කවිය කොහොමද කියල හිතනවට වඩා හොදයි , මේ පාර 20-20 වර්ල්ඩ් කප් එකේ අපිට ෆයිනල් යන්න පුළුවන් වෙයිද කියල කල්පනා කරන එක – කසුන් සමරතුංග

කසුන් සමරතුංග සහ කවිය මුණ ගැහෙන්නෙ කොහොමද?

සමහර මුණ ගැසීම් තියෙනවා, පස්සෙ අපිටම ඒවා අමතක වෙලා යනවා. තව සමහර ඒවා තියෙනවා මුණ ගැසීම් කියල අපිට තේරෙන්නෙ ඒ වෙලාවෙ නෙවෙයි, ඊට ගොඩක් කාලෙකට පස්සෙ. ඒ අස්සෙ අපි මුණ ගැසීම් කියල හිතාගෙන හිටපු දේවල් එහෙම ඒවා නෙවෙයි කියල කාලයක් යද්දී තේරුම් යනවා. ඉතින් කතාව සරලයි. ඉස්කෝලෙ හයේ, හතේ පන්තිවලදි කවිය මුණ ගැහුණද කියල මට මතක නැහැ. පස්සෙ කාලෙක කවිය කියල මුණ ගැහුණෙ කවිය නෙවෙයි කියල ඊටත් සෑහෙන්න පස්සෙ කාලෙකදි තේරුම් ගත්ත. දැන් මං කවිය කියල හිතන් ඉන්න දේත් ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ. ඒක නිසා ඒ ගැන කල්පනා කරල වැඩක් නෑ. ඊට වඩා හොඳයි මේ පාර 20-20 වර්ල්ඩ් කප් එකේ අපිට සෙමි ෆයිනල්වත් යන්න පුළුවන් වෙයිද කියල කල්පනා කරන එක.

කවිය මූලික කොට ගනිමින් අනෙකුත් සියලු කලා මාධ්‍ය තුළින් සමාජයට ලැබිය යුත්තේ විනෝදාස්වාදයම පමණක්ද, ඔබේ අදහස?

අඩුම ගාණෙ ඒකවත් ලැබෙනවා නම් ලොකු දෙයක්නේ! වෙන මොකුත් නැතත් අඩු තරමින් විනෝදෙන් ඉන්නවත් පුළුවන්. නමුත් ඒ වෙනුවට ජාතිවාදය – ආගම්වාදය සහ මිත්‍යාව වපුරන දේවල් නේද වැඩිපුර සිද්ධ වෙන්නෙ. එහෙම දේවල් දිහා ටිකක් ඈතට වෙලා බලාගෙන ඉන්න එකේ නම් පොඩි මතුපිට විනෝදයක් තියෙනවා. ඒ වුණාට අභ්‍යන්තරය ඛේදවාචකයක්.

 මින් පෙර එළිදැක්වූ ‘නොසන්සුන් මොහොතක හීනයක්’ කාව්‍ය සංග්‍රහය සහ ‘විත අස පත’ තීරු ලිපි සංග්‍රහය තුළින් ඔබ ලබාගත් අත්දැකීම් කෙබඳුද?

‘නොසන්සුන් මොහොතක හීනයක්’ මට කියල දුන්නා ‘උඹ ආපහු කවදාවත් කර්තෘ ප්‍රකාශන කරන්න එපා’ කියන එක. අපි වගේ තඩි කම්මැලි මිනිස්සුන්ට ඒක හරියන්නෙ නෑ. ‘විත අස පත’ නම් මට එහෙමටම යමක් කිව්වෙ නැහැ. නමුත් මේ පොත් දෙකම මට බොහොම අපූරු මිනිසුන් කීපදෙනෙක් මුණ ගැස්සුවා. අන්න ඒක නම් මරු අත්දැකීමක්.

කවිය නම් මෙයැයි කියල යමක් අපිට වෙන් කරල ගන්න පුලුවන්ද, එහෙම වෙන්කර ගත යුතුද?

ඒක මම දන්නෙ නැහැ. ඒක නිසා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා වෙනුවට මම ඔබට කතාවක් කියන්නම්. එතකොට ඔබ කැමති දෙයක් හිතාගන්න. කපිල කුමාර කාලිංග ගේ නවකතාවක් තියෙනවා ‘පියැසි කවුළුව’ කියල. කතාවෙ ප්‍රධාන චරිතය වින්ටර්. වින්ටර් ඉස්කෝලෙ යන කාලෙ දවසක් ඔහුට කවි වගයක් කට පාඩම් කරගෙන එන්න බැරි වුණා කියල ගුරුවරයා ඔහුව පන්තියෙන් එළියට දාල මිදුලෙ දණ ගස්සවනවා. එතැනට එන එක්තරා මහලු මනුස්සයෙක් මේ සිද්ධිය අහල වින්ටර්ට හරි අපූරු කතාවක් කියනවා. ඒ කතාව මෙහෙමයි. ‘කවි මතක නැත්නම් ඒක ඔය ළමයින්ගේ වරදක් නෙවෙයි. කවියො දැනගන්න ඕනෙ මිනිස්සුන්ට මතක හිටින විදියට කවි ලියන්න.’ මේ වචන ඒ විදියටම නොවුණත් ඕක තමයි කතාවෙ අර්ථය. මේක ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් නෙවෙයි. ඒත් නිකං කියල දාන්න හිතුණා.

‘අංගුලිමාල සුළඟ’ එළිදැක්වීම ගැන කතා කළොත්?

ඔව්! ‘අංගුලිමාල සුළඟ’ නිල වශයෙන් සහෘදගත කරනවා. ඒක පොඩියට යන සරල වැඩක්. කතා දෙකක්, සින්දුවක් සහ තව පොඩි පොඩි වැඩ කීපයක්. විමල් කැටිපෙආරච්චි සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කතා කරනවා. ළහිරු කිතලගම වැඩේ මෙහෙයවනවා. වැඩේ තියෙන්නෙ එන 13 වෙනි සඳුදා හවස තුනට. තැන ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරය.

සංවාදය – වරුණ උදේශ් ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *