මනෝ රත්නයන්ද සමුගනී… !

ජයලත් මනෝරත්න කලාකරුවා අද උදැසන තම දිවි සැරිය නිමා කළ බව සංවේගයෙන් දැනුම් දෙමු. පසුගිය මාස කිහිපයෙහි රෝගාතුරුව සිටි හෙතෙම මියයන විට 71 හැවිරිදි වියේ පසුවිය.

වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මෙරට ප්‍රේක්‍ෂක හදවත් දිනාගත් විශිෂ්ඨතම රංගන ශිල්පියෙකි. 1976 වර්ෂයේදී සිනමාවට පිවිසි ඔහු මේ දක්වා චිත්‍රපට 40 කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදී ඇත.

හඳයා, සපත් කන්‍යා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනළ තටු, හිරිපොද වැස්ස, බඹර වලල්ල මෙන්ම ප්‍රවේගය, හෝගානා පොකුණ, සූම්, ඒලෙවල් සහ ගෝල් ජයලත් මනෝරත්න සිය රංග ප්‍රතිභාව විදහා දැක්වූ ජනප්‍රිය චිත්‍රපටවලින් කිහිපයකි.

ටෙලිනාට්‍ය 35 කට අධික සංඛ්‍යාවකට ද ජයලත් මනෝරත්න සිය රංග දායකත්වය ලබාදී ඇත.

බෝඩිම, දූදරුවෝ, මඩොල්දූව, වීදුරුමල්, සහ කන්දෙගෙදර යන රසික සිත්සතන් දිනාගත් ටෙලිනාට්‍යවලද ඔහු සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළේය.

ජයලත් මනෝරත්න රගපෑ වේදිකා නාට්‍ය 37කට අධිකය. බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ සිංහබාහු, මනමේ, නරිබෑනා, රතු හැට්ටකාරී, ගුරු තරුව, අන්දරේලා යන වේදිකා නාට්‍ය ඔහු සිය රංගන දායකත්වය ලබාදුන් ජනප්‍රිය වේදිකා නාට්‍ය කිහිපයකි.

සිය රංග ප්‍රතිභාව වෙනුවෙන් ජයලත් මනෝරත්න ජනාධිපති සිනමා සම්මාන, සරසවි, රයිගම් සහ සුමති සම්මානවලින් අවස්ථා කිහිපයකදීම පිදුම් ලැබිය.

2004, 2007 සහ 2015 යන වර්ෂවල පැවති සරසවි සිනමා සම්මාන උළලේදී දක්‍ෂතම සහය නළුවාට හිමි සම්මාන දිනා ගැනීමට ජයලත් මනෝරත්න සමත් විය.

2002 සුමතිසම්මාන උළලේ සහ 2009 රයිගම් ටෙලීස් සම්මාන උළලේ දක්‍ෂතම නළුවාට හිමි සම්මාන හිමිවන්නේද ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නටයි.

වසර 49 ක් ශ්‍රී ලංකේය කලා කෙත පෝෂණය කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව මෙරට කලා ක්‍ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක්වීම නොඅනුමානය.

 

ජයලත් මනෝරත්න නාට්‍යකරුවා ඇත්තටම මිය ගිහින්ද නැද්ද කියලා හොයා ගැනීමට පමණක් මට යම් වේලාවක් අවශ්‍ය වුණා. මීට පෙර කීප වරක් ඔහු මියගිය පුවත් ඇවිත් අපව මුලාවට පත් කර තිබුණ අතර ඔහු අද මිය යන්නේ එතරම්ම (තොරතුරු) දූෂිත වූ සමාජ ක්‍රමයක් මැදයි. ඔහුගේ මරණය ගැනවත් හරියට හොයාගෙන කියන්නට දැනගෙන හිටියේ නැති මිනිසුන් නාට්‍ය කලාවේ න්‍යායන් සහ භාවිතාවන් ගැන දැනගන්න කොයි තරම් උනන්දුවක් ඇත්ද කියලා මට හිතුණා!

මනෝරත්නගේ නාට්‍ය කලාව අපි කරපු නාට්‍ය කලාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ධහරාවක් වුණා. අපි නාට්‍ය, රඟපෑම, විචාරය කීවේත්, සමස්තයක් විදිහට කලාව කියලා හඳුනගත්තේත් මනෝරත්න හිතුවට වඩා බොහෝ සෙයින් වෙනස් දෙයකට. ඒ වෙනස එහෙම්මම තිබිය දී වුවත් අපිට මනෝරත්නට විශේෂයෙන් ස්තුති කරන්නට දෙයක් තියෙනවා.

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව විශාල ප්‍රමාණයෙන් රඳා පැවතියේ වෙළඳපොලකට හෝ ක්‍රමයකට වඩා පුද්ගල භාවිතාවන් මත. සරච්චන්ද්‍ර ව්‍යාපෘතිය, සුගතපාල ද සිල්වා ව්‍යාපෘතිය, ධම්ම ජාගොඩ ව්‍යාපෘතිය, මනෝරත්න ව්‍යාපෘතිය විදිහට අවශ්‍ය නම් ඒ භාවිතාවන් අපිට හඳුනගන්න පුළුවන්. අවාසනාවට මේ භාවිතාවන් අතර එතරම් අවබෝධයක් සහ සහජීවනයක් තිබුණු බවක් පෙනෙන්නට නෑ. නමුත් ඒවා ඊටම ආවේනික දේවල් නාට්‍ය කලාවට එකතු කළා. කෙසේ හෝ වෙලඳපොලවල් හොයා හදාගැනීම. පෙන්වීමේ උපක්‍රම හොයාගැනීම හා පැවතීමේ ක්‍රම ආදි සියල්ල ඒ ඒ ව්‍යාපෘතියට බාර කටයුත්තක් බවට පත්වෙලා තිබුණා. මනෝරත්න ව්‍යාපෘතිය ඒ අනුව අපට කලින් ආපු එක්තරා ජ්‍යේෂ්ඨ නාට්‍ය කලා ධහරාවක් නාට්‍ය කලාව රටපුරා ව්‍යාප්ත කිරීමට, නව ප්‍රේක්ෂකාගාර හදා ගැනීමට, විශේෂයෙන් සුබසාධන සංගම් ආදියේ විවිධ අනුග්‍රාහක වෙළඳපොළවල්වල දායකත්වය නාට්‍ය කලාවට ලබා ගැනීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා. රටේ හැම අහු මුල්ලකම පෙන්වමින් ගිය මනෝගේ නාට්‍ය කලාව ගෙවල්වල හිටි අලුත් පිරිස් නාට්‍ය කලාවට කැන්ඳවීමට සමත් වුණා. ඒ හරහා ආවා වූ ප්‍රේක්ෂකයින්, නාට්‍යකරුවන් මෙන්ම අනුග්‍රහකයින් ද අපගේ ‘නාගරික නාට්‍ය කලාවට’ වාසි ගෙනා බවට කිසිදු සැකයක් නෑ. ඒ වගේම රට දේශපාලනිකව වඩාත් අර්බුදයට යමින් රසිකත්වයෙන් වඩා වියළී යමින් ආර්ථිකව වඩා අවදානම් කාලවලත් අපගේ නාට්‍ය කලාව සක්‍රීයව පවත්වා ගැනීමට මනෝරත්නගේ නාට්‍ය කලාව විශාල දායකත්වයක් ලබාදුන්නා. සමස්ථයක් ලෙසට ඔහුගේ දිගු සක්‍රීය නාට්‍ය කලා ජීවිතයේ දායකත්වය වෙනුවෙන් අපගේ නාට්‍ය කලාවේ විශේෂ ගෞරවය සහ ස්තුතිය ජයලත් මනෝරත්න නාට්‍යකරුවාට හිමි විය යුතුයි.

මනෝට සුභ ගමන්!
– ධනංජය කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *