පොතකින් දැනුන කවියක් – 18 – අශෝක කුලතුංග

2001 වර්ෂයේ “කළුවර සඳ මඬල” නම් කාව්‍ය සංග්‍රහයෙන් කලඑළි බසින රුවින් බුද්ධික කවියා සයිබර් අවකාශය ඉතා ම හොඳින් තම වැඩ බිම කර ගනියි. ටෙලිනාට්‍ය පිටපත්කරුවකු ලෙස ද තම දක්ෂතා රූපණය කරන රුවින් වසර පහළොවක දිගු නිහැඩියාවකට පසු වර්ෂ 2016 දී “කැමීලියා මල් පියල්ලක හයිකුව” ලෙසින් කෙටි කාව්‍ය ඇතුළත් කෘතියක් සහ “සපත්තුවේ වැලි කැටය” යනුවෙන් අභිනව කාව්‍ය කෘති ද්විත්වයක් තම ආදරණිය පාඨකයින්ට තිළිණ කරයි.ප්‍රේමයේ විවිධ ඉම් පෙත් ගවේෂණය කරන අනුභූතින්ගෙන් යුත් කාව්‍ය සංග්‍රහයක් ලෙස “සපත්තුවේ වැලි කැටය” විශද කළ හැකි ය. විවිධ තේමා යටතේ රුවින් තම ආදරය පාඨක හදවත ප්‍රේමෝන්මදයෙන් ආසක්ත කරයි.

ප්‍රේමයේ විප්‍රයෝගය අරමුණු කරගනිමින් “ඔබ එන තෙක්” පද්‍ය පන්තිය රචිත ය. ආදරයේ පවත්නා පරිත්‍යාගශීලි බව කවියා විද්‍යමාන කරන්නේ සරල බස්වහරකිනි.

“පිටමං වෙන්න මත්තෙන්
දෙන්න එක හාදුවක්
කිසිවකු නොදුන් තරමින්
බැතියෙන්”

කථකයා ප්‍රේමය අහිමි වූවකු වුවත් කිසිවිටෙක ඔහු තම පෙම්වතියට වෛර නොකරයි. අතීතයේ ශෘංගාර හැඟීම් පැවතියත් නැවත හමුවන පෙම්වතියගෙන් ආයාචනා කරන්නේ බැතියෙන් හාදුවක් දෙන ලෙස යි. ඉන් ම කථකයා සතු පිවිතුරු පෙම නිරූපණය වේ.
එකිනෙකා පරයා නැගෙන්නට උත්සහ දරන සමාජයක් විනිවිදව දෘෂ්ටිගත කරන නිර්මාණයකි; “බොල් පිළිම”. සොබාව සෞන්දර්යය ආලෝලනය කරමින් කවියා නිදහස් ආකෘතියකින් එය නිමවන්නේ පාඨක මනසෙහි චිත්ත රූ නිරූපණය කරමිනි.

“සඳ
වකෙන් වක
ගලවලා
සළු තිර”

අන්ධකාරය සංකේත කිරීමට කවියා භාවිත කරන ‘ගලවලා සළු තිර’ යන කාව්‍යෝක්ති පද ප්‍රශස්ත ය. එකිනෙකා පරයමින් අහසෙහි සඳ වීමට තරු දරන උත්සාහයෙන් කවියා සංකේත කරන්නේ මේ වත්මන් සමාජයම නොවේ ද?

“මින් මනත
සඳ
මමය
හැම තරුවකම
සිත් විය”

රුවින් කෙටි කවියට වඩාත් නිපුණතාවක් දක්වන බව මෙහි සඳහන් බොහෝ කෙටි කවි තුළින් මනාව උපස්තම්භනය වේ.

“ඉඳු දුනු වෛවර්ණ
ලතු ගෑ මතුපිටක බැබලෙන්න
පිපිරෙන්න මොහොතකට පෙර
අනේ නුඹ
කොයි තරම් උඩ ගොස්ද”

“සබන් බුබුළු” යන හිසින් රචිත ඉහත කෙටි කවිය තුළින් ද කවියා ගම්‍ය කරන්නේ විශාල සමාජ කතිකාවකි. එක් අතකින් එය ජිවිතයේ යථාර්තය මෙනෙහි කරන අතර ම තවත් පසෙකින් පියවි ඇසට පෙනෙන සුන්දරත්වයෙන් කොතරම් ප්‍රතිලාබ ලැබුව ද එය යම් සීමාවක දී බිඳ වැටෙන බව මනාව ප්‍රත්‍යක්ෂ කරයි.
මහත් පරිශ්‍රමයක් දරමින් ජීවිතය දිනන්නට වෙහෙසෙන පුද්ගලයන් අරමුණු කරගනිමින් “සඳට” නම් කෙටි කව නිර්මිත ය. සඳෙහි රූපාවලියක් පාඨක හදවතෙහි සිත්තම් කරමින් කවියා මේ ගොඩනගන්නේ තවත් ජිවන යථාර්තයකි.

“සඟවන්න
ඔය එළිය…..
මෙතන
කලාමැදිරියෙක්
වෙහෙසෙනවා
ඔබ පරදන්න”

ප්‍රේමය හා අව්‍යාජ දිවි පැවැත්මක තතු විමසන නිර්මාණයක් ලෙස “බිරිඳ හා සඳ” කාව්‍ය පෙළ සංනිදර්ශනය කළ හැකි ය.

“ඇය
ගෙට ගිය පසු
මම
සඳ ළඟින්
වාඩි වුනෙමි
ඇයට කීමට
සිතා සිටි බොහෝ දේ
සඳ අමතා කීවෙමි”

පාඨක හදවතෙහි ප්‍රේමය වඩාත් තීව්‍ර කරන චිත්ත රූපිත බස්වහර කවියා සතු නිර්මාණකරණයේ ප්‍රතිභාව යි.
“කවටයා”, “දුක කියන්නෙ සතුටක්”, “භාවනා කමටහන”, සෙවීම”, “නිවුටන් හා ආදරය”, “කුඩය”, “නොගැළපීම”, “එක් දිනක්” හා “පේරාදෙණි සරසවියේ මල් පිපීම” වැනි කාව්‍ය නිර්මාණ මෙම පද්‍ය සංග්‍රහයේ එන තවත් සාර්ථක නිර්මාණ කිහිපයකි. කවියා නිර්මාණ සඳහා භාවිත කරන නිදහස් ආකෘතියත්, කව්‍යෝක්ති නිරූපණය වන සරල බස්වහරත්, කෙටි කවි සඳහා දක්වන බුහුටියත් නිසාවෙන් රුවින් බුද්ධික කවියාගේ “සපත්තුවේ වැලි කැටය” පද්‍ය සංග්‍රහය යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය තුළින් කවි මාවතේ දිගු ගමනක් යෑමට ඉති සිතින් සුබ පතමි.

අශෝක කුලතුංග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *