භාර්යාවෝ.. – බන්ධන 08 – නාමලී පෙරේරා ලියයි

ඉස්සර ඉස්කොලෙදි අම්ම, තාත්ත මොකද කරන්නෙ කියල ටීචර් ඇහුවම මං කිව්වෙ  ” තාත්ත ගවර්මන්ට් ජොබ් එකක් කරනව. අම්ම ගෙදර නිකන් ඉන්නෙ.. “ කියල . ගවර්මන්ට් ජොබ් එකක් කියල බර කරල කියද්දි ඊට පස්සෙ අම්ම ගැන කියවෙන්නෙ වචන ගිලල.

ඉස්සර ඉදන්ම අපේ අම්ම නැගිට්ටෙ පාන්දර හතරට විතර. තාත්තට ගෙනියන්න කෑම හදන්න ලිප ලග දුම් ගගහ කහින සද්දෙට අපි ඇහැරෙනව. ඒ ඇහැරුනාම තේ එක හදල දුන්නෙත් අම්ම. තාත්තගෙ ඇදුම් අයන් කරල තාත්ත ලෑස්ති වෙලා එළියට බහිනකල්ම අම්ම ඉන්නෙ තාත්ත මොන දේද ඉල්ලන්නෙ ඒ දේ කරන්න බලාගෙන .

තාත්ත ගියාට පස්සෙ අපිව ලෑස්ති කරල, කවල, බස් එක එනකල් පාරටත් වෙලා ඉන්නව. අපි ගියාම අම්ම යන්නෙ රබර් කෑල්ලට. පිට කාටවත් දෙන්නෙ මොකටද .. අපරාදෙනෙ.. කියල අම්මම රබර් කිරි කපල එකතු කරනව. කිරි බාල්දිය ඔළුවෙ තියාගෙන කන්ද බැහැගෙන එද්දි දවසක් අම්ම වැටිලත් තිබුණ . දවල් වරුව ගත උනේ ගෙදර වැඩ වලට

ඒ කාලෙ වොෂින් මැෂින් තිබුණෙ නෑ . අපේ ඇදුම් හේදුනෙ අම්මගෙ අත් දෙකෙන්. ගෙදර අතු පතු ගාන වැඩ ඉවර වෙද්දි අපි ඉස්කෝලෙ ඇරිල එන වෙලාව. ඒ ආවම හැමතැනම ගලවල දාන මල්ලිගෙ සපත්තු , මේස්,බැනියම් පිළිවෙලට තියෙන්නෙ අම්ම. හවසට කොළ මිටකුත් කඩාගෙන , දරත් අහුලගෙන ගෙට එන්නෙ සෙල්ලම් කර කර ඉන්න අපිවත් කතාකරගෙන. ඒ ඇවිත් අපිට තේ හදල දෙනව. ඊට පස්සෙ ආයෙත් රෑට උයනව. උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් කොත්තමල්ලි බීල ඉන්නව මිසක් බෙහෙතක් ගන්නවත් යන්නෙ නෑ . අම්මට නිතරම වගේ කොන්දෙ කැක්කුමක් තිබුණ . අම්ම කියන්නෙ ඒක මල්ලි හම්බවෙද්දි හැදුන කියල .

තාත්ත ගෙදර එද්දි අට විතර වෙනව. සමහර දවසට තාත්ත එන්නෙ බීල. වෙලාවකට රණ්ඩුත් වෙනව. අපිනම් ඒකට කැමතිම නෑ .ඒත් ඇගේ මහන්සියටනෙ කියල අම්ම තාත්තට වචනයක්වත් කියන්නෙ නෑ . ඒත් අම්ම හොරෙන් කදුළු පිහදනව මං දැකල තියෙනව. තාත්ත එනකල් අපේ ඉස්කෝලෙ පාඩම් වැඩ කරවන්නෙ අම්ම. ටීචර් ට වඩා හොදට අම්මට ගණන් කියල දෙන්න පුළුවන් . අම්ම උසස්පෙළ කලේ අංක ගණිතයයි , වීජ ගණිතයයිලු. ඒ කාලෙ උසස්පෙළ සමත් අයට ගුරු පත්වීම් දෙනව කියල ආණ්ඩුවෙන් කියද්දි අම්ම කැමැත්තෙන් හිටියලු ටීචර් කෙනෙක් වෙන්න.

” ඉතින් ඇයි අම්ම ගියෙ නැත්තෙ… “
” තාත්ත කැමති උනේ ගෙදර ඉදන් දරුවො බලාගෙන ගෙදර වැඩපළ කරගෙන ඉන්නවටනෙ. මං නැතුව තාත්ත බත් එකක් බෙදාගෙනවත් කනවද… “

අම්ම හැමදාම කෑවෙ අපි හැමෝම කෑවට පස්සෙ. කුස්සිය අස් කරල, සත්තුන්ට කෑම දාල , මල්ලිගෙ පොත් බෑග් එකත් අස්කරල තමයි අම්ම කාමරේට එන්නෙ. ගෙදර ජනෙල් දොරවල් වහල, ලයිට් ඕෆ් කරන්නෙත් අම්ම. මං ඇහැරිල හිටියොත් මට පිටි එකකුත් හදල දීලයි ඇදට යන්නෙ. ඒ වෙද්දි තාත්ත නිදි.

අදටත් කවුරුහරි පවුලෙ විස්තර ඇහුවොත් මට කියවෙන්නෙ… ” තාත්ත ගවර්මන්ට් වැඩ කලේ, අම්ම ජොබ් එකක් කලේ නෑ … ” කියල .

සමහර පොත් තියනව මතක් උනාම ආයෙමත් පෙරලල බලන්න හිතෙන. එහෙම තැනකදි ‘ කොලරා කාලේ ආලේ ‘ නව කතාවෙ එන ෆර්මිනා දාසා ගේ ස්වාමිය උර්බිනෝ ගැන ඇය කියපු කතාවක් මතක්වුණා.

” ඔහු පරිපූර්ණ සැමියෙක් විය. බිම වැටී තිබූ කිසිවක් කිසිවිට ඇහින්දේ නැත. නිකරුනේ දැල්වෙමින් තිබූ විදුලි පහනක් නිකමටවත් නිවා දැම්මේ නැත. ඇර තිබුණ දොරක් වසා දැම්මේ නැත. අලුයම ඇදුම් අදිද්දී කමිසයේ බොත්තම් නැතැයි පෙනුණොත් ඔහු මෙසේ කියයි.

මිනිහෙක් වුණහම ගෑනු දෙන්නෙක් තියාගන්න ඕනෙ. එක්කෙනෙක් ආදරේ කරන්න . අනිත් කෙනා බොත්තම් අල්ලන්න. ”
තාත්තටත් එහෙම හිතුනද නැද්ද කියන්න මං දන්නෙ නෑ .

ඒත් අම්ම ආදරේ කරන එකට වඩා බොත්තම් අල්ලන්න ආශා කළා. අම්ම හැමදාම විශ්වාස කරපු දෙයක් තිබුණ . පවුලක සතුට තියෙන්නෙ ගෑණියෙක්ගෙ කැපකිරීම්, කදුළු මත කියල. ගෑණු කියන්නෙ බැදීම් මත්තෙ හැගීම් යට කරගෙන ඉන්න ජාතියක් ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *