පොතකින් දැනුන කවියක් – 17 – අශෝක කුලතුංග ලියයි

කෘතිය : එදා එහෙම දවසක්
කතෘ : චමත්ක කවීන් බණ්ඩාර
ප්‍රකාශනය : කැන්ඩි ෆාස්ට්

පිං කරන මාළුවෝ.
වළාකුළු බැම්මෙ ත්‍රිකෝණ මැදින්
බලා සෙංකඩගල කිරි සයුරේ
මත්ස්‍ය රැඟුම

පොරි අහුරු පිටින්
ඒ මදිවට පාන් බනිස්
මුනිඳුට පුද කළ කිරිබත් බර පිටින්
බුදින්නට ඇත වරම්
එක අහුරට එකා මත්තෙන් එකා පිට
පොරකනවා කුස පුරවගන්න
මොන අඩුපාඩුවක් ද

කවදාකවත්ම බිලි පිත්තක් දැකලවත්
නැතිව ඇති පරමායුෂම හැර
පිට වානෙන් ගලන
ඒ වතුරම අරගෙන ගව්වක විතර
එහා දුරකින් ඉඳන්

අම්මා කුළියට රෙදි අපුල්ලන තැන ඉඳන්
ඒ වතුරට පුංචි දෙපා ඔබාන
හීං ඉකියක් ගහන් අඬන
පොඩි නංගිව රවට්ටලා නලවන්න
මේ හීන්දෑරි
මඩකනයින්ට ඇහැක් ද

‘මගේ කවිය මට දෙන්න’ නමින් වර්ෂ 2013 දී තම ප්‍රථම කාව්‍ය සරණිය ගෙන එන චමත්ක කවීන් බණ්ඩාර වර්ෂ 2014 දී දෙවන කාව්‍ය සංග්‍රහය ලෙස ‘ඒ දඬු පාලම’ කෘතිය ජනගත කරයි. ඔහුගේ තෙවන පද්‍යාවලිය ලෙස ‘එදා එහෙම දවසක්’ පාඨකයා හමුවේ සම්මුඛ කරනුයේ සිව් වසරක අධ්‍යයනයකින් පසුව ය. පද්‍ය නිර්මාණ හැට අටක් සංගෘහිත තත් කාව්‍ය කෘතියේ විවිධ අනුභූතින් විවිධ ආකෘති ඔස්සේ චමත්ක නිර්මාණය කිරීම මෙහි ලා විශේෂිත ය.

ලාංකීය සමාජ ප්‍රවාහය තුළ පවත්නා සමාජ, ආර්ථික අසමානතාවය අරමුණු කරගනිමින් “පිං කරන මාළුවෝ” පැදි පෙළ විරචිත ය. කවියා ආරම්භයේ දී ම පාඨක හදවතෙහි රූපණය කරන්නේ නුවර වැව හා එහි වෙසෙන මත්ස්‍යයින් පිළිබඳ සිතුවම යි. සෙංකඩගල වැව ඔහු දකින්නේ කිරි සයුර ලෙස යි. කිරි සුදු පැහැතිය. නුවර වැවේ ජලය සුදු පැහැ නොවුනත් එහි වෙසෙන සුදු පැහැ මත්ස්‍ය විශේෂය නිසා උන්ගෙන් මුළු වැව ම පිරී ඉතිරී ඇති නිසා ම කිරි සයුරක් ලෙසින් සංකේතවත් කිරීම සාර්ථක ය.
නුවර වැව මේ මත්ස්‍යන්ගෙන් ගහනය. මේ නිසා ම උන් එකා පිට එකා නැඟ කුස් පුරවා ගැනීමට තරග කරයි. උන් ආහාරවලින් සුපෝෂිත බව කවියා ආලෝලනය කරන්නේ පහත පරිදි ය.

“පොරි අහුරු පිටින්
ඒ මදිවට පාන් බනිස්
මුනිඳුට පුද කළ කිරිබත් බර පිටින්
බුදින්නට ඇත වරම්”

නුවර වැවේ ජීවත්වන මසුන් කුසල් රැස් කරගත් ඇත්තන් ය. ලංකාවේ කුමන ඇළක, දොළක, වැවක මාළු අල්ලා ගත්තත් දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින නුවර වැවේ මසුන් මැරීමට ධීවරයෝ නො පෙළඹෙති. ඔවුහු එය පාපයක් ලෙස සිතති. බහුතරයක් බෞද්ධයන් තුළ පවත්නා මේ මැවුම්කාර ශ්‍රද්ධාව කවියා ඉතා සියුම් ලෙස උපහාසයට ලක් කරන්නේ නිර්මාණකරණය පිළිබඳ ඔහු සතු ප්‍රතිභාව නිසාවෙනි.
“කවදාකවත්ම බිලි පිත්තක් දැකලවත්
නැතිව ඇති පරමායුෂම හැර”
අනතුරුව නුවර වැවේ ම ජලය භුක්ති විඳින තවත් සමාජ පංතියක අවාසනාවන්ත ඛේදවාචකය කවියා රූපණය කරන්නේ පාඨක හදවතේ සංවේගය වඩාත් තීව්‍ර කරන චිත්ත රූපිත සරල බස් වහරකිනි.

“අම්මා කුළියට රෙදි අපුල්ලන තැන ඉඳන්
ඒ වතුරට පුංචි දෙපා ඔබාන
හීං ඉකියක් ගහන් අඬන
පොඩි නංගිව රවට්ටලා නලවන්න
මේ හීන්දෑරි
මඩකනයින්ට ඇහැක් ද”

නුවර වැවේ සිට ගව්වක දුරින් ගලා යන ඒ වැවේ ජලය ම ඇති තැනක වෙසෙන මාළුවෙකු දැකීමෙන් කථකයාගේ නැගණිය සතුටු නොවන තරමට ම උන් අප්‍රසන්න ය. එහෙත් උන් වෙසෙන්නේ නුවර වැවේ ම පාරිශුද්ධ ජලයේ ම ය. කථකයාගේ මව කුණු පිළි දොවන්නේ ද ඒ ජලයේ ම ය. කවියා මේ ව්‍යංගව පාඨකයා හමුවේ විද්‍යමාන කරන්නේ එක ම සමාජ පාලන ක්‍රමය තුළ, බලය, නිලය හා වත්කම අසමානව බෙදී යන අයුරු ය. ආර්ථිකයෙන් ආඪය කුලීනයනුත් දරිද්‍රතාවයෙන් පෙළෙන කුලහීනයොත් එකම සමාජය තුළ බෙදී වෙන්වන අයුරු කවියා මනාවට සංස්පර්ශය කරයි. කවියාගේ පරිකල්පන දැක්ම වඩාත් ප්‍රශස්ත ය.
‘පිං කරන මාළුවෝ’ කාව්‍ය පංතිය සැළකීමේ දී කවියා භාවිත කරන සරල බස්වහරත්, නිදහස් ආකෘතියත්, සංකේත භාවිතයත්, පාඨක හද සසල කරවන කරුණා රසයත්, චිත්ත රූප මවන මනෝරම්‍ය පද සංඝටනයත් සැළකූ විට තත් නිර්මාණය ‘එදා එහෙම දවසක්’ කෘතියේ සාර්ථක නිර්මාණයක් ලෙස විශද කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *