෙන,පාසලෙන් පීඩාවට පත්වන , දරුවෙකුගේ භාව ප්‍රකාශණය මා මවිතයට පත්කලා. දෙසොහොයුරන් අතර ලේ බැම්මේ ශක්තිමත් බව පෙන්වා ඇති අයුරු අපූර්වයි.කිසිදා හිනාවක් නොනැඟි මුහුණෙහි බියපත්, අපේක්ෂාවන්හිඳුණු බැල්ම රැඳි විසල් ඇස්, සැලෙන දෙතොල් අප ද අසරණ කරවූ අනාගතයක රඳවනවා. ඔහුගේ එකම පිළිසරණය වූ වියපත් සීයාගෙන් කුඩා පොදු ගුණාකාරය විමසන අවස්ථාවේ කඳුළක් ගලා හැලෙන්නේ නැතිදැයි බලන්න. අධ්‍යක්ෂ තුමා ඇතුළු කණ්ඩායමෙහි විශිෂ්ඨ කාරුණික සාමූහික රැකවරණය මෙම ළමා නළුවන් දෙපළට දී ඇති මහා පොදු සාධකයයි. ඔවුන් දෙදෙන ඇතුළු සමස්ථ ළමා පරපුරම රැකගැනීම වැඩිහිටි අප සැමගේ යුතුකම වන්නේය.

යහපත් කලාකරුවා ප්‍රශ්ණ පෙන්වා දෙයි. තර්ක නොකරයි. අවලාද නොනඟයි. විසඳුම් නොදෙයි. ගැටළු ළිහන්නට යන සියල්ල දත් කෙනෙකු නොවෙයි. බුද්ධිකලම්බනයක් කරයි. ඒ නිසාම තම කලා කෘතියෙන් කියන්නට යන දේ පිළිබඳව ඇහුම්කම් දෙන්නන් රැසක් ඒ වටා ගොනු වෙයි. සමාලෝචනයට බඳුන් වෙයි. යම් හොඳ බලපෑමක් කළ හැකි වෙයි.විෂම භාග සිනමා කෘතිය හරහා මම එය දකිමි.එබැවින් එය සාර්ථක නිර්මාණයක් යැයි කියන්නට පසුබට නොවෙමි.මී මැස්සන් රොද බඳින්නේ මී වදයක් වටා ,මිස බඹර හෝ දෙබර වදයක් වටා නොවේ.

අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුය. තර්කයක් නොවේ. විශ්ව ගම්මානය යන මායා අර්ථනිරූපනය යටතේ නොව, අපට උරුම හර පද්ධතීන් සුරැකෙන පරිදි අපට අනන්‍ය ප්‍රතිපත්තීන් තුළ පිහිටමින් ය. සිනමා පටය අවසානයේ දළ සටහනකි. හැමදාම වදන් වලට පමණක් සීමා වූ මෙම අදහස් , ක්‍රමවේදය තුළ අත් හදා බලමින් , මනා සුපරීක්ෂණය යටතේ, බිම් මට්ටමේ සිට ඉහළම පරිපාලන පද්ධතිය දක්වා ක්‍රියාත්මක විය යුතුය . යහපත් ආකල්ප වලින් සරු, කොඳු ඇට පෙළක් ඇති , පරම්පරාවක් බිහිකරන්නට ගුරුවරුන්ට, දෙමාපියන්ට, සමස්ථ සමාජයටම ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන , විෂමභාග නිර්මාණකරුවෙනි ඔබ සැමට මගේද, අපේද, රටේද ප්‍රණාමය පිදෙනු ඇත.

අවසරයි ලලිත් රත්නායක ගුරුතුමාණෙනි,” පරිමාව සහ ධාරිතාව “ පිළිබඳ ව, සිසු ක්‍රියාකාරකම් පාදක කර ගත් ,අළුත් පාඩමක් පටන්ගන්නට. රුවන්සිරි හොඳින් ධාරණය කරගනු ඇත.

කේ . ආර්. කේ. මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *