මිදෙන්නට බැරි තැනක අතහරිමු අපි අපව – මේනුකා දම්සරණී

කියන්නට බොහෝ දේ ඇතත් ඔබට අසන්නට ඉඩක් ඇති දිනෙක ඔබ අසන්නට රිසි විටෙක කියන්නට ඒ සියල්ල සිත් පසෙක පරිස්සමට තබා කෙටියෙන් සරලව එහෙත් පහදන්නට නොතේරෙන විසල් පේ‍්‍රමයෙන් ඔබට මේ සටහන තබමි.
මේ පේ‍්‍රමවන්තයින්ගේ දිනය වෙනුවෙන් නොවේ ඔබ නිසා මා සිනාසෙන ඔබ නිසා මා හඬන ඔබ මට දැනෙන සෑම දිනයක් ම මා හට පෙම්වත් දිනක් බව කිව යුතු ය. අදත් මට එවන් දිනයක් පමණ ය. අපට ඇත්තේ තවමත් නොලියවුණු කිසිදාක ලියවේ ද නොදනින එහෙත් අප අත්විඳින පේ‍්‍රම කතාවක් පමණි. එහෙත් එය හුදු හැඟුමක් පමණක් ම නොව ඔබත් මමත් විඳින්නට සොයන පේ‍්‍රමය ම බව පමණක් මම හඳුනමි. ඔබ ද හඳුනාගනු ඇතැයි සිතමි.
මට පෙම් කතාවක් ඇත. ලොව එය කෙලෙස අරුත් පහදා ගත්ත ද මා එහි දන්නා එක ම අරුත විටෙක මා අවුළා නොසැලෙන, විටෙක මා නිවා සසැලෙන, ඔබේ පේ‍්‍රමය ම පමණි. ඒ ඔබ වූ විට පිටස්තර ලෝකය මම නොතකමි.
ඉතිහාසය පුරා ම ලියැවුණු, නොලියවුණු, හමුවූ වෙන්වූ පෙම්වතුන් පෙම්වතියන් අතර තවත් දෙදෙනෙකු නොවී ලොවට පෙනෙන්නට නොව අපට දැනෙන්නට ආදරයේ අනන්තය විඳින්නට මා රිසි ය. කොහේ කොතැනක හෝ මුළු ලොවම අමතක වන තැනක ඔබට මා පමණක් ම දැනෙන මොහොතක ඔබට ළංවී නිම් නැති ආදරයේ උස් තැන් සිඹින්නට, මිටි තැන් ඔසවා තබන්නට, සම තැන් වැළඳගන්නට, එවිට මට හැකි ය. ඒ මා ඔබෙන් තොර පේ‍්‍රමයක් නොදන්නා නිසාම ය. ඔබෙන් තොර පේ‍්‍රමයක් නොපතනා නිසාම ය.
අප අපට හිමි විය යුතු ම නැත. එහෙත් අප හමුවී අවසන් ය. ඒ දෛවය හෝ සංසාර පුරුද්ද යැයි මම නොඅදහමි. පේ‍්‍රමයට පේ‍්‍රමය මුසු වූ තැනක්, මොහොතක්, පමණක් බව විශ්වාස කරමි. ඔබට පෙම් කොට මා ලද්දේ පේ‍්‍රමය ගැන ගැඹුරු විඳීමකි. කියවීමකි. අරුතකි. එහි ඵල ලැබිය යුත්තේ ද ඔබ ම නම්, ඔබ අහිමි වුව ද මේ පේ‍්‍රමය අන්සතු විය යුතු නැත. හෙටත් දවසක කොහේ හෝ තැනක ඒ පේ‍්‍රමයේ නිම්නයේ ඔබට මට හමුවිය හැකි විය යුතු ය. පෙරදාක මෙන් උණුහුමින් සිප වැළඳ කඳුළකින් සුසුමකින් කතා කරන්නට, හිමිකමක් ඉතිරි විය යුතු ය. ඔබ නිසා හඬන්නට හුරු වූ ඇස්වල කඳුළු, මා නොහඳුනන්නෙකු වෙනුවෙන් ඉඳුල් කළ යුතු නැත. දෙතොල් මත ඔබ නිසා ඇඳුණු හසරැල් රේඛා, නාඳුනන දොතොලකින් මැකී යා යුතු නැත. මේ පේ‍්‍රමය පේ‍්‍රමයට පමණක් එනම් ඔබට පමණක් විය යුතු ය.l
හඬන්නට අවැසි නැති තැන්වල ඔබ මා හැඬවූ දිනවලට වඩා, මට හඬන්නට අවැසි වූ විට ඔබේ උරමඩල මත මා හිස සැතපූ දවස් මම මෙනෙහි කරමි. මා සමඟ සිනාසෙන්නට ළඟ නොසිටි දිනවලට වඩා ඔබ සිනාසෙන විට පැමිණ මා වැළඳගත් අයුරු පමණක් යළි යළිත් හදවතින් විඳිමි.
බොහෝ බැඳීම් පසුකර විත් පේ‍්‍රමයක් යැයි කියන්නට බැරි නොකියා ද බැරි තැනක අපි නතර වී හිඳිමු. ඔබට මා හද තුළ මෙතරම් විජ්ජාවක් කළ හැකි යැයි මා කිසිදාක නොසිතූ ඒ අතීතයේ දවස් දෙස බලා මම දැන් සිනාසෙමි. ඔබ වෙසෙස් මිනිසෙකු නොවේ යැයි සිතා ඇසුරු කළ අතීතයට මම සිනාසෙමි. ඒ ඔබ ඇසුරින් වසර ගණනක් තිස්සේ මා හද තුළ සිදුවූ ගැඹුරු පරිවර්ථනය අත්විඳිමිනි. එහෙත් ඔබේ පේ‍්‍රමයෙන් මට මා අහිමි වී යැයි මම කිසිදාක නොකියමි. ඔබේ මේ ඇසුර ම මට මා මුණගැස්වූ බව, මා කිසිදාක නොසිතූ මගේ අගනාකම් මට පසක් කළ බව, මෙලෙස සටහන් කරමි. ඔබට නොකීවත් ඔබේ ඇසුර ලැබූ පමණින් ම මා මට පේ‍්‍රම කරන තරම් ඔබට මතු දිනක ඉඩක් ලදොත් පවසමි.
සර්ව සම්පූර්ණ මිනිසුන් නොමැති ලෝකයේ ඔබත් මමත් අතර ඇති ගැළපීම් ද නොගැළපීම් ද මම හොඳින් හඳුනාගෙන සිටිමි. එබැවින් ම අප හමුවන්නේ නම් හෝ වෙන් වන්නේ නම් හෝ සියල්ල සම සිතින් දරාගන්නට ඔබ මට උගන්වා අවසන් ය. ඔබේ සතුට මගේ සතුට වූ තැන, පේ‍්‍රමය ඇති බව මම දැන් දනිමි. එබැවින් ම පතන්නේ මට වඩා ඔබට පේ‍්‍රම කළ හැකි සිතක් මොලොව කොතැනක හෝ වේ නම් ඒ සිත නොපමාව ඔබට මුණගස්වන්නට කියා ය.
පේ‍්‍රමයේදී මට හමුවූ මා දන්නා පේ‍්‍රමණීය ම සරල ම හා සුන්දරම මිනිසාට දෙන්නට මට ඒ හැර තවත් ආශිර්වාදයක් නොමැතිය.
මේ සියල්ල ඔබ ගැන මගේ පේ‍්‍රමයේ ඔබ දන්නා කතාය. කියන්නට තවත් නොකියූ බොහෝ දේ ඇත. අසන්නට රිසි නම් ඔබට මගේ හදවත හෙටත් විවරය.

2020.02.14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *