අපේ මුළු ශිෂ්ටාචාරයම අනතුරේ‘‘ – ලෝක ආර්ථික සංසදය සෙළවූ ජෝර්ජ් සොරොස් 

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේදී මෙවර මූලාසන කතාව පැවැත්වීමට භාර වී තිබුණේ ජෝර්ජ් සොරොස් හට ය. ඔහු එහිදී තියුණු සහ අනර්ඝ කතාවක් කළේය. ඔහු පැවසුවේ ට්‍රම්ප්ගේ නොමනා වැඩ හේතුවෙන් සකල මානව ශිෂ්ටාචාරය ම අනතුරට ලක් වී ඇති බව යි. ට්‍රම්ප් විසින් උතුරු කොරියාව වෙත දක්වන අන්තර්ක්‍රියා හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික යුද්ධයක් වෙත ඇද දමන බවට ද ඔහු එහිදී තර්ක කර සිටියේය.

මේ සියල්ල අතරවාරයේ ඔහු තවත් අපූරු කතාවක් කීවේය. ඒ, තත්වය මෙසේ තිබියදී වුවත් තමන් අනාගතය ගැන සුබවාදී සිහින දැකීම අත්හැර නැති බවයි. මන්ද යත්, වසර 2020දී හෝ එයට පෙර මේ තත්වය, එය විසින්ම විසඳනු ඇතැයි ඔහු විශ්වාස කරන බැවිනි!

‘‘ට්‍රම්ප් පරිපාලනය ලෝකයට අනතුරක් වශයෙන් මා සලකනවා. නමුත් මා විශ්වාස කරන ආකාරයට මෙය හුදෙක්ම වසර 2020 දී හෝ ඊට පෙර අවසන් වන තාවකාලික සංසිද්ධියක්..!“

ජෝර්ජ් සරොස් යනු කවුද? 87 හැවිරිදි ඔහු බිලියනපතියෙකි. ඇමරිකාවේ ධනපතියන් 400 දෙනා ලැයිස්තුගත කළ ෆෝබ්ස් (Forbes) සඟරාවට අනුව ඔහුට හිමිවන්නේ 20 වන තැනයි. එසේම ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයට අරමුදල් සපයන ප්‍රමුඛතම චරිතයකි. ප්‍රබලතම ඩිමොක්‍රටික් ආධාරකරුවෙකි. තව ඔහු ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් උත්තම්භනය කිරීමට උර දෙන The Open Society Foundation සංවිධානයේ නිර්මාතෘවරයා ද වෙයි. මෙවර ලෝක ආර්ථික සංසදයේ මූලාසන කතාව සිදුකිරීම භාර වී තිබුණේ ඔහුට ය.

සොරෝස් මෙසේ ද කියයි. ‘‘තත්ත්වය දැන් පිරිහිලා. විවෘත සමාජයේ පැවැත්ම පමණක් නොවෙයි, අපේ සකල ශිෂ්ටාචාරය ම අවදානමට ලක් වෙලා. කිම් ජොන්-උන් සහ ට්‍රම්ප් යන දෙදෙනාම තමන්ගේ බලය රඳවා තබාගන්න අවදානමක් ගන්න හදන බව පැහැදිලියි…

‘‘උතුරු කොරියාව න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයක් බවට පත්වී ඇති බව පිළිගන්නට ඇමරිකාව ප්‍රතික්ෂේප කිරීම මගින් ඇමරිකාව න්‍යෂ්ටික යුද්ධයක් වෙත ඇදී යමින් තිබෙනවා. ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණි දා පටන් උතුරු කොරියාව සමග තිබෙන සම්බන්ධතා අතිශය භයානක අදියරක් දක්වා ඇදී ගියා.

ට්‍රම්ප්ගේ හැසිරීම පිළිබඳ සවිඥානික ඕනෑම බුද්ධිමතෙකු මෙන්ම මේ විද්වතා ද ට්‍රම්ප් නොමැති ලොවක් ගැන සුබ සිහින දකියි.

තවද ඔහු උතුරු කොරියාව සම්බන්ධයෙන් කෙසේ හැසිරිය යුුතු ද යන්න සම්බන්ධයෙන් ද පැහැදිලි අදහසක් ලබාදෙයි. ඔහු පැවසුවේ උතුරු කොරියාව වෙත කැරට් අල දිගු කළ යුතුවාක් මෙන්ම මුගුරු ද ගත යුතු බව ය. උතුරු කොරියාව සමග කටයුතු කිරීමේදී චීනය සමග සහයෝගයෙන් සිටිය යුතුය. මෙහිදී ඇමරිකාව සහ දකුණු කොරියාවට, කලාපයේ සිදුකරන හමුදා අභ්‍යාස සහ හමුදා සන්දර්ශන නතර කිරීමට සිදුවනු ඇත.

‘‘ජනතාවගේ අවධානය හැඩගැන්වීමේ බලය, සමාගම් කිහිපයක් වෙත වැඩි වැඩියෙන් ඒකරාශී වෙමින් තිබෙනවා.‘‘ යැයි ඔහු පැවසුවේය. ‘‘ජෝන් ස්ටුවට් මිල් විසින් ‘මානසික නිදහස‘ (‘the freedom of mind’) නමින් හැඳින්වූ දෙය අනුමාන කිරීම සහ ආරක්ෂා කිරීමට අප විසින් සැබෑ පරිශ්‍රමයක් දැරිය යුතුයි. ඩිජිටල් යුගයේ හැදී වැඩුණු මිනිසුන්ට, මෙකී මානසික නිදහස නැවත ලබාගැනීම දුෂ්කර වෙන්නට පුළුවන්..‘‘

‘‘මනසේ නිදහසක් නැති මිනිසුන්ව ලෙහෙසියෙන්ම මැනිපියුලේට් කරන්නට (මෙහෙයවන්නට) පුළුවන්. මේ අවදානම අනාගතයේදී පමණක් ඇතිවන්නට නියමිත දෙයක් නොවෙයි. එය දැනටමත්, එනම් 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදීත් වැදගත් භූමිකාවක් රඟපා තිබෙනවා.“

තවද සිම්බාබ්වේ, කෙන්යාව සහ කොංගෝව යන රටවල් ‘මහාපරිමාණ ලෙස දූෂිත මැතිවරණ ක්‍රම හරහා ඒකාධිපතිත්වය වෙත යමින් සිටින බව‘ ද ඔහු සිදුකළ තවත් වැදගත් නිරීක්ෂණයකි.

‍ලෝකය ගමන් කරන දිශාව පිළිබඳ නිසැක වශයෙන්ම සිය සැලකිල්ල විදහා දැක්වුවද, සොරෝස් සිය මූලාසන කතාව අවසන් කළේ ධනාත්මක සටහනකිනි. මේ තත්වය වෙනස් කර ගැනීමට පුරවැසියන් දක්වන දැඩි පරිශ්‍රමය තුළ තමන්ට බලාපොරොත්තුවක් තිබෙන බව ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.

ජෝර්ජ් සොරෝස් ඉපදුණේ හංගේරියාවේ ය. යුදෙව්වෙක් වශයෙන් උපත ලැබුව ද ඔහු යුදෙව් ආගම කරපින්නාගෙන යන්නෙක් නොවිණි. හංගේරියාව නාසි හස්තයට හසුවූ විට අසීරුවෙන් පණ බේරාගත් ඔහු, 1947 වසරේදී එංගලන්තය බලා සංක්‍රමණය විය. විනිමය ගනුදෙනු හරහා මහා ධනවතෙකු බවට පත්වූ ඔහු එවකට බ්‍රිතාන්‍ය අගමැති ජෝන් මේජර් හට බල කර සිටියේ යුරෝපියානු විනිමය අනුපාතික යාන්ත්‍රණයෙන් ස්ටර්ලින් පවුම ඉවත් කරන ලෙස ය. ඔහුගේ දුරදක්නා මූල්‍යමය බුද්ධිය හේතුවෙන් ඔහු ක්‍රමයෙන් බ්‍රිතාන්‍යෙය් පමණක් නොව ඇමරිකාවේ ද ප්‍රමුඛතම ධනපතියෙකු බවට පත්විය. ජීවන සාර්ථකත්වයේ උපරිම තලයට පැමිණි ඔහු මේ වනවිට විශ්වාස කරන්නේ මනුෂ්‍ය සමාජයට සේවය කිරීම ජීවිතයේ පරම අරමුණ විය යුතු බව ය. ඔහුගේ ධනස්කන්ධයේ වටිනාකම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 24.6 කි. එයින් වැඩි කොටස ඔහු දැනටමත් පරාර්ථය සඳහා පරිත්‍යාග කර තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ ජෝර්ජ් සොරෝස් ලොව පුරා ශීර්ෂ පාඨ මැව්වේ ඔහු මුල් වී පිහිටවූ අන්තර්ජාතික සංවිධානය වන ‘දි ඕපන් සොසයිටි ෆවුන්ඩේෂන්‘ වෙත පවුම් බිලියන 13.7 ක් හෙවත් ඩොලර් බිලියන 18 ක් පරිත්‍යාග කිරීමත් සමගිනි. එය, එදාමෙදාතුර ධනපතියෙකු විසින් තනි ආයතනයක් වෙත සිදුකළ විශාලතම ධන පරිත්‍යාගයයි.

‘‘අපේ අරමුණ වන්නේ දේශීය ජනතාවට තමන්ගේ ප්‍රශ්න තමන්ව විසඳා ගැනීමට උදව් කිරීම, වරප්‍රසාද නොලබන්නන් හට සහාය වීම සහ මනුෂ්‍ය විඳවීම හැකිතාක් දුරලීමයි“ යනුවෙන් ද ලෝක ආර්ථික සංසදයේ මුලසුන කථාවේදී ඔහු කියා සිටියේය.

ලෝක ආර්ථික සංසදය යනු ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මූලස්ථානය පිහිටුවාගෙන තිබෙන අන්තර්ජාතික පදනමනි. 2015 වසරේ පටන් එය, ලෝකයට වැඩිම බලපෑමක් කළ හැකි අන්තර්ජාතික සංවිධාන කුලකයට නිල වශයෙන් පිළිගැනුණි. සෑම වසරකම ජනවාරි මස අග භාගයේ ඇල්ප්ස් කඳුකරය පාමුල පිහිටා තිබෙන ඩාවෝස් නගරයේදී මෙහි වාර්ෂික රැස්වීම පැවැත්වෙයි. ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල හැඩය තීරණය කිරීමට බලපාන තීරණ ගනු ලබන ඉහළම පෙළේ ව්‍යාපාරික නායකයන්, දේශපාලන හා රාජ්‍ය නායකයන් සහ විද්වතුන් 2500 ක පිරිසක් මෙයට සහභාගි වෙති.

– අමාලි ජයවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *