හතේ හත වැදුණු සෑසනේ… – – (අනු කලන 07 ) – අනුරංගා ප්‍රනාන්දු

හතේ පොතක් ගැන ගෝළු ගත්ත ගරුතර සංඝ රත්නය ගැන යම් කතන්දරයක් උදේ ගුවන් විදුලියෙන් ඇසුණු නිසා ලියන්නට හිතුනාය.

ගෞරවනීය වන්දනීය පූජනීය සංඝ රත්නය රට ගැන සිතන එක ගැන බොහොමත්ම සතුටුය.ඔබ වහන්සේලාට දන් පැන් පිළිගන්වන උපාසක උන්දැලාට ජීවත් වෙන්නට රටක් ඉතුරු කොරන්නට ඔබ වහන්සේලා දරන වීරිය ම ඇති ,පතන්නා වූ බෝධියකින් වහ වහා සසර දුක ඉමක් දකින්නට .

ඔබ වහන්සේ ලා අපි වගේ නොවේය.අකුරු සාස්තරේ පරතෙරට වැඩලාය, ලෝකෙ රටේ වැඩලාය එනිසා උගත් කම අතින් හෝ අත්දැකීමෙන් අපි එක්ක ගත්තම සසඳන්ට තියා හිතන්නටත් බැරිය.

ඒත් අපෙ හාමුදුරුවනේ තරහ අවසර, මේ හතේ පොත මාත් මේ මගේ නේත්තරා දෙකින් දැක්කාය.
ඔබ වහන්සේලා බැලුවේ ඒ පොතමදැයි මටත් විචිකිච්චාවක් උපන්නාය.
මම බැලූ හතේ පොත, අවසර හාමුදුරුවනේ ,
ලියා ඇත්තේ නව යොවුන් වියට එළඹෙන දුවා දරුවන්ටය.
උන්ගේ සරීර කූඩු වල වෙන වෙනස් කම් ගැන උන්ටම ඇතිවෙන කුහුල නිවන්නටය.

ලිංගික අධ්‍යාපනය ඕනෑ වෙන්නේ මේ වෙලාවටය. බෙහෙතක් දෙතොත් ලෙඩේ ඔඩු දුවා උත්සන්න වූ විට නොව මුල් අඩියේම නම් ලෙඩේ කැඩෙනවාය.
කවදා හරි දවසක දැරිවියක් සුදු ගවුමෙන් ම බඩ උනොත් හරි කොළු ගැටයෙකුට සමාජ රෝග චෙක් කරන්නට ඉස්පිරිතාලෙ යන්ට උනොත් හරි එදාට සෙක්ස් එඩියුකේශන් උන්ගෙ අම්මට කියාදෙන්නට වෙනවාය.

අවසර හාමුදුරුවනේ , මේ පොත ගෙනාවේ අකිල උන්නැහේගේ කාලයේය.උන්නැහේලා ගේ කල්කිරියාව ගැන මනාපයක් නූපන්නැහෙ , සිංහයෙක් සිංහාසනේ ඉන්දෙව්වෙ මේ රට ගොඩ නඟන්නටය.එතුමා ඒකාන්තයෙන්ම ඒක කරන බවට මහා විස්වාසයක් අපි තුල තියෙනවාය.

ඒත් හාමුදුරුවනේ මේ පොත හා ඒ පොතෙන් කියවෙන දේ අකිල ලොක්කා පර්‍යේෂණ කොට හොයා ගත්ත දේ නෙවේය.

උන්දෑ ගේ වැරදි හතේ පොත පිටින් යවන්ට කාරි නැතුවාය.

මට තේරුණ හැටියට පොත ලියා ඇත්තේ කසිලි බිසිලි පොරවල් නොවේය.
අදාල විශය ගැන දත් උන්දැලාය.
පොතේ කරුණු ත් මම කියෙව්වාය.එව්වායේ වරදක් ද නොපෙනුනාය. පොත පෙරළා බලද්දී බොහොම විද්‍යාත්මකව කරුණු පහදලාය.

වන්දනීය සඟරුවන ආපත්තියක් ලෙස කුමක් දැක වදාලා දැයි දැනගන්නට කැමතීය.

පොතේ එක පැත්තක සරල බසින් දෙබසක් යනවාය .අනෙක් පැත්තේ බොහොම විද්‍යාත්මකව අදාල කාරණය පහදනවාය.

දෙබසේ තියෙන කතා පොත එන්නට පෙරත් ඉස්කෝල වල කොල්ලෝ කෙල්ලෝ කතා උනාය.නෑ කියන්නට බැරිය.බස් වල හචා මුල්ලේ යුනිෆෝම් පිටින් තුරුල් වී ගිය ජෝඩු පොත එන්නටත් පෙර සිටම සිටියාය.

පන්ති යන මුවාවෙන් ගෙදරින් ඇවිත් රූම් ගානේ ගිහින් කෙළවා ගත් කෙල්ලන්ද , බොක්ස් ඇතුලට රිංගා කරන්නට ඕනෑ ඔක්කොම කලුවරේම කරගත් පොඩි උන්ද සිටියාය.
උන්ගේ විශය පරිබාහිර ක්‍රියාකාරකම් වීඩියෝ කර ඉන්ටර්නෙට් එකේද ඇත.
උන් කුණු හබ්බ වැඩ කරන්න ඉගෙනගත්තේ කොහෙන්දැයි හිතාගන්නට බැරිය.

මොකද හතේ පොත ආවේ මෑතකදී නිසාය.
ඒ පොතෙන් කුණු හබ්බ ඉගෙනගෙන කොලා යැයි කියන්නට අමාරු ඒකය.
ලිංගිකත්වය ලිංගික චර්‍යා ගැන පොතින් උගන්නන්ට දෙයක් නැත.ඕනෑම එකෙකුට විද්‍යාව නොදැන උව ඔය කාරිය කොරගන්ට හැක.

මොකෝ අපේ මුත්තලා ,නත්තලා, පනත්තලා ට හතේ පොත තිබුනේ නැතුවාය. ඊට කලින් පරම්පරා වලටද නියැන්ඩර්තාල්,ඉරෙක්ටස්,හැබිලිස් ලා ද පොත බලන් ඕක කලා යැයි හිතන්ට බැරුවාය.

ප්‍රශ්ණ ය උපදින්නේ එතැන සිටය.සමාජය අවුරුදු මිලියන ගණනක් ඉස්සරහාට ගොහින් ය.රූපවාහිනී වල බාගෙට හෙ‍ලුවැල්ලෙන් නත්තල් සමරන අම්මණ්ඩිලා ය.නේක ප්‍රකාර විසූක දස්සන පිරිලාය.
කුණුහබ්බ කියන්නේ මේවා නෙවීද?
ඉන්ටර්නෙට් කියා ලබ්බක් ඇත.මේකේ ගූගල් කියා සර්ච් එන්ජිමක් ඇතුවාය.මේකේ සෙක්ස් කියන වචනේ කොටා සොයා බැලූවන් වැඩිම ගණන, අවසරයි අපෙ හාමුදුරුවනේ ලංකාවේ ය.
ඒ අපෙ උන් ගේ ස්වයං අධ්‍යයන උනන්දුවය.

ඕනෑම විලිසංගයක් නැති දේ දැලෙන් බාගන්ට හැකිවාය.ඒවා බලා මොල කුරුවල් වෙන්නේ ගිහි පැටවුන්ගේ විතරක් නොවේය.
බුද්ධ චීවරය දරාගෙන පන්සල් වල ඉන්න පොඩි ,ලොකු නමවල් ඕනෑ හැටියේ කුණු හබ්බ නරඹනවාය. කුණුහබ්බ කොරනවාය.ඊයේ පෙරේදා ප්‍රවෘත්ති වලින් අපි ඒවා දැක්කාය.ඕව්ව ගණන්ගන්ට දේ නොවේ යැයි හාමුදුරු නමක් කීවාද දැක්කාය.

ඒ කුණුහබ්බ සියල්ල සම්බුද්ධ චීවරෙන් වසාගන්නට ඉඩ දෙන තාලේ දැක්කාම අපේ කපු කැනති ඉරා දමන්න පුලුවන් ආවේගයක් එනවාය.

අවසර අපෙ හාමුදුරුවනේ , දැන් දැන් වාහන එලවාගෙන ගෙහුං පාරෙ දි කොල්ලන් යටකර මරා දාන, ඇප පිට නිදහස් වෙන තැනට අපේ සාසන මාෆියාව බලවත් වෙලාය.

මේ හැමදේම මෙහෙම වෙද්දී අපි තාමත් කහ සිවුර දැක්කම බස් එකේ සීට් එක දෙනවාය, හුනස්නෙන් නැගිටිනවාය ,පහත් වී වඳිනවාය…..

පරම පූජනීය ,කියන්න අවසරයි අපේ …….හාමුදුරුවෝ ගිය තැන මලින් ගඳින් පුද ලබති .ඒ උන් වහන්සේ ගේ ගුණය ,සිල්වත් බව දයා කරුණාව, සාසන මෙහෙවර නිසාය.නමුත් උන්වහන්සේ නිතර කියන දෙයක් ඇත.”මේ සියල්ල අදටත් සසුනට පිදෙන්නේ උතුම් වූ බුද්ධ ආස්චර්‍ යය නිසාය.” ඉතිං ඒවගේ මහා සඟ රුවන් මැද අර වගේ බුද්ධ චීවරේ පහරන ඒකෙන් රැකවරණ ලබන ගණයාටත් අපි සාදුකාර දී දන් පැන් දෙනවාය.

උන්නාන්සේලා ඒවා වලඳා ,ජිම් වැඩ, කොටුවකුත් පැන,
හොඳවැයින් අඩියකුත් ගසා කරන්නට තියෙන ඔක්කොම පාහර වැඩත් කරනවාය.

නඩුව අහන්නට බුදුහාමුදුරුවෝ හිටියා නම් අම්මපා ගොස් කියනවාය.විනය කර්ම කොරවලා ඇවැත් බලලා මුං ටික සාසනෙන් දොට්ට දාලා පිරිසිඳු කොරලා දේවි නොවැ අපේ බුදුහාමුදුරුවෝ .

ඉතිං අපෙ ගරුතර හාමුදුරුවනේ මේ හිතේ අමාරුවට කියවුනු ඒවාය.නමුත් ඒවා ඇත්තය.

කුල දෙවිවරු රට වෙනුවෙන් නැගිට්ටාට කම් නැත .නමුත් වැට හා නියර ගොයම් කනකොට කාටැයි අපෙ හාමුදුරුවනේ අපි අමාරුව කියන්නේ?….

ගිහි හා පැවිදි කියන්නේ වතුර හා තෙල් වගේය.මේවා එකට දැම්මට කලවං නොවෙන ,කලවං කල යුතුද නැති දෙකොට්ටාසෙකි.

මේක කලවං කරගත්තොත් වෙන්නේ මහ ඇබැද්දිය කි.

ඔබවහන්සේලා ට අයිති කාරියක් තියෙනවාය.රාජ කතා චෝර කතා ආදියෙන් සපුරා බැහැර විය යුතු අපේ හාමුදුරුවරු දේශපාලන වේදිකා මත අසුන් ගන්නවාය.පාර්ලිමේන්තු යනවාය. ගුටි කනවාය ,අහවල් අංගය තලා ගන්නවාය , මිනිස්සු මරණවාය ,උපාසක අම්මාලාට සයනාසන කමටහන් දෙනවාය ,පොඩි උන්නාන්සේලා ගේ ඇගේ නැග අමාරුව ඇර ගන්නවාය.ඒත් අපේ උන්ගේ සර්දාව නිසා ඉවසාගෙන ඉන්නවාය.

මේවා නොදැන ඉන්නවා කියා හිතන්නට එපාය.

බෞද්ධයන් ආගමට විරුද්ධ ව නැගිටින්නේ නැතුවාය.නමුත් මේ වැරදි ඔබවහන්සේලා මූලික වෙලා ක්‍රියාත්මක වෙලා හදාගන්නටම ඕනෑය.

ඉවසීම ටත් යා හැකි දුරක් ඇතුවාය. සමහර හාමුදුරුවෝ ඒ සීමාව පන්නලා වැඩලා බොහෝ කල් ය.අපිට පවු දෙන්නේ අපි පවෙන් වළක්වන්නට ආපු හාමුදුරුවෝ ය.

ඉස්සෙල්ලාම පන්සල් වලත් පිරිවෙන් වලත් අපචාර වලක්වාගන්ට හොඳා ය.

.ගෑනියෙකුට අඩිය තියන්නට බැරි පන්සල් ඇතුවාය.බිස්නස් කොරන පන්සල් ඇතුවාය, ඉන්න බෑ ලොකු හාමුදුරුවො සැප ගන්න හදනවා ය කියා පොඩි නමවල් සිවුරු හරින පන්සල් ඇතුවාය, මෙන්න මේවා හදාගන්ට හොඳාය.

සෙක්ස් යනු කුණුහබ්බ යක් නෙවීය.ඒක මූලික අවශ්‍යතාවයක් ය.ඒ පොතේ ඒ වයසේ දරුවන්ට එන ගැටලු මනාව පහදා දී තිබේය.ඒවගේ දේ දෙමාපියන්ට කියාදෙන්නට මොලයක් නැතිනම් පාසැලෙන් හෝ ඉගැන්නුවා වටින්නේය..නැත්තම් උන් අසහනේ ,අසහනේ ට මුල,අසහනේ නැති කිරීම ,අසහනේ නැති කිරීමේ මාර්ගය ….. සොයා යනවාය.

ගොස් නතර වෙන්නේ බඩු ලඟය.එක්කෝ ඉස්කෝල දැරිවියක් එක්කය,රූම් එකකය,බොක්ස් එකකය,වැටකෙයියා ගාලකය.
රටේ නැති ලෙඩකුත් බෝකරගෙනය.

උන්ගේ අනාගතය එතනින් ඉවරය , බඩු බනිස් ය,ෆුල් මාවලස් ය.

මේ රටේ දූශණය වන කෙල්ලන් බොහෝය.බසයේදී දුම්රිය තුලදී ජැක් වදින,අත පත ගෑවෙන ගෑණු අනන්තය.උන් , හාමුදුරුවෝ බස් එකට නැග්ගාම අසුන දී නැගිටින ගෑණු ය,දානේ උයාගෙන ඇවිත් පිළිගන්නන ගෑණුය.

ලැජ්ජාව නම් මේ රටේ අසහනය දුරු කිරීමේ පළමු පියවර හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නොදීම බව තේරුම් නොගැනීමය.

බල්ලාගේ වැඩේ බූරුවා නොකරන්නේ නම් මැනවිය.

මේ ප්‍රශ්ණ ගිහියන්ගේ ප්‍රශ්ණ ය.උන් ඒවා විසඳා ගත්තාවේය, සාසනය රැක ගැනීම වන්දනීය ඔබ වහන්සේලාගේ වැඩක් ය.එය හරියට කොලා නම් ඉහටත් උඩින් ඇතිය.

බොහොමත් පින් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *