බැට් මෑන්ල… සුපර් මෑන්ල… – ( බන්ධන 11 ) නාමලී පෙරේරා ලියයි


ඒ සෙල්ලම එපා උනාම තව එකක්. විකාර ඇදුම් ඇදගෙන, පොඩි නාට්‍ය කෑලි හදාගෙන, රබානකුත් අරගෙන සමහර දවසට වටේ ගෙවල් වලට යනව නාට්‍ය පෙන්වන්න. ඒ ගියාම හම්බවෙන මොනව හරි කාල මාරු කාසිත් එකතු කරගෙන තමයි ආයෙත් එන්නෙ. අගෝස්තු මාසෙට වැඩිපුරම තියෙන්නෙ සරුංගල් පිස්සුව. වෙලේ වැටි වැටි සරුංගල් පස්සෙ දුවනව. වෙට්ටු දාල නූල කැඩුවම රණ්ඩු වෙලා තරහත් වෙලා තමයි ගෙදර එන්නෙ. ඒත් අනිත් දවසෙ උදේට ආයෙත් යාළුයි .

ඉස්සර මං අකමැතිම ක්‍රිකට් ගහන්න. අයියල ක්‍රිකට් සෙල්ලම් කරන්න රබර් වත්තෙ තීරුවක් උදලු ගාල ලස්සනට හදාගෙන තිබුණ . මැච් එක පටන් ගන්න කලින් පිච් එක අතුගාන්න තිබුණෙ මටයි තමාලි නංගිටයි. ඒ හින්දම මට ක්‍රිකට් සෙල්ලම එපා වුණා. අනික මං අවුට් උනාම ආයෙත් බැට් කරන්න ඉල්ලල අඩන හින්ද අයියල කැමති නෑ මාව සෙල්ලමට ගන්න. සෙල්ලම් කරල හති වැටීගෙන , දාඩිය දාගෙන ආවම අම්ම හැමෝටම තේ හදල දෙනව මාරි බිස්කට් එක්ක. ඒක බෙදන්නෙ ලොකු අයිය. පිරිමි ළමයින්ට බෙදල අපේ බිස්කට අපිට දෙන්න කලින්
” මං මේව ඕගොල්ලන්ට හතරැස් කරල දෙන්නම්…. “ කියල වටේ හතරැස් වෙනකල් කනව. අපිත් ඉතින්
” තාම හතරැස් නෑ … මෙතන චුට්ටක් ඇදයි.. “ කිය කිය එයා බිස්කට් කන දිහා බලන් ඉන්නව.

ගොයම් කපපු කාලෙට පිදුරු ගොඩේ සෙල්ලම්. වහින කාලෙට වක්කඩේ මාළු අල්ලන්න යනව. ඒ ගිහින් ඒකට පැනල තෙමීගෙන ගෙදර ආවම තාත්තගෙන් පස්ස පැත්තට පාරකුත් හම්බ වෙනව. ඒ කොච්චර උනත් අපේ රැලේ සෙල්ලම් නතර කරන්න කවුරුත් උත්සහ කළේ නෑ . අවුරුදු කාලෙට අඹ ගහේ ලොකු ඔන්චිල්ලාවක් බැදල දෙන්නෙත් තාත්තමයි. කට්ටිය එකතු කරගෙන හැම අවුරුද්දකටම පුංචි අවුරුදු උත්සවයක් කලෙත් තාත්තගෙ මූලිකත්වයෙන් . පොඩි තරග තියල දිනපු අයට හම්බුනේ මකන කෑලි, පැන්සල්, චිත්‍ර පොත්…. එහෙම තෑග්ගක් හම්බුනාම ඒ දවස්වල හරි අගේ. කැටේට ආයකට්ටක් දාල කාසි ගන්නව කැට ගහන්න. හැමදාම දිනන්නෙ අයියල. එයාල සල්ලි දිනා ගත්තම මායි තමාලි නංගියි අඩනව.
” මොකද ඔය කෙල්ලො දෙන්නව අඩවන්නෙ උඹල.. ” කියල මහප්ප කෑ ගැහුවම
” ආ… මේක ගන්නව. ආයෙ එන්න එපා කැට ගහන්න හොටු කෙල්ලො.. “ කියල රුපියල් දෙකේ කාසියක් දීල අපිව නළව ගන්නව.

ඒ කාලෙ සෙල්ලම් නඩේ ඉදපු කවුරුත් දැන් ලග පාත නෑ . සමහරු කොළඹ පදිංචියට ගිහින්. අයියල රට ගිහින්. ඒ දේවල් මතක් කරල හිනාවෙන්න කෙනෙක් දැන් නෑ . ඒත් තාමත් පහල මැංගුස් ගහ දකිද්දි, වතුර හිදිච්ච වක්කඩ දකිද්දි , රබර් යාය එළි කරල හිටවපු කටුපොල් ගස් දකිද්දි ඒ අතීතෙ මතක් වෙනව.

” අපි යමුද වෙලේ මාළු අල්ලන්න … ” කියල මං පොඩි උන් දෙන්නට කියද්දි
” අපෝ වෙලේ යන්න එපා. මී උණ හැමතැනම … ඒ මදිවට ඕවයෙ බෙහෙත් ගහල, තුවාලයකටවත් විෂබීජයක් ගියොත්.. ” කියල අම්ම කෑ ගැහුව.

” එහෙනම් බංකරයක් හදමුද… “
” මටනම් බෑ. පුංචිටයි මල්ලිටයි ඕනනම් හදාගන්න. මට ලැප් එක දාල දෙන්න මේ පීස් එක බලන්න… “ කියල ලොකු පුතා කිව්ව.

මං මුකුත් නොකියම ලැප් එක දාල දුන්න. ඒ අස්සෙ මොකක්ද පෙරලගෙන වැටෙන සද්දයක් ආව. ඒ එක්කම පොඩි පුතා අඩනව ඇහුන නිසා මං කාමරේට දිව්ව. පොඩි එකා පුටුවත් පෙරලගෙන වැට්ල. ඒ මදිවට බෙල්ලෙ ගැටගහපු කළු රෙද්දක්.
” මේ මොකක්ද උනේ… “
” බැට් මෑන්…. “ කියල කියන ගමන් ආයෙත් කොල්ල ඉකි ගගහ අඩන්න ගත්ත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *