ඔරලෝසුව – ( බන්ධන – 07 ) – නාමලී පෙරේරා ලියයි

දුරුතු හුළග කියන්නෙම වියළි බව. ගහක් කොළක් නැති තැනක ඉන්න බැරි තරම් රස්නයක් මේ දවස්වල තියෙනව. ගස් වල කොළ හැලිල ගස් කොළන් පරිසරයේ කඨෝරත්වය විදගෙන ඊලග වසන්තයට සූදානම් වෙනව.

” පුතේ දැන් වෙලාව කීයද… “

වැඩිහිටි නිවාසෙ ඉදපු තාත්ත කෙනෙක් ලොවිගහ යට තියෙන බංකුවෙ වාඩිවෙලා පාර බලන ගමන් ඇහුව.

” අනේ තාත්ත මං ලග ඔරලෝසුවක් නෑනෙ. දැන් පහට විතර ඇති මගෙ හිතේ… “
” ඔරලෝසුවක් නැති එකම හොදයි දරුවො. ගෙවාගන්න අමාරු කාල ගත වෙනවද කියල නොදැන ඉන්න තරමට හොදයි… “

කියද්දි ඒ තාත්තගෙ පපුවෙන් පිටවුනේ බර හුස්මක්. ඒ එක්කම මගෙ හිත අතීතයට දුවගෙන ගිහින්.

මං පුංචි දවස්වල ඉදන්ම තාත්තගෙන් ඉල්ලුවෙ අත් ඔරලෝසුවක් . ඒත් තාත්ත ඒ හැම වෙලාවකම මොකක් හරි හේතුවක් කියල මගෙ ඉල්ලීම මග හැරිය.
” ඔරලෝසුවක් තිබුණ කියල ගෙවෙන වෙලාව නතර කරන්න බෑනෙ පුතේ… “
තාත්ත කිව්වෙ එහෙම.

ඒත් මං ඔරලෝසුවක් ඉල්ලන එක නතර වුනේ නෑ . ඔරලෝසුවක් ඉල්ලන හැම උපන්දිනයකම මට තාත්තගෙන් හම්බුණෙ පොතක්. සාමාන්‍ය පෙළ ලියද්දි මට මතකයි හැම ළමයෙක්ගෙම අතේ ඔරලෝසුවක් තිබුණ. ඒත් තාත්ත කිව්වෙ විභාගයක් ලියන්න ඔරලෝසුව නෙවෙයි වැදගත් වෙන්නෙ… ” ස්මරණය හා වේගය “ කියල .

ඔරලෝසුවක් නැති උනත් මං ඉහළින්ම සාමාන්‍ය පෙළ සමත් උනා.

කාලයත් එක්ක මට ඔරලෝසුවක උවමනාව නැති වෙලා ගියා. ඔරලෝසුවක් නැතුව ඉන්න හුරු වෙච්ච අත ඒ නිදහසට කැමති උනා. ඒත් ඒ ලෙවල් ප්‍රතිඵල ආපු දවස්වල මට අක්කගෙන් ඔරලෝසුවක් තෑගි හම්බුණා. දුඹුරු පාට පටිය තියෙන රවුම් මූණ තියෙන අත් ඔරලෝසුවක් . ඒක ආයෙත් මගෙ පරණ ආශාව අවුස්සගෙන මං පරිස්සම් කලා.

මං ඒ ඔරලෝසුව තිබ්බෙ මේසෙ ලාච්චුවෙ. දවසක් මේසෙ ලාච්චුව බලද්දි ඒකෙ ඒ ඔරලෝසුව තිබ්බෙ නෑ. මං හැමතැනම හෙව්වත් මට ඒක හම්බුනේ නෑ . දවස් තුනක් විතරම මං ඒ ගැන දුක්වෙලා ඇඩුව. දවසක් මගෙ මේසෙ ලාච්චුවෙ සුදු පාට කොළයක තිබ්බ තාත්තගෙ අත් අකුරු මගෙ හිත හදන්න හයියක් වුනා.

” ඔයාට ඕනෙ පියාඹන්න නම්
කාලය නෙවෙයි වැදගත්
වේගය…
කාලය කරන්නෙ අපිව
ආපස්සට අදින එක…
වියෝගයන් අහිමිවීම්
සිහිපත් කරන එක..
ඊලගට කරන්නෙ මොකක්ද කියල
අපිව මානසික පීඩනයකින් තියෙන එක… “

මං එදායින් පස්සෙ ඔරලෝසු ගැන හෙව්වෙ නෑ . ඒත් තාත්ත වෙඩින් එකට කලින් දවසෙ මට අත් ඔරලෝසුවක් තෑගිකලා. එදා මං ඒ ගැන පුදුම උනා. ඒ ඇයි ඇහුවට තාත්ත මුකුත්ම කිව්වෙ නෑ .

ඒ ඔරලෝසුවෙන් පස්සෙ මං තව ඔරලෝසු දෙකකට මාරු උනා. වගකීම් වැඩි වෙද්දි නිදහස සීමා වෙද්දි ඔරලෝසුව බල බලා මං කලබලෙන් නිතරම වැඩකලේ. විනාඩි පහක් පහු උනත් දුක් උනා… වෙලාවකට කේන්ති ගත්ත… පාන්දර නැගිටපු වෙලාවෙ ඉදන් රෑ නින්දට යනකල්ම වගකීම් ඉෂ්ඨ කරන්න, හම්බ කරන්න තත්පර කටු එක්ක පවා මං ඔට්ටු උනා. සමහර දවසට කාන්සිය , මාන්සිය නැති කරගන්න වෙලාවක් වෙන් කරගන්න බැරි උනා. අවුරුදු ගාණකට පස්සෙ මට අද දෙයක් දැනුන…

“ගෙවාගන්න අමාරු කාල ගතවෙනවද කියල නොදැන ඉන්න එක හොදයි …”

මගෙ තාත්තත් ඔරලෝසුවක් නොදී මගෙ ආශාවන් වලින් මාව ඈත් කරපු හේතුව අද මට දැනුණ.
” තාත්තට තිබුණනෙ මට ඔරලෝසුවක් නොදීම ඉන්න … ”
මං එහෙම ඇහුවම,
” එහෙම උනානම් ඔයා කවදාවත් ගෙවාගන්න අමාරු කාලවල් තියෙනව කියල ඉගෙන ගන්නෙ නෑ දරුවො… ”

මගෙ හතරවෙනි වෙනි ඔරලෝසුවත් අද මං ලග නෑ . ඒක කොහේහරි වැටිල….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *